
වදනින් කිව නොහැකි හැඟීම් සමුදායක් ප්‍රකාශ කරන්නට ජීවගුණයෙන් පිරිපුන් සිතුවමකට හැකිය. පැන්සලෙන් හා පින්සලෙන් ගෙත්තම් කළ එවැනි අපූර්වතම සිතුවම් රැසකින් සමන්විත සිත්තම් දැක්මක් ලබන අගෝස්තු 24 සිට 26 දක්වා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයේ ජේ. ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. මේ සිතුවම් දැක්මේ අයිතිකරු ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු මෙන්ම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු වන රංජන් ඒකනායකය. Brushstroke of serenity හෙවත් 'දෘශ්‍ය සංධ්වනියක රංජනය' යනුවෙන් නම් කර ඇති මෙම සිතුවම් දැක්මට ඔහු විසින් අඳින ලද දියසායම් චිත්‍ර 58ක්, රේඛා චිත්‍ර 25ක් හා කැරිකේචස් කාටුන් චිත්‍ර 80ක් ඇතුළු සිතුවම් 175කට අධික සංඛ්‍යාවක් ඇතුළත්ය.
අගෝස්තු 24 පෙරවරු 10.00ට ඇරඹෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ආරාධිතයන්ට පමණක් විවෘත අතර, එදින පෙරවරු 12.30 සිට රාත්‍රී 7.30 දක්වා මහජනයාට විවෘත වේ. 25 -26 දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 7.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ. සමාරම්භක උලෙළේදී තමාට චිත්‍ර කලාවේ නියැළීමට උත්තේජනයක් සැපයූ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් තිදෙනකුට හරසර පිදෙන බව ද චිත්‍ර ශිල්පී රංජන් ඒකනායක කීවේය.
මහනුවර අරුප්පොල උපන් රංජන්ගේගේ සහජ චිත්‍ර කලා හැකියාව තවත් ප්‍රගුණ වන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ විභාගයේදී චිත්‍ර විෂයයට විශිෂ්ට සාමර්ථයක් ලැබූ රංජන් එතැන් සිට චිත්‍ර කලා කුසලතාව පොහොසත් කරගන්නේ නිරන්තර අභ්‍යාසය සහ ඉවසීම මඟිනි. පාසල් අධ්‍යාපනයෙන් පසු චිත්‍ර ශිල්පියකු ලෙස දැන්වීම්කරණ ක්ෂේත්‍රයට එක්වන හෙතෙම පසු කලෙක ඩිජිටල් තාක්ෂණය ද භාවිත කරමින් චිත්‍ර නිර්මාණයේ දක්ෂතා දැක්වීය. නිර්මාණ අදියුරුවරයකු ලෙස දශක දෙකකට අධික කාලයක් සැලසිනේ ආයතනයේ සේවය කළ රංජන් ඒකනායක සේවයෙන් විශ්‍රාම ලබන්නේ 2020 වසරේදීය.
ලැබූ විවේකයත් විශ්‍රාම දිවියත් වඩාත් අරුත්බර කරගන්නට ඔහු අතට ගන්නේ ඩිජිටල්කරණයත් සමඟ කලක් ඔහු වෙතින් දුරස් වී තිබූ පින්සල සහ පැන්සලයි. මෙම ප්‍රදර්ශනයේදී එළිදකින්නේ රංජන් විසින් එසේ අඳින ලද සිතුවම්ය. කාලීන සමාජ සහ දේශපාලන අවස්ථා නිරූපණය කරමින් චිත්‍ර කලාවේ නිරත ඔහු මුහුණු පොතේ ද ජනප්‍රිය සිත්තරෙකි. තම සිතුවම්වලට ප්‍රියකරන කලාකාමී සැමට Brushstroke of serenity හෙවත් 'දෘශ්‍ය සංධ්වනියක රංජනය' සිතුවම් ප්‍රදර්ශනය හා එක්වන ලෙස චිත්‍ර ශිල්පී රංජන් ඒකනායක ඇරයුම් කරයි.
ඡායාරූපය මාලන් කරුණාරත්න