සිකුරු අපලයෙන් මිදෙන්න ප්‍රබල වත්පිළිවෙත් | Page 3 | සිළුමිණ

සිකුරු අපලයෙන් මිදෙන්න ප්‍රබල වත්පිළිවෙත්

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම,

සම්පත් එස්. කල්පගේ

 

ග්‍රහ ලොව රූප රාජනිය ලෙස විරුදාවලිය ලත් ශුක්‍ර හෙවත් සිකුරු ඔබගේ ජන්ම පත්‍රයේ නව ග්‍රහයන් අතරින් ඉතාම සුබ ග්‍රහයෙකි. අප ‘ඉරබටු තරුව‘ ලෙසින් ද හඳුන්වන අපගේ පියවි ඇසට පවා දර්ශනය වන සිකුරු ග්‍රහයා අප ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ අතිශය සුබ ස්ත්‍රි ග්‍රහයෙකු ලෙසය. එලෙසම ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට පසුව සිටින ඉතාම සුබවාදී සිකුරු ග්‍රහයා විවාහයට අධිපති ලෙස ද සලකනු ලබයි. සැපයට අධිපති සිකුරු ජන්ම පත්‍රයේ සුබව සිටි කල යානවාහන ගෙවල්දොරවල් වාසනාව ද උදා කරනු ලබයි. සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ නීච, සතුරු ලෙස හෝ පාප පීඩිතව හෝ නැතහොත් 22 වන දෙර්කාණාධිපතිව දුර්වල වූ විට එය ජන්මියාගේ සිකුරු වෙතින් නියෝජනය වන කාර්යයන් සඳහා දැඩිව බලපානු ලබයි.

තුලා සහ වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා සිකුරු ග්‍රහයා වන අතර සංගීතයට, වාදනයට, නර්තනයට, ගායනයට, චිත්‍ර කලාවට, නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටය පවා කාරකත්වය හිමි වන්නේය. ආදරය, ප්‍රේමය, විවාහය, පිළිබඳ බලපාන්නේ සිකුරුය.

සිකුරු මහ දසාව වර්ෂ 20ක් පවතින අතර මහ දසා කෙරෙන් දීර්ඝ කාලයක් පවතින්නේ ද සිකුරුය. බොහෝ විට සිකුරු මහ දසාවක් ලැබීම වාසනාවකි. සැප සම්පත්, සතුට, විනෝදය, ලස්සනට ඇඳීම පැලඳීම, ශරීරයේ ප්‍රභාව, පැහැය, විවාහය පවා සිකුරු මහ දසාවේදී සිදු වේ. ජන්ම කේන්දරයක සිකුරු 2, 3, 4, 5, 7, 9, 11 ස්ථානවල පිහිටා තිබීම සුබ පල දෙන්නකි. මෙවැනි රාශි තුළ සිකුරු පිහිටා ඇත්නම් පවුලේ ප්‍රීතිය, දියුණුව, වාසනාව, ඥාතීන්ගේ උදවු, උතුමන්ගේ ඇසුර පවා ලැබේ. අනෙක් අතට සිකුරු 6, 7, 10 රාශිවලදී නම් සිත් තැවුල්, පීඩා, සතුරු කරදර, රෝග, ධන හානි, අඬදබර, පවුලේ අවුල් ගෙන දේ. සිකුරු ධනය, සම්පත්, මිල මුදල්, බැංකු හා ව්‍යාපාර කටයුතු, මූල්‍ය සේවා නියෝජනය කරයි. ඒ නිසා සිකුරු සිටින රාශි අනුවත්, සිකුරු සමඟ යෝග වූ ග්‍රහයන් අනුවත් මේ ස්වභාවය හඳුනාගත හැකිය.

සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ පුත්‍රයා ලෙසය. එහෙත් සිකුරු සෞම්‍ය ග්‍රහයකු මෙන්ම ස්ත්‍රී ග්‍රහයකු ලෙස ද හඳුන්වයි. සිකුරු බලවත් අයගේ මුහුණ ප්‍රසන්නය. ආකර්ෂණීයයි. ලස්සනටත්, හැඩවැඩටත් පිරිසුදුවටත් සැරැසීමට බලයි. සිකුරු බලවත් නම් විවාහ ජීවිතයේ සැපත විනෝදය හිමි වේ. තරුණ කාලයේම විවාහයට ඇතුළත් විය හැකිය. සිකුරුට අයත් ඉන්ද්‍රියන් නම්, වකුගඩු, උගුර, කම්මුල් වේ. සිකුරු නරක් වූ අයට මුත්‍රා රෝග, දියවැඩියාව, වායු ගෙඩි හටගනී. මෙසේ බලන විට සිකුරු බලය වැඩි කර ආශීර්වාදයක් බවට පත් කරගැනීමෙන් රෝග පීඩා නිවාරණය කර ගත හැකිය. ලග්නාධිපති වූ සිකුරු බලවත් කරගැනීමෙන් අපේක්ෂිත පරිදි දියුණුව ළඟා කර ගත හැකිය.

සිකුරු මහ දසාව වර්ෂ 20ක් තිබෙන නමුත් එහි අසුබ අතුරු දසාවලදී අසුබ පල දෙන බැවින් සිකුරු සුබයෙක් බවට පත්කර ගත යුතුය. ඒ සඳහා සිකුරු යන්ත්‍රය සුදුසුය. සිකුරු මහ දසාවේ රවි අන්තරය, රාහු අන්තරය, ශනි අන්තරය, කේතු අන්තරය අසුබ පල දේ. මානසික කරදර, ලෙඩ රෝග, මවුපියන්ගේ සමීප නෑයකුට විපත්, වසවිස ශරීරගත වීම්, වාත රෝග, චර්ම රෝග, දූ දරුවන්ට හා බිරියට රෝග පීඩා හට ගනී. මේ තත්ත්වය දුරු කර ගැනීමට සිකුරු යන්ත්‍රය පැලඳීම යෝග්‍යය. කේන්දරයේ උත්පත්ති ග්‍රහ පිහිටීම අනුව 6 වැනි රාශිය 12 වැනි රාශිය අසුබ පල ගෙන දේ. සතුරු කරදර, ආහාර විෂ වීම්, අක්ෂි ආබාධ ඇති වේ. මේ තත්ත්වය දුරු කර සිකුරු ආශීර්වාදයක් බවට පත්කර ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය.

සුදුසු කල විවාහය සූදානම් කර දීමටත්, ආදරය ප්‍රේමය තහවුරු වීමටත්, ලිංගාශ්‍රිත රෝග දුරු වීමටත්, ජනන ශක්තිය වැඩි වීමටත්, ආකර්ෂණීය පෙනුමක් ලැබීමටත්, ව්‍යාපාර හා ධන සම්පත් දියුණුවටත්, සෞන්දර්යාත්මක දියුණුවටත් සිකුරු යන්ත්‍රය ඉතා යෝග්‍යය. සිකුරු යන්ත්‍රය තඹ රිදී හෝ රත්තරනින් තනාගත හැක. එය ගෙලෙහි පලඳින පැන්ඩනයක් ලෙසින් ද, ඇඟිල්ලේ පලඳින මුද්දක් ලෙසින් ද තනාගත හැකියි.

සමචතුරස්‍රය තුළ ඇති කොටු 9හි අංක සඳහන් කරන්න. මෙය එම්බෝස් කර ගත හැකිය. මෙම ආකෘතිය පෙන්ඩනයට හෝ මුද්දට ඇතුළත් කරන්න. සුබ හෝරාවක් යෙදෙන පුර පක්ෂයේ සිකුරාදා දිනක පූජා තබා සිකුරු යන්ත්‍රය ජප කර සිකුරාදාවක පලඳින්න. පස් මුළු සහිත පූජා මණ්ඩපය සකස් කරගන්න. එහි සිකුරු ග්‍රහ රූපය තබන්න. සිකුරුට සුදු මල් හා සුදු නෙළුම් මල් තබන්න. දිසාව බස්නාහිර වේ. සුදු හඳුන් ආලේපන හා සුදු හඳුන් දුම් දෙන්න. තවද බෙලි පත්‍ර හා බෙලි පලයෙහි දුම් දීමද සුදුසුය. සිකුරු ග්‍රහ පූජාව ලෙස ගිතෙල් මිශ්‍ර කිරි බතක් පුදන්න.

සිකුරුට අධිපති දෙවියා ඊශ්වර දෙවිදුන් වන බැවින් ඊශ්වර දෙවියන්ගේ රූපයක්ද, පාර්වතී දේවියගේ රූපයක් ද තබන්න. ඒ සමඟම සිකුරු ග්‍රහ දෙවියන්ගේ රූපයක් ද තබන්න. මේ තිදෙනාට එළඟිතෙල් පහන් 3ක් තබන්න. මෙහි ජප වාරය 1100 ක් වේ. පහන් තැබීම ගිනිකොණ දිසාව බලා කරන්න.

සිකුරු බීජ මන්ත්‍රය

ඕං ශුම් ශුක්‍රාය නමහා

සිකුරු ග්‍රහ ජප මන්ත්‍රය

ඕං දං ද්‍රීං ද්‍රෟං ස ශුක්‍රාය නම

සිකුරු ගයත්‍රී මන්ත්‍රය

අශ්ව ධ්වජාය විද්මහේ

ධනුර් හස්තාය ධීමහී

කන්නෝ ශුක්‍ර - ප්‍රචෝදයාන්

සිකුරු ධ්‍යාන මන්ත්‍රය

හිම කුන්ද මෘණං ලාභං

දෛත්‍යානාං පරමං ගුරුං

සර්ව ශාස්ත්‍ර පුවක්තාරං

භාගර්වං ප්‍රණමා ව්‍යහම්

ඔබගේ ජන්ම පත්‍රයේත් සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයා දුර්වලව සිටී නම් හෝ සිකුරුගේ ග්‍රහ ශක්තිය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඉහත සඳහන් සිකුරු යන්ත්‍රය පළපුරුදු කෙනෙකුගේ ගුරුහරුකම් ඇතිව යොදා ගැනීම ඉතාම සුබදායක වනු ඇත.

Comments