
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු
ප්‍රථමයෙන්ම රාශි චක්‍රයේ පළමු රාශිය වන මේෂ රාශියෙන් උපත ලද ඔබගේ හැකියාවන් දුර්වලකම් හඳුනාගෙන ඒවායින් තමන්ට සිදුවිය හැකි ලාභ-අලාභ යස-අයස ගැන දැනුම්වත්ව ක්‍රියාකර ජීවිතයට එන අභියෝග ජයගන්න. ඔබ මෙම මනුෂ්‍ය ලෝකයට බිහි වන මොහොතේ මෙම රාශිය නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදා වෙමින් පැවතුණේ නම් එය ඔබට හිමි ජන්ම ලග්නය නම් වෙනවා ඇත.
පොළොවෙන් උපන් රාශියක් ලෙස හඳුන්වන මේෂ රාශිය එළුවෙකුගේ රූපයෙන් සංකේතවත් කර ඇත. මෙම රාශින් ස්ත්‍රී පුරුෂ හෙවත් ක්‍රෑර, සෞම්‍ය අනුව බෙදන අවස්ථාවේදී මෙම ප්‍රථම රාශිය පුරුෂ රාශියක් වන අතර එබැවින් නිර්භීතභාවය, එඩිතරකම, ඉදිරියට යන ගතිය මෙන්ම ඕනෑම දෙයකට නොබියව ඉදිරිපත් වීම ඔබට උපතින්ම ලැබී ඇති දෙයකි.
තවදුරටත් මෙම රාශීන් චර, තිර, උභය හෙවත් ද්වි ස්වභාව අනුව බෙදීමේදී මේෂය අයත් වනුයේ චර රාශි ගණයටය. මේ නිසා චංචල ගතිය කිසියම් දෙයකින් සාර්ථකත්වය ලැබීමට අසීරු වුවද අත් නොහැර එම කාර්ය නැවත නැවත හෝ උත්සාහ කර ජය ගැනීමට ආත්ම ශක්තිය ඇති එඩිතර අයෙක් බවද සිතට ගන්න. නමුත් මේ චර රාශි ගතිය නිසා හදිසියේම කරුණු කාරණා වෙනස් කිරීමට ද පසුබට නොවන අයෙකු ද වනවා ඇත. ඒ නිසා එවන් අවස්ථාවකදී හදිසි තීරණ මෙන්ම කරගෙන ආ කටයුතු වෙනස් කිරීමට පෙර දෙවරක් සිතා බලන්න. එයින් ඔබට යහපත මෙන්ම අයහපත ද සිදුවිය හැකි නිසාය.
ඉන්පසු නැවතත් මෙම රාශීන් කොටස් හතරකට බෙදීම අනුව ආපෝ හෙවත් ජලය, තේජෝ හෙවත් ගිනි, වායෝ හෙවත් වායුව, පඨවි හෙවත් පෘථවි යනුවෙන් බෙදී යාමේදී නැවතත් මේෂය තේජෝ හෙවත් ගිනි රාශියක් ලෙසට ගණනය වීම නිසා උපතින් ලද අනෙක් බෙදීම්වලදී ඇතිවන පුරුෂ ගතියත්, චංචල ගතියත් නැවත ඉස්මතු වීම හේතුකොට ඇතිවන නිර්භීතභාවය මත ඇතිවන චිත්තය මඟින් කඩිසර බව මෙන්ම නැවතත් බය සැක නැතුව දෙයකට ඉදිරිපත් වනවා ඇත.
මෙම ගතිය නිසාම මෙම රාශි දොළස අතරින් වැඩිම මමත්වයක් දක්නට ලැබෙනුයේ මේෂ රාශියට අයත් පුද්ගලයන් වන බැවින් මේ මගේය, මගේ රට, මගේ ගම, මගේ ජාතිය, ආගම මෙන්ම මගේ දරුවන්, මගේ බිරිය යන අදහස් සිත්හි ඇති වනවා ඇත. මොවුන් විශේෂයෙන් පැරදීමට සූදානම් නැත. පරාජයට ලෙහෙසියෙන් හිස නමන්නේ නැත. ඇතැම් විට එය එළියට නොපෙන්වූවාට එය සිත්හි තබාගෙන අවස්ථාව ආ විට සතුරා නැත්නම් එදිරිවාදි වන අයට බලවත් ලෙස පහර දීමට ද පසුබට වන්නේ නැත. එසේම එවන් දේවලට ද ඉදිරිපත් වී හොඳින් බැරිනම් නරකින් හෝ ජය ගැනීමට තරම් චිත්තය බලවත්ය. බලවත් සටනකදී සතුරාට කිසිම අනුකම්පාවක් නොදක්වන නමුත් සිතේ යහපත් දේ ඇති අයට කරුණාවන්ත බවක් දැක්වීම ඒ චිත්තයේ ඇති අපූර්වත්වයක් වනවා ඇත. එනම් යුද භටයාගේ එඩිතර බවත් කරුණාවත් එක තැන ඇත.
කොතරම් බාධක පැමිණියද දෙයක් ආරම්භ කිරීමටත් එසේම අවසානය කෙසේ හෝ දැකීමටත් ආත්ම ශක්තියක් ඇති අයකු වනවා ඇත. එනිසාම තමන් කරන දේ ගැන දැඩි ආත්ම විශ්වාසයක් ඇති නිසාම භයානක දෙයක් වුවද එවන් තත්ත්වයක් ඇති වුවද ඒවාට ද නිර්භයව මුහුණ දීමට නොපැකිළවම ඉදිරිපත් වනවා ඇත. ඒ අයුරින්ම තමාගේ ශරීර සෞඛ්‍ය මෙන්ම ශක්තිය ගැනද එක හා සමානව පවත්වා ගැනීමට උත්සාහ දරයි. ඒ මඟින්ද තමාගේ ජයග්‍රහණයන් සඳහා එයද හේතුකොටගෙන විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. මේෂ ලග්නයට අයත් පුද්ගලයන් තමාගේ දියුණුව වෙහෙස මහන්සිය නොබලා කටයුතු කර තමාගේ ඉලක්කය ජය ගැනීමට උත්සාහ දරන අයෙකු වනවා ඇත.
කිසිවෙකු යටතේ වැඩ කිරීමට අපහසු වනුයේ මෙම මමත්වය නිසා ඇතිවන්නක් වන අතර ඉවසිලි ගතිය අඩුවීමට ද මෙයම හේතු වන බව මේෂ ලග්න හිමියන් සිහිතබා ගත යුතු දුර්වලතාවක් බවද කිව යුතුමය. එසේම දක්ෂ පුහුණුවක් ලදහොත් විශිෂ්ට කටයුතුවල එනම් රසායන විද්‍යාව, නව නිපැයුම්, ඉලෙක්ට්‍රොනික ශිල්පය, යකඩ වානේ වැඩ කටයුතු මෙන්ම තවත් බොහෝ දේ ගැනද එම උත්සාහයෙන්ම දැනුම ලබා ගැනීමට ද පසුබට වන්නේ නැත. එයින්ම ජීවිතය ජය ගැනීමට මෙම ලග්න හිමියන් බොහෝ විට සමත්ව ඇති දෙයකි.
මොවුන්ගේ දුර්වලතාවන් අතර ඉක්මන් කෝපය ප්‍රධාන වන අතර ඒ සමඟම ඒ පිළිබඳව කනගාටුවට පත්වීමද මොවුන්ගේ ගති ලක්ෂණයකි. එසේම හිසේ අසනීප ගති, ඇස්වල දෝෂයන් මෙන්ම ලේ ආශ්‍රිත රෝගයන්ට ද භාජනය විය හැකිය. කෙසේ වුව මේෂ ලග්න හිමියන්ගේ රාශියට අධිපතිත්වය දරන කුජ ග්‍රහයා ද මෙම ලග්න හිමියන්ගේ ක්‍රියාකාරකම්වලටම සරිලන අයෙකු වනවා ඇත. කුජ දුර්වල වීමෙන් ඉහත සඳහන් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා සේම කලා රසය, ශෘංගාරාත්මක බව, කාමාශක්ත බව ඇතිවන අතර කුජ ලග්නයේ පිහිටා සිටීම ඉහත දේවල් බලවත්වම ක්‍රියාත්මක වීම සිදු වෙනවා ඇත.
නිතරම කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වා කටයුතු කාරණා සිදු කිරීමෙන් බොහෝ දියුණුවක් මෙන්ම පිහිට ආරක්ෂාව ද ලබා ගැනීමට හැකි වනවා ඇත. අලංකාරයට අඳින තේජස් ගතිය මෙන්ම සහකරුට හෝ සහකාරියට ඇති ඇල්ම නොපෙන්නුවාට සිත්හි තදින් ධාරණය කරගෙන උත්සාහයෙන් දියුණුව ලබා උත්පත්ති තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් ඇතිකර ගෙන සමාජයේ කැපී පෙනෙන මෙන්ම කිසිම හැංගි හොරා ගතියක් නැතිව නිදහසට ගරු කරන තමන්ට ළැදි අයට ගරු කරන ළැදියාවක් දක්වන නිර්භයව ඔබ ගැන ඔබම අවබෝධ කරගෙන සියලුම දේ ජය ගනී.