හෘද අංක 1 හිමියෝ නායකත්වය සොයා යන්නෝ | Page 3 | සිළුමිණ

හෘද අංක 1 හිමියෝ නායකත්වය සොයා යන්නෝ

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය

ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය

ඒ. ජේ. දීපාලෝක

 

මෙහිදී හෘද අංක 1 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කර ගත යුතුය.

ඒ අනුව හෘද අංකය 1 වූ ඔබට ඉතා හොඳ ආත්ම විශ්වාසයක් පවතින බවත් ස්වාධීන ගති පැවතුම්වලින් යුක්ත පුද්ගලයෙක් බවත් සඳහන් කළ හැකිය. එසේම සෑම කටයුත්තකදීම වගකීම් සහගතව ක්‍රියා කරයි. තමාට පැවරුණු කාර්යය කුමක් වුවද එය කිසිවකුටත් නොදෙවැනි ආකාරයට කිරීම ඔබේ අභිප්‍රාය වෙයි. තමාගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින්ම ක්‍රියා කරන ඔබ තමා බලාපොරොත්තු වන ඉහළම ජයග්‍රහණය ලැබීමට හැම මොහොතකම අපේක්ෂා කරයි. උත්සාහයත් ධෛර්යත් ඔබ තුළ නිරායාසයෙන්ම පිහිටා තිබේ.

එමෙන්ම හෘද අංකය 1 හිමිවූවන් තරමක් අහංකාර දඩබ්බර ගති ද ඔහුගේ හෝ ඇගේ අාධ්‍යාත්මය තුළ ගැබ්ව පවතී. එසේම අන් අයගේ අවධානය මෙන්ම ආත්ම ගරුත්වය ද බලාපොරොත්තු වෙයි. තමාගේ සීමාව හොඳින් තේරුම් ගන්නා හෘද අංක 1 හිමිකරුවන් එම සීමාව තුළ තමන් උපරීම නිදහසක් සහ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙයි. රැකියා ව්‍යාපාර ස්ථානවලදී මෙන්ම සමාජ කටයුතුවලදීත් කැපී පෙනෙන ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන චරිතයක් බවට පත් වෙයි. නායකත්ව ගති ලක්ෂණ සහජයෙන්ම පිහිටා ඇති හෘද අංක 1 හිමි ඔබට සෑම කටයුත්තකදීම ප්‍රමුඛස්ථානය නිරායාසයෙන්ම හිමි වෙයි.

හෘද අංක 1 හිමි ඔබ කුමන කාර්යක නිරත වුවද ඒ කාර්ය තුළ දක්ෂ ලෙස උත්සාහයෙන් යුතුව නිරත වීමේ හැකියාව පවතී. ඕනෑම බැරෑරුම් අවස්ථාවක වුවද ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අදහසක් ඔබට නිතැතින්ම සිතට එයි. කළ යුත්ත නොකළ යුත්ත වහා අවබෝධ වන ගතියක් පවතී.

මිනිසුන්ගේ හැඟීම් ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකියාව පවතී. අන් අයගේ හැකියාවන් සහ දක්ෂතාවන් ඇගැයීමට ලක් කරන මේ අය ඔවුන්ගේ අඩුපාඩු දුර්වලතා ද පෙන්වා දීමට පසුබට නොවේ.

කෙසේ වුවත් තමන් මූලික කරගෙන තීන්දු තීරණ ගැනීම හෘද අංක 1 හිමි අයගේ ස්වභාවයයි. මේ අය තමන්ට අවාසි කිසිම තීරණයකට නොපෙලඹීමට වග බලා ගනියි. සෑම විටම බුද්ධිමත්ව සිතා බලා ක්‍රියා කිරීම ඔවුන්ගේ සිරිතයි. නමුත් ඔබේ චරිතය තුළ දුර්වලතා ද නැතුවාම නොවේ. සමහර විට විචාරශීලී බවින් තොරව කිසිම ප්‍රවේසමක් නැතිව කටයුතු කරන අවස්ථා ද තිබේ. සමහර අවස්ථාවල කලබලයට හදිසියට ගන්නා තීන්දු තීරණ නිසා අවුල් ඇති කර ගනී.

එමෙන්ම තමන් මූලික කරගෙන ගන්නා සමහර තීරණ නිසා ආත්මාර්ථකාමී ගතිය ඉස්මතු වන අවස්ථාද පවතී. මෙවැනි දුර්වලතා මඟහරවා ගැනීමට කටයුතු කිරීම යහපත් වන අතර, ඔබේ අරමුණු සහ ඉලක්ක වෙත පහසුවෙන් ළඟා වී සාර්ථකත්වයට පත්වීමට ඇති අාධ්‍යාත්මික ශක්තිය හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් වෙයි.

හෘද අංක 2 පිළිබඳ පලාපල ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

Comments