
වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද
ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)
“සිළුමිණ" ඉසිවර පාඨක පින්වත්-පින්වතියන් වෙත අප ඉතා ආනුභාව සම්පන්න පුද පූජා වත්පිළිවෙත් - දැහැන් සහ මන්ත්‍ර ආදිය වරින්වර ඉදිරිපත් කරනු ලබන්නේ පෘථග්ජන ගිහි ජීවිතවල ඇතිවන අනේක දුක් පීඩා ආදිය දුරු කර ගෙන තමන්ට සහ තම දරු-පවුල්වල ආරක්ෂාව සහ යහපත උදාකර ගැනීම සඳහා වූ මහඟු උපකාරයක් ලෙසිනි. අසරණ ජනයා නොයෙක් වංචාකාර පුද්ගලයන්ට හසුවී තම මිල මුදල් කාලය සහ ආත්ම ගෞරවය ද විනාශ කරගන්නා අවස්ථා බොහෝ විට වාර්තා වේ.
සමහර මන්ත්‍රකරුවන් යැයි කියාගන්නා පිරිස් විසින් යම් යම් ඖෂධ යැයි පානය කිරීම සඳහා දුන් දේ තුළින් මරණයට පවා පත්වූ අසරණ පිරිස් ගැන අසන්නට ලැබේ. යම් ශාස්ත්‍රයක් යමෙකුගේ යහපත වෙනුවෙන් ලබා දෙන්නේ නම් එය ඉතා නිවැරදිව සහ සත්භාවයෙන් ලබාදිය යුතුය. එසේ නොකර වංචනික ලෙස ඉදිරිපත් කරන දෑ පිළිබඳ මහත් බල ඇති දෙවි දේවතාවුන් පවා කලකිරීමට සහ උදහසට ලක් වේ. මන්ත්‍ර ශාස්ත්‍රය ලබා දුන් ගුරු උතුමන්ට සහ මන්ත්‍ර ශාස්ත්‍රයට අධිගෘහිත දෙවිවරුන්ට පින් පිණිස නිවැරදි ලෙස එය සමාජගත කළ යුතුය. මිනිසුන් වංචනිකව රැවටීම මෙලොව ජීවිතයේ දී මෙන්ම කල්ප ගණන් දිවෙන අනන්ත සසර පුරාවටද අපමණ දුක් පීඩා පිණිස හේතු වන බව නිතර සිහි කළ යුතුය.
අප විසින් ඉතා නිවැරැදි ලෙස ඉසිවර අතිරේකය මඟින් ජනගත කරන පුද පූජා වත්පිළිවෙත් මන්ත්‍ර සහ දැහැන් පිළිබඳ පූර්ණ වගකීම දරන අතර ඒ පිළිබඳ ව ඕනෑම කරුණු පැහැදිලි කිරීමක් සඳහා වුවද සූදානම් බව මෙත් සිතින් සිහිපත් කරන්නෙමු. යම් ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කිරීමේදී ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් විධිමත් විද්‍යාවකට අනුව එය සිදු කළ යුතුය. දිෂ්ටි - ජීවම් - ප්‍රාණ - පුට- පලිප්පු යන ක්‍රියාවලීන් 05 සිදු නොකරන කුමන මැතිරීමකින්වත් ප්‍රතිඵල ලබාගත නොහැකිය. පොතක් හෝ කොළ කැබැල්ලක් බලාගෙන කියවූ පමණින් කිසිම මන්ත්‍ර සිද්ධියක් ඇති නොවේ.
අප විසින් මෙවර ඔබ වෙත තිළිණ කරනු ලබන මෙම උතුම්, සර්වාරක්ෂා කන්ද කුමාර බන්ධනය නම් වූ ඉතාමත් බලසම්පන්න කන්ද කුමාර දැහැන තුළ ඉහත කී සියලු මන්ත්‍ර විද්‍යාවන් ඇතුළත්කර ඇත. මෙම මහානුභාවසම්පන්න කන්ද කුමාර බන්ධනයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට කැමති පින්වතුන් නිර්මාංශ වීම අනිවාර්ය වේ. දැහැන ජීවම් කරන කාලය තුළ කිලි - කුණුවලින් වැළකී ඉතා පිරිසිදුව කටයුතු කළ යුතුය. තිසරණ සහිත පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර කරණීයමෙත්ත සූත්‍රය ද එක් වරක් සජ්ඣායනා කර ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රධාන කොට උතුම් කතරගම දෙව් රදුන්ට පින් දී මෙම දැහැන ජීවම් කිරීම ආරම්භ කළ යුතුය.
ඉතා පිරිසිදුව සහ නොඉඳුල්ව සිඳ ගත් පොල් තෙල්වලට 108 වතාවක් මෙම දැහැනෙන් ජීවම් බලය පිහිටුවා ගත යුතුය. පිරිසිදු ආසනයක් මත කෙසෙල් කොළයක් අතුරා රතු පැහැති මල් සහිත මල් වර්ග 05ක් පිළිවෙළට තබා කතරගම දෙව්රදුන් වෙනුවෙන් ගිතෙල් පහනක් එම යහනෙහි දල්වා සුවඳ දුම් පතුරවමින් අඟහරුවාදා දිනෙක උදෑසන 05.30ත් 06.30ත් අතර කාලයේ මෙම ජීවම ආරම්භ කිරීමට ඉතා සුබය. ජීවම් කරගත් පිරිසිදු පොල් තෙල්වලින් නිවස ඉදිරිපිට පහන් පැලේ දින 21ක් හිමිදිරි පාන්දර පහනක් දල්වා ගන්න.
එම භූමියට උතුම් කඳසුරිදුන් ජීවමානව වැඩම කළා සේ අපමණ පිහිටක් ලැබෙන අතර භූමියට නිවසට පවුලේ පිරිසට අරක් ගත් යක්ෂ-ප්‍රේත-භූත-පිසාච-බහිරව සියලු බලවේග හිස් ලූ ලූ අත පැන දුවන අතර පවුලේ සියලු දෙනාට සෞභාග්‍යය උදා වේ. කොපමණ ප්‍රතිකාර කළත් සුව නොවන රෝග පීඩාවන්ට පත්වූ අයට එම ජීවම් කළ පිරිසිදු පොල් තෙල් වරින්වර හිසේ ගැල්වීම මහත් නිරෝගී සුවයට හේතු වේ. රෝගියාට දෙන ඖෂධ මෙම දැහැන ජීවම් කරන මොහොතේ එම යහන මත තබා බල පිහිටුවා ගැනීම අපමණ ගුණදායකය. කී නොකී බොහෝ ගුණ ගෙන දෙන ආනුභාව සම්පන්න කන්ද කුමාර දැහැන මෙයයි.
සර්වාරක්ෂා කන්ද කුමාර බන්ධනය
ඕං හ්‍රීං කන්ද කුමාර ජලමකුටධාරණේසවාහා
ඕං හ්‍රීං කන්ද කුමාර භූමධාරණේස්වාහා
ඕං හ්‍රීං කන්ද කුමාර මණිමකුටධාරණේස්වාහා
කියා මේ මන්ත්‍රය අහසට මතුළ කල්හි අහස වෙව්ලවා සිටියේය. පොළොවට මතුළ කල්හි පොළොව වෙව්ලවා සිටියේය. සප්ත මහා සාගරයට මතුළ කල්හි සප්ත මහා සාගරයේ රළ සත් පැයකට සිටියේය. කතරගම දෙවියන්ගේ රන්කොතට මතුළ කල්හි රන්කොත කරකැවී සිටියේය. පත්තිනි දෙවියන්ගේ ආසන කට්ටුවට මතුළ කල් හී ආසන කට්ටුව නව පියවරක් ඉස්සරහට වැඩීයේය. එසේ වූ මේ කන්ද කුමාර දැහැන අවලංගු කළ යකෙක් යක්ෂණියෙක් ඇත්නම් දීපංකර බුදුන්ගේ ශ්‍රී මුඛ පාලියෙන් වදාරපු කන්ද කුමාර දැහැනය අදත් මම මේ මතුරන්නේ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් කළ ලෙඩ සැණෙන් ගුණ වෙන්ඩ වරම්.