
- ජ්‍යොතිෂයට වඩා එහාට ගිය විද්‍යාත්මක ශාස්ත්‍රයක්
- ග්‍රහයන් මූලිකව කටයුතු සිදුවන්නේ 30%ක් පමණයි
- ශාස්ත්‍රය හරියටම ප්‍රගුණ කළොත් අනාගතය ගැන බොහෝ දෑ හෙළි කළ හැකියි
- විශ්ව ශාස්ත්‍රය යනු කිරණ ශක්තීන් බද්ධ වූ තැනක්
සියලු බාධක ජය ගනිමින් ශ්‍රී ලංකාව 2030 වසරේදී ආර්ථික අතින් දියුණු තත්ත්වයකට පත්වන බව විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ පවසයි. මේ අතර කාලය ජනතාව ඉතා බුද්ධිමත්ව ගත කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මේ බව සඳහන් කළේ සිළුමිණ ඉසිවර සමඟ පැවැති සාකච්ඡාවකදීය.
“තවම ගෙවෙන්නෙ අනෙකා අනෙකාගෙන් යැපෙන, අනෙකා විනාශ කරන... ඩැහැගන්න බලන ක්‍රමයක්. 2030න් පස්සෙ අලුත් නිර්මාණාත්මක සිතුවිලි ලෝකයට එනවා. මේ ගෙවෙන්නෙ මිනිසුන්ට බුදුදහම අනුව වේදනාව, සංඥාව, සංකාරය හුරු කරන කාලයක්. ඒකෙන් පස්සෙ තමයි මිනිස්සු ප්‍රතිඵල ලබන්නේ. මේ කාලයේ ජනතාව ඉතාම බුද්ධිමත්ම ගත කළ යුතුයි. මේ සෙනසුරු ජනතාවට දෙන්නෙ දැඩි බවක්. ඒ තමන්ගේ අරමුණුවලට කෙසේ හෝ යා යුතු ය කියන දැඩි අධිෂ්ඨානය යැයි ද විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ සඳහන් කළේය.
විශ්වය මෙන්ම ජ්‍යොතිෂයෙහි සිවු කොටස්වලින් හස්ත ශාස්ත්‍රය, නාඩි ශාස්ත්‍රය සහ ගුප්ත ශාස්ත්‍රයද හදාරමින් මනසින් ගවේෂණය කරමින් ලබාගත් විශ්වයට අදාළ ශාස්ත්‍රය නිසා ‘විශ්ව ශාස්ත්‍රවේදී‘ නමින්ද තමන් හඳුන්වන මියුරු සම්පත් ලියනගේ වර්තමානය වන විට මෙරට සිටින තරුණ ජ්‍යොතිෂඥයෙකි. ඔහු තරුණ වයසේ වුවත් පළ කරන මත සමාජය කලඹනසුලුය. මේ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් සමඟ ඉසිවර කළ සාකච්ඡාවයි.
“මම කරන්නේ පාරම්පරික වශයෙන් ලිතකට... පොතකට සීමා වෙච්ච ජ්‍යොතිෂය නෙවෙයි. එය මම මුලින්ම සඳහන් කළ යුතුමයි. එතකොට මිනිස්සු බලයි කොහොමද ලිතයි පොතයි නැතිව ජ්‍යොතිෂය කරන්නේ කියලා.
මෙහෙමයි... කෙනෙක් ලිතකට පොතකට සීමා කරගන්නෙ ‘අංශක කලා විග්‍රහය‘ට නැත්නම් හෝරා ශාස්ත්‍රයකට. ඊට එහා ගිය දෙයක් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මොකද ජ්‍යොතිෂය කියලා කියන්නෙ මීට වසර 6300කට කලින් ඍෂිවරුන් වහන්සේලා වන ඉන්දියාවේ විසූ පුලස්ති බුජ ඍෂිවරුන් වහන්සේ සහ කාක භුජන්ජර ඍෂිවරුන් වහන්සේ තමයි මේ දැවැන්ත සොයා ගැනීම කළේ. මේ ඍෂිවරුන් වහන්සේලාගෙන් පුලස්ති බුජ ඍෂිවරුන් වහන්සේ කලෙකදී ලංකාවට සංක්‍රමණය වෙනවා. කාක භුජන්ජර ඍෂිවරුන් වහන්සේ ඉන්දියාවේ නතර වෙනවා. මේ ශාස්ත්‍රය ඒ ආකාරයටයි ආසියාව තුළ ව්‍යාප්ත වෙන්නෙ. එය ජ්‍යොතිෂයෙහි මූලාරම්භයයි. ජ්‍යොතිෂයේ ඉතිහාසය ගැන සඳහන් කළාට කිසිවෙක් මේ ගැන කතා කරන්නෙ නෑ.
ජ්‍යොතිෂවේදීන් ග්‍රහ ලෝක ගැන, ග්‍රහ ලෝකවල කිරණ ගැන, ස්කන්ධයන් ගැන කතා කරනවා. ඒත් මේ ඉතිහාසය ගැන කතා වෙන්නෙ නෑ. කොටින්ම කීවොත් ජ්‍යොතිෂයෙහි පදනම ගැන කතා නොකොට ඉතිරි කොටස් කතා කරනවා. සාමාන්‍යයෙන් පදනම ගැන කතා කළ යුතුමයි. මූල බීජය නැතිව ගසක පලය ගැන... ගස ගැන කතා කළාට වැඩක් වෙන්නෙ නෑ.
උන්වහන්සේලාගේ මේ සොයා ගැනීමත් සමඟ ජ්‍යොතිෂය ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. ගුප්ත ශාස්ත්‍රය, හස්ත ශාස්ත්‍රය, නාඩි ශාස්ත්‍රය සහ හෝරා ශාස්ත්‍රය කියලා. මෙන්න මේ කොටස් හතර ඇතුළත තමයි ජ්‍යොතිෂය කියන සංකල්පය ලියවිලා තියෙන්නෙ. හෝරා ශාස්ත්‍රයට තමයි අංක විද්‍යාවත් ඇතුළත් වෙන්නෙ. බහුතරයක් මේ කොටස් හතරෙන් එක් එක් කොටසකටයි සීමා වෙන්නෙ. මේ හතරම සම්මිශ්‍රණය කරමින් ජ්‍යොතිෂය කරන අය දුර්ලභයි. උදාහරණයක් ලෙස හස්ත ශාස්ත්‍රය කරන කෙනා ඒ කොටස පමණයි කරන්නෙ. තවත් කෙනෙක් හෝරා ශාස්ත්‍රය විතරයි. මෙහෙම එක් එක් කොටසින් ගියාම ජ්‍යොතිෂයෙහි සම්පූර්ණ ප්‍රතිඵලයම අපට ගන්න බැරි වෙනවා. උදාහරණයක් ලෙස සමහර තැන්වල නාඩි වැකි, නාඩි වාක්‍ය තියෙනවා. ඒ ගැන පුලස්ති බුජ ඍෂිවරුන් වහන්සේ විසින් මීට අවුරුදු 6300කට පමණ පෙරදී ලියපු ඒ සංග්‍රහය තුළ ලියනවා
අපි බලමු ජ්‍යොතිෂය මොකටද ලෝකයට වටින්නෙ කියා... පළමු කාරණාව තමයි ජ්‍යොතිෂයෙන් වෙන්නෙ අනාගතය ගැන නොදකින මිනිසුන්ට අනාගතය ගැන දැක්මක් නිර්මාණය කිරීමට කරපු සැලැස්මක්. මොකද අපි නූතන විද්‍යාව, තාක්ෂණය ගත්තත් තවම අනාගතය දකින තැනට ඇවිත් නැහැ. නමුත් මේ කියන ජ්‍යොතිෂයට නැතිනම් අධ්‍යාත්මික ශාස්ත්‍රයට මේ වන විට හැකිවෙලා තිබෙනවා කෙනෙකුගේ අනාගතයේ දැක්ම මතුපිටින් සිට ගණනය කිරීමට.
ඒ කියන්නෙ බුදු දහම අනුවනම් කෙනෙකුගේ මනස කියවිය හැකියි. නැතිනම් කෙනෙකුගේ ශක්ති බලය (aura) කියවිය හැකියි. අන්න එලෙස විශාල වපසරියක් පුරාවට ජ්‍යොතිෂය විහිදිලා තිබෙනවා. ජ්‍යොතිෂයෙන් කරන්නෙ මනසේ, ශරීරයේ බලය වර්ධනය කිරීමක්. ඒ වගේම අපි සසර පුරා වපුරපු දෙයක් තියෙනවානම් ඒවායෙන් එන යම් දේවල් පාලනය කළ හැකි ද? පාලනය කළ නොහැකි ද? යන්න වෙන් කරවාගෙන පාලනය කළ හැකි සීමාවට ගෙන ඒමයි ජ්‍යොතිෂයෙහි අරමුණ හා සිද්ධාන්තය. අපට පාලනය කළ හැකි කරුණු මෙන්ම පාලනය කළ නොහැකි කරුණු ද තිබෙනවා. මං මේ කියන්නෙ සරලම භාෂාවෙන්.
කේන්දරයක කොටු 12කින් පෙන්වන්නෙ කර්මස්ථානය අතර දොරටු 12ක්. ඔය දොරටු 12 කියන්නෙ නවග්‍රහ වශයෙන් නව දෙනෙක්. අතුරු ග්‍රහයන් වශයෙන් තුන්දෙනෙක් අතුරින් ලියැවෙන දැවැන්ත වූ ශාස්ත්‍රයකින් සියලුම ජීවින්ගේ පෙර භවයන්, සිටින භවය සහ අනාගත භවයන් පිළිබඳ භව ශක්‍යතා විග්‍රහයක් කරන්නෙ. ඒ දේ මනුෂ්‍ය ජීවියා ඇතුළු සියලු සත්ත්වයාට අයත් කාරණාවකි. එය ඍෂිවරුන් වහන්සේ විසින් සත්ත්වයන්ට, ශාකවලට සහ වෙනත් ජීවින්ට ලෙස වෙන වෙනම ලියා තිබෙනවා.
බුදු දහම තුළත් ලියැවෙන්නේ කර්මස්ථාන දොරටු 12ක්. කෙනෙකු ජනක කර්මයෙන් ඉපදිලා උපපීඩක උපස්ථාන ආචීන වශයෙන් අවසානයේ දිට්ටධම්මවේදනීය කර්මය දක්වා කර්මස්ථාන දොරටු 12ක් පවතිනවා. මේ හැම දේකින්ම කියැවෙන්නෙ සසර භවයන්හි බද්ධ වීමක්. පෙර භවයන්, සිටින භවයන් සහ අනාගත භවයන්හි බද්ධ වීමක්. මේ සසර භවයන් තුළ සිදුවන සෑම දෙයක්ම අපට පාලනය කළ නොහැකියි. බුදුන් වහන්සේට පවා පාලනය කළ නොහැකි කරුණු තිබුණා. උන්වහන්සේට දුෂ්කර ක්‍රියා පවා කරන්න සිදු වුණා. මිනිස්සුන්ට වර්තමානයේ ගෙවී යන්නෙ දුෂ්කරම කාලයක්.
දුෂ්කර ක්‍රියා කාලය ගැන සඳහන් කළොත්... ලෝකය සාමාන්‍යයෙන් කොටස් කීපයකට බෙදනවා. ඍෂිවරුන් වහන්සේ ලෝකය කොටස් කීපයකට බෙදුවා. එකක් වසර දෙකහමාරෙන්, හතරහමාරෙන්, හතහමාරෙන්, දොළහහමාරෙන්, විසිඑකහමාරෙන්, අවුරුදු අනූඅටෙන්, එකසීය අටෙන් ලෙස කීපයකට බෙදුවා. මේ බෙදලා තියෙන්නෙ සසර බද්ධ වන රටාව.
ඔබ කියන පරිදිම ඔබ ජ්‍යොතිෂයෙහි කුමන කොටසටද අයත් වන්නෙ...?
මං මේ කොටස් හතරෙන් හස්ත ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය යම් ප්‍රමාණයකට හදාරා තිබෙනවා. හැබැයි ගුප්ත ශාස්ත්‍රයේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් මං කරන්නෙ නෑ. හෝරා ශාස්ත්‍රයෙන් අංක විද්‍යාත්මක කොටසත් මම කරනවා. අංශක, කලා විද්‍යාත්මක කොටස හොඳින් හැදෑරුවා. ඒ දේවල් හදාරමින් විශ්ව ශාස්ත්‍රඥ ලෙස මම හඳුන්වන්නේ මං ජ්‍යොතිෂය පමණක්ම පදනම් කරගෙන නැහැ. ජ්‍යොතිෂය තුළ පමණක් සිර වුණානම් ග්‍රහයන් සිටින ස්ථානය, ග්‍රහයන් හරහා සියල්ල සිදු වෙනවා කියන න්‍යායන් තුළ මට සිර වීමට සිදු වෙනවා. මොකද මම කියන්නෙ මේ ලෝකයේ කිසිවක් ග්‍රහයන් මතම සිදුවන්නේ නෑ. ඒත් හැබැයි අපේ ඔළුවට මේ සමාජ සංස්කෘතිය විසින් ඔබ්බවා තිබෙන්නේ සියයට සියයක්ම ජ්‍යොතිෂය කියන්නෙ ග්‍රහයන් මතම සිදුවන සංකල්පයක් කියා. ග්‍රහයන් මත සිදුවන්නේ සියයට 30ක ප්‍රමාණයක් කියලයි මම කියන්නෙ. ඉතිරි 70ම සිදුවන්නේ තවත් න්‍යාය ධර්ම කීපයක එකතුවෙන්. ග්‍රහයන් කියන්නෙ සංකේතාත්මක භාවයක් පමණයි. ඒ බව ඍෂිවරුන් වහන්සේලා පැහැදිලිවම කීව කාරණාවක්. තව දෙයක් කිව යුතුයි ජ්‍යොතිෂය කියන්නේ වැඩක් ගත යුතු දෙයක් මිස අරන් දුවන දෙයක් නොවේ.
විශ්ව ශාස්ත්‍රය කියන්නෙ කුමක් ද?
විශ්ව ශාස්ත්‍රය කියන්නෙ උදාහරණයක් ලෙස කීවොත් කෙනෙකුගේ මේ භවය කෙසේ ද සැකසිලා තිබෙන්නෙ, පෙර භවය සහ අනාගත භවයන් පිළිබඳ සැකැසී සහ සැකැසෙන ආකාරය ගැන සඳහන් කිරීමක්. ජ්‍යොතිෂය තුළ සාමාන්‍යයෙන් කේන්දරයක් ගෙන බැලුවොත් අපට පේන්නේ ස්ථානගත ජ්‍යොතිෂය සහ අංක විද්‍යාත්මක කොටසේදී කියන්නෙ ඔහු හෝ ඇය ගෙවන දශාව, කාලය ආදි දෙයක්. හැබැයි විශ්ව ශාස්ත්‍රයෙන් කිව හැකියි හේතුඵල දහම. ඒත් හේතුඵල දහම විග්‍රහ කෙරෙන්නෙ නැහැ ජ්‍යොතිෂයේ මුහුර්ත ක්‍රමයෙන් නැතිනම් කේන්දර ක්‍රමයෙන්. කේන්දර ක්‍රමයෙන් කරන්නෙ එහි සටහන බලා මෙය විය හැකියි... වෙන්න පුළුවන් ආදියයි. නමුත් එය සිදු වෙලා... එය සිදු වෙනවා යන ආදි ලෙස කීමටනම් නව ජවයක් තිබිය යුතුයි. අන්න ඒ ජවය ගැනීමට තමයි විශ්ව ශාස්ත්‍රය බද්ධ කරන්නෙ.
විශ්ව ශාස්ත්‍රය සහ ශක්ති බලය (aura) අතර බැඳීමක් තිබෙනවා ද?
ශක්තිය බලය නැතිනම් ‘ඕරා‘ කියන්නෙ අපේ මනස හා බද්ධ වී කරන දෙයක්. අපි මෙහෙම හිතමු, ඕනෑම ජීවියෙක්, ශාකයක් ජීවමය අංශුන් තිබෙන කෙනෙක් පිට කරන යම් යම් කිරණ ශක්තීන් තිබෙනවා. ඒ කිරණ ශක්තීන් ප්‍රභේද කීපයක් තිබෙනවා ජ්‍යොතිෂය අනුව. අන්න ඒ දේ තමයි බද්ධ කරගත යුත්තෙ විශ්ව ශාස්ත්‍රයට.
ඔබ ජ්‍යොතිෂවේදීන් හා සසඳද්දී අඩු වයසක සිටින ජ්‍යොතිෂවේදියෙක්. ඔබට මේ විශ්ව ශාස්ත්‍රිය ශක්තිය ලැබුණේ කොහොම ද? කිසියම් හැදෑරීමකින් ද? නැතිනම් අධ්‍යයනයකින් ද?
මං ඔබට මගේ දිවියේ මුල් කාලයේ සිටම පිළිතුරක් දෙන්නම්. මම ආගම් දෙකක සම්මිශ්‍රණයක්. මගේ අම්මා කිතුනුවෙක්. මගේ පියා බෞද්ධ. මම කුඩා කාලයේ හැදුණේ කිතුනු පරිසරයක. මට ඒ කාලේ බුදුදහම පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නෑ. වයස අවුරුදු 13ක් වෙනකල්ම ඒ විදිහටයි හැදුණේ. අවුරුදු 13න් පස්සේ මං බුදුදහම පිළිබඳව බොහෝ හැදෑරීම් කරන්න ගත්තා. ඒ වන විට මම ජ්‍යොතිෂය පිළිබඳ අබමල් රේණුවක දෙයක් දැනගෙන හිටියේවත් අවබෝධයක් තිබුණේවත් නෑ. අපේ පරම්පරාවේ කිසි කෙනෙක් ජ්‍යොතිෂයට සම්බන්ධ නෑ. කොටින්ම කීවොත් බොහෝ දෙනෙකුට වගේ ඉපදෙනකොටම කේන්දරයක් හැදුණේවත් නෑ. මං වයස අවුරුදු 13, 14 කාලේදී තාරකා සටහන ගැන හැදෑරුවා. 8,9 පන්තිවල ඉගෙන ගනිද්දී, ඒ තාරකා සටහන් හදාරද්දී ඒවා සමඟ බද්ධ වූ ජ්‍යොතිෂයක් තියෙනවා කියා දැනෙන්න ගත්තා. ඒ සමඟම ඒ පිළිබඳව ඉගෙන ගනිමින් ගවේෂණය කළා. ඒ කාලෙ මට හොඳ ගුරුවරයෙක් හමු වෙනවා. ඔහුගෙන් ලත් දැනුමත් සමඟ මම බොහෝ සේ ඒ පැත්තෙන් වැඩිදියුණු වෙනවා. ඒ ඔස්සේ තව තවත් හොයන්න පෙලඹෙනවා. ඊට බුදුදහමත් සම්බන්ධ කරගන්නවා. ඒ කාලේදීම ඍෂිවරුන් වහන්සේගේ අතීතය සොයා යනවා. ඊට අමතරව ලංකාවේ සහ ඉන්දියාවේ ජ්‍යොතිෂ ඉතිහාසය ද සොයන්න ගන්නවා. නාඩි වැකි සොයනවා. ඒවා සමඟම මට දැනෙන්න ගත්තා ලොකු දෙයක් මේ තුළ තියෙනවා කියා... අද වන විට මං හිතන්නෙ මේක මගේ සංසාරගතව තිබූ දැනුමක්. ඒ දැනුම නිසා තමයි කියවීමේ හැකියාව සහ ඥානය පහළ වන්නේ. මගේ ළමා කාලයේ මුලදී ගණිතයට මං හරිම දුර්වලයි. හැබැයි අවසානයේදී මම ගණිතය විෂයේ අතිදක්ෂයෙක් වෙනවා. ඊට අමතරව බුදුදහමේ දැනුමෙන්ද ඒ දක්ෂතා පෙන්නුවා. බුදු දහමේ ගැඹුරුම තැන් පවා ස්පර්ශ කරමින් අග්ගන්න සූත්‍රය, ත්‍රිපිටකය, භගවත් ගීතාව ආදි සියල්ලම අධ්‍යයනය කරන්න පටන්ගත්තා. අන්න එහෙම ආපු ගමනක අග්‍ර ඵලය තමයි මේ දැන් මම භුක්ති විඳින්නෙ.
විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ නමින් කරළියට පැමිණෙන්නේ කුමන කාලයකදී ද?
මං එනමින් ප්‍රවිෂ්ට වන්නෙ හරියටම 2013 අගෝස්තු මාසයේ 07 වැනිදා. එදා තමයි මං මුලින්ම ජ්‍යොතිෂය කියන විෂය එළියට දාන්නෙ. එහෙම කරළියට පැමිණෙද්දී මං දැනගෙන හිටියා ළාබාල වයසක සිටින කෙනෙක් නිසා මං කියන දේවල් ගැන මිනිස්සු එතරම් තැකීමක් නොකරයි කියා... විශේෂයෙන් කෙනෙකුගේ විවාහ දෝෂ, සෞඛ්‍ය තත්ත්වය, අංග ලක්ෂණ, උපන් ලප විද්‍යාව ආදි දේවල් කියන්න බෑ කියා. මොකද මං පුංචි වයසක නිසා ඒ දේවල් කියද්දී යම් යම් සීමාවන් පැනවෙනවානේ පොඩි වයසේ කෙනෙක් නිසා. එවැනි දේවලදී තවමත් මං හිරවෙන තැන් තිබෙනවා. ඒ නිසා මං සීමාසහිතවයි කතා කරන්නෙ. මොකද මං දන්නවා උස තැන්වලට අකුණු ගහන බව.
විශ්ව ශාස්ත්‍රවේදය අනුව රටේ වර්තමානය මෙන්ම අනාගතය කෙබඳු ලෙස ද ඔබ දකින්නෙ...?
ලංකාවේ සාමාජීය තත්ත්වය ගැන කතා කළොත්... සාමාන්‍යයෙන් වසර තිහකට වතාවක් තමයි සෙනසුරුගේ චලනය බලවත්ව සිදුවන්නේ. 2019 වසරේ සෙනසුරු වක්‍ර වීමට පටන්ගත්තා විශ්ව කේන්දරයේ. 2019 මාර්තු 26 සෙනසුරු වක්‍ර වුණා මකරය දෙසට. ලංකාවේ කේන්දරයේ ලග්නය වන්නෙ කුම්භ. අධිරාජ්‍ය කාරක සෙනසුරුගේ කුම්භ. මේ සෙනසුරු අධිරාජ්‍ය කාරක රාශියක් වන කුම්භ ලග්නය තුළ තමයි මේ අක්ෂාංශ, දේශාංශ පිහිටීමට අනුගතව. ඉන්දියාව සහ ලංකාව කියන්නෙ සම අවකාශයේ පිහිටන රටවල් දෙකක්. රටවල් දෙකටම පිහිටන්නේ කුම්භ රාශිය. ලංකාව ඉන්දියාව වගේ රටවලට බලපාන විදිහට මේ සෙනසුරු ඉතා වේගයෙන් වෙනස් වන කාලයක් ආරම්භ වුණා 2019 මාර්තු 26 වැනිදා. මාර්තු 06 සිට බල වික්‍රමය වෙනස් වෙමින් කලා අංශික වෙනස් වුණා. මාර්තු 26 සිට ක්‍රියාත්මක වුණා. 2020 වසරේ ජනවාරි 24 වැනිදා සෙනසුරු සම්පූර්ණයෙන් පැමිණෙනවා සෙනසුරුගේ ලග්නාධිපති වන මකරයට. අධිරාජ්‍ය කාරකයා සෙනසුරු කුම්භයේ සිට එන්නෙ ආසන්න රාශිය වන මකරයට. ඒ කියන්නේ කුම්භ ලග්නයේ 12 වැන්නට. ඒ ආපු ගමනත් එක්ක සිද්ධ වෙච්ච දේ තමයි මුළුමහත් ලෝකයටම විපාගත කර්මයක් වසර 30න් 30ට උදාවන්නා සේ නැවත වතාවක් අඳුරුගත යුගයක් ආරම්භ වුණේ. එවැනි අඳුරුගත යුගයට බිලිවන සාධක කීපයක්ම ලෝකය තුළ තිබෙනවා. එකක් සෞඛ්‍යය, සෙසු කාරණා, දේශපාලනය, ආර්ථිකය, මිනිසුන්ගේ මානසිකත්වය. මේ සියල්ලම වෙනස් වන තැනක් තමයි ආරම්භ වුණේ.
ලෝකයේ මිනිසුන්ගේ මානසිකත්වය කනපිට පෙරළුණු තැනක් ලෙස තමයි 2019 මාර්තු 26 වැනිදා පටන් ගැන්ම. සෙනසුරු නැවතත් ප්‍රතික්‍රියක තත්ත්වයෙන් වසර 30කට පසුව පැමිණියා මකර රාශියට. 2020 වසරේ ජනවාරි 24 වැනිදා ඒ සෙනසුරු මකරය තුළ බලය පැතිරුවා. 2020, 2021, 2022, 2023 ජනවාරි මාසයේ 17 වැනිදා තෙක් සෙනසුරු රැඳි සිටියේ මකර රාශිය තුළයි. එදිනෙන් පසු සෙනසුරු කුම්භ රාශියට පැමිණියා. සෙනසුරු දැන් සිටින්නෙ කුම්භ රාශියේ උඩයි. සෙනසුරු දැන් අධිරාජ්‍ය කාරක රාශිය ගතකරමින් යනවා. එතැනින් පස්සෙ තමයි මිනිසුන් නැවතත් අලුත් විදිහට හිතන්න පෙලඹෙන්නේ. ඒ කියන්නෙ හැඟීම්, දැනීම්, සිතුවිලි, මානුෂිය භාවයන් සියල්ලම දැනෙන ලෙසට ආරම්භ වන්නෙ එදින සිටයි. එදා සිට තමයි මිනිසුන් අනෙකා ගැන හිතන්න ගත්තේ. අපි අපේ පරාර්ථකාමිත්වය ගැන හිතුවේ නැත්නම් අපි අතින් හැමෙකාම මිය යනවා හෝ යා හැකියි කියා. විනාශය ගැන දැනෙන ලෙස හිතන්න ගත්තේ එදා සිටයි.
පසුගිය කාලයේ දුරස් කර පෙන්වූවා මිනිසා මිනිසාට කරන අගතිය. ඒක හොඳින්ම පෙන්නුවේ කොවිඩ් වසංගතය වැනි රෝගවලින්. කොවිඩ් දීපු දඬුවමක්. සෙනසුරු මකරයට ඇවිත් වැරදි කලාවකින් පෙන්නුවා වසංගත රෝග පීඩා ලෝක යුද්ධ වැනි සියල්ලම. දැන් අපි ඉන්නෙ මුළු ලෝකයම වැටුණු සමයක. එතැනින් නැඟිටන තැනේ පළමු ඉඟිය තමයි 2023 ජනවාරි 17 දුන්නෙ. හැබැයි ඒ වුණාට තාම ලෝකය හැදෙමින් සිටින්නේ. හරියටම හැදෙන තැන සනාථ කරන්නෙ වසර හතකට පසුවයි. හැබැයි 2026 වසරේදී ලංකාවේ ආර්ථිකය නැවත බලවත් වෙනවා. 2030දී ලංකාව හොඳ තැනක තියෙනවා. ඒ කියන්නෙ 2030 වසරේදී තමයි සියල්ල ජය ගනිමින් රට හැදෙන්නෙ. තවම ගෙවෙන්නෙ අනෙකා අනෙකාගෙන් යැපෙන, අනෙකා විනාශ කරන... ඩැහැගන්න බලන ක්‍රමයක්. 2030න් පස්සෙ අලුත් නිර්මාණාත්මක සිතුවිලි ලෝකයට එනවා. මේ ගෙවෙන්නෙ මිනිසුන්ට බුදුදහම අනුව වේදනාව, සංඥාව, සංකාරය හුරු කරන කාලයක්. ඒකෙන් පස්සෙ තමයි මිනිස්සු ප්‍රතිඵල ලබන්නේ. මේ කාලයේ ජනතාව ඉතාම බුද්ධිමත්ම ගත කළ යුතුයි. මේ සෙනසුරු ජනතාවට දෙන්නෙ දැඩි බවක්. තමන්ගේ අරමුණුවලට කෙසේ හෝ යා යුතුය කියන දැඩි අධිෂ්ඨානයයි.
ඔබ කියන්නෙ 2030න් පසුව ලංකාව සුඛිත මුදිත රටක් වෙනවා කියා ද?
ඔව්. ඒක මම විතරක් නෙවෙයි ප්‍රකට විද්‍යාඥයෙක්ද කියා තිබුණා 2050 වන විට ලංකාව ආසියාවේ බලවන්ත රටවල් වන චීනය, ඉන්දියාව වගේම ලංකාව, බංග්ලාදේශය වගේ රටවලුත් ඉතා වේගයෙන් දියුණුව කරා යනවා කියා. ඒක නිසා ලංකාව නැවත ගොඩනැඟෙනවා. නියඟයෙන් පස්සෙ වැස්සත්, දුෂ්කර ක්‍රියාවෙන් පසුව බුද්ධත්වයත් ලැබුවා වගේ ඉතාම සාර්ථක කාලයක් ඉදිරියේදී ගොඩනැඟෙනවා.
මියුරු විකුම් ලියනගේ විශ්ව ශාස්ත්‍රඥයා දුටු ඕනෑම කෙනෙකුට වෙනසක් පෙනෙනවා... ඔබ පැලඳ සිටින ස්වර්ණාභරණ තුළින් ඔබට යම් ශක්තියක් ලැබෙනවා ද? ඒ ගැන කතා කිරීමට ඔබ කැමැති ද?
අනිවාර්යයෙන්ම මං කැමැතියි. මම පැලඳ සිටිනවා රත් කරපු සහ රත් නොකරපු දෙකටම අයත් මැණික් වර්ග. මේ සියල්ලම මම පැලඳ සිටින්නෙ ආකර්ෂණයට නැතිනම් වශියටයි. සමහරු හිතනවා ඇති මම මේවා පැලඳ සිටින්නෙ කිසියම් බලයක් ලබා ගැනීමටයි කියා. නෑ... එහෙම කිසිම දෙයක් නෑ. මේ මම දියුණු වුණාට පසුව මගේ ආර්ථිකය ගොඩනැඟුණාට පසුව ආකර්ෂණය වෙනුවෙන් පලඳින දෙයක්. ඒ වගේම මේ හැම මැණික් ගලක්ම මට ලැබුණේ මැණික් පතල් කරන අයට ලබා දෙන නැකත්, නිසි කාලයන් පිළිබඳව සාර්ථක වීමෙන් පසුව මට ගෙනැවිත් දුන් ප්‍රතිලාභයි. මේක තනිකරම ආකර්ෂණයට පමණයි. එහෙම නැතිව මුද්දක්, සුරයක් පැලඳීමෙන් කර්මය වෙනස් කළ හැකියැයි සමහරු හිතනවා. ඒ වගේම එවැනි බොරු ගොතමින් ‘මාකට්‘ කරනවා. මෙහෙමයි ශක්ති බලයක යම් බලයක් වෙනස් කළ හැකි වුවත් කර්ම පලයක් කිසිවකුට කිසිවක් පැලඳගෙන වෙනස් කළ නොහැකියි. එහෙමනම් මුද්දක් පැලඳීමෙන් බුදු වෙන්න පුළුවන් යැයි හිතාවි.
ඔබ විශ්ව ශාස්ත්‍රවේදී බලයෙන් ලබාගත් බොහෝ අත්දැකීම් ඇති නේද?
ඔව්. මං ඒ කාලේ ජ්‍යොතිෂය කරන සමයක් නෙවේ. මට අවුරුදු 15 16 වගේ. ඒ කාලයේදී මම එක්තරා පුද්ගලයකුට කියනවා... ගසක් තියෙනවා ඒක කොස් ගහක්... ඒකේ ගෙඩියක් ඉදිලා තියෙනවා... මම ඒ පුද්ගලයාට කිව්වා ඒ ගහට නඟින්න එපා හරියටම එදා 2.45ට ඒ ගහෙන් වැටිලා මිය යනවා කියලා. පස්සෙ ඒ පුද්ගලයා ටික වේලාවකින් ඒ ගහට නැඟලා... මම එදා ඒක කිව්වෙ පෙරවරු 11යි ගාණකට. ඒ පුද්ගලයා එතැන වැඩ කරමින් සිටියේ.. මම කියලා යන්න ගියා. ඔහු 2.15 වෙද්දි ඒ ගහට නැඟලා වැටිලා මිනිස්සු උස්සන් යනවා. අන්තිමට හරියටම 2.45 ළංවන විට ඒ මනුස්සයා මිය ගිහිල්ලා. ඒක තමයි මගේ මේ බලයෙන් ලැබූ පළමු අත්දැකීම. මම ඒ වගේ මේ වන විට ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සිටින බොහෝ දෙනෙකුගේ ලෙඩ දුක් ගැන කියලා තියෙනවා... මෙරට ප්‍රකට නර්තනවේදිනියක් සිටිනවා. එතුමිය අද වන විට බොහෝ රෝග පීඩා මට්ටමින් සිටින්නෙ. මං එතුමියගේ පිළිකාවක් ගැන වෛද්‍යවරු කියන්නටත් ප්‍රථම මම ඒ පිළිකාව ගැන ඉඟි දුන්නා. ඒ වගේම මෙරට ප්‍රසිද්ධම රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුගේ පිළිකාවක් ගැනත් මම හෙළි කිරීමක් කළා. ඒ පිළිකාව තිබූ තැන අමෙරිකාව සිංගප්පූරුව වැනි රටවලට ගිහිල්ලාත් සොයා ගන්න බැරිවෙලා. වෛද්‍යවරු කියලම තිබුණේ එහෙම දෙයක් නෑ කියලා. මා ගාවට ආපු මොහොතක මම තැන කිව්වා... එතැන පරීක්ෂා කරන්න කියා. මං කියපු තැන පරීක්ෂාවෙන් වෛද්‍යවරු එය සොයාගත්තා. තව ප්‍රකටම කලාකරුවකුටත් මේ වසරේ මාර්තු 23 වැනිදා මම කිව්වා... හෘදය වස්තුවට සම්බන්ධ නාළ 4ක් අවහිර වෙලා තියෙන්නෙ. ඉන් දෙකක්ම දාන්න වන බව. ඔහු පරීක්ෂා කළා. දෙකකටම ‘ස්ටෙන්ට්‘ දාන්න වුණා.
මගේ ගුරුතුමා බලන්න දවසක් මම ගියා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිද්දී. එදා වෛද්‍යවරු කිව්වා... ඔහුගේ හදවත සියයට තිහක්වත් වැඩ කරන්නෙ නෑ... බේරගන්න බැහැ ඉදිමිලා තියෙන්නෙ කියලා. මම ගිහින් ඇවිත් දවස් හතකට පස්සෙ මගේ ගුරුතුමා මට කෝල් එකක් දීලා කියනවා ඔබ ඇවිත් කිවු පරිදිම දවස් හතකින් මට සුවය ලැබුණා කියා.
ඒ වගේ බොහෝ අත්දැකීම් තියෙනවා.. කඹුරුපිටිය රෝහලේ හාට් ඇටැක් නිසා ප්‍රතිකාර ගනිමින් සිටි දියණියක් බලන්න මම ගියා. ඇයට ශල්‍යකර්මයක් කළ යුතුව තිබුණා... වෛද්‍යවරු කිව්වා ශල්‍යකර්මය කරලා වැඩක් නෑ... ළමයා මාස හයකට වැඩිය ජීවත්වෙන්නෙ නෑ කියලා. මං කිව්වා මාස පහක් ගොස් ශල්‍යකර්මය කරන්න. ළමයා ජීවත් වෙනවා වසර ගණනාවක්... ඇයට විවාහයකුත් තියෙනවා කියා. මම කිව්වා සේ මාස පහකින් ශල්‍යකර්මය සිදු කළා. අතිසාර්ථකයි. අද වන විට ඒ දියණිය විවාහ වීමටත් සූදානම් වෙනවා. ඒ දේ සිදු වුණේ 2017 වසරේ.
ඔබ දකින විදිහට විද්‍යාව ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිගන්නවා ද?
මෙහෙමයි සමහර දේ විද්‍යාවෙන් ඔප්පු කළ හැකි සාධක වගේම ඔප්පු කළ නොහැකි සාධක තියෙනවා. ඇසට පෙනෙන දේ සහ ඇසට නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගන්න සූත්‍රයේදී මේ සියලුම අංශු ඇසට නොපෙනෙන සීමාවෙන් එහාට බිඳින්න පුළුවන් කියා. ඒ වගේම ලෝකයේ සමහර දේවල් තියෙනවා ඔප්පු කළ හැකි වන තෙක් අපි ඒ තැන්වලට යන්නෙ නෑ. ගුප්ත ශාස්ත්‍රය මීට වසර හයදාස් ගාණකට පෙර එන්නක්. බුදුන් වහන්සේ කටක රාශියෙන් ඉපදෙන බව පුලස්ති බුධ ඍෂිවරුන් වහන්සේ දැනගෙන හිටියා. යේසුස් වහන්සේ කන්‍යා රාශියෙන් ඉපදෙන බවත් ඍෂිවරුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ වගේම මම යම් රාශියක ඉපදෙන බවත් ඔබ යම් රාශියක ඉපදෙන බවත් උන්වහන්සේලා දැනගෙන හිටියා. එතැනින් එහා ගොස් අනාගතයේ මෛත්‍රි බුදුන් වහන්සේ මිථුන රාශියේ ඉපදෙන බවත් ඍෂිවරුන් වහන්සේ දැනගෙන සිටිනවානම් මේ ශාස්ත්‍රය කිසිම තැනෙක බොරුවක් වෙන්න බැහැ. ලෝකය ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිගන්නෙ නෑ කීවට මකර රාශියට සෙනසුරු පැමිණෙන විට එලිසබෙත් රැජන පවා මිය යනවා. ඇය මකර රාශියේ. මකර රාජ්‍යය චීනයයි. චීනෙන් තමයි කොවිඩ් වසංගතය ලෝකයට පැතිරුණේ. ට්‍රම්ප්ට ලග්නයක් තියෙනවා සිංහ. බිල් ගේට්ස් මිථුන ලග්නයේ. ඩයනා කුමාරියට වෘශ්චික කියන ලග්නය තිබුණා. එලෝන් මස්ක්ට ලග්නයක් තියෙනවා. ෂාරුක් ඛාන්ට මකර ලග්නය තිබෙනවා. ඒක තමයි ඇත්ත. අද වන විට මේ ජ්‍යොතිෂය හැම තැනම පාහේ පිළිගන්නවා.
ඒත් ලංකාව මේ ශාස්ත්‍රයෙන් නියම ප්‍රයෝජන ගන්නෙ නෑ. භාවිත කරන විදිහේ ප්‍රශ්න තියෙනවා. අද වන විට නාසා ආයතනය පවා නැකත පිළිගන්නවා. නාසා ආයතනය නැකතකින් තොරව අනවශ්‍ය වේලාවක කුමක් සිදු කළත් එය අසාර්ථක වෙනබව පිළිගන්නවා. මේ දේවල් මිනිස්සු දන්නෙ නෑ...
ඡායාරූප - තිලක් පෙරේරා