රවි ග්‍රහයාගේ සුබ සංයෝග | Page 4 | සිළුමිණ

රවි ග්‍රහයාගේ සුබ සංයෝග

ග්‍රහ ලොව පියා ලෙස ද රාජ්‍ය කාරක ග්‍රහයා ලෙස ද 'රවි ග්‍රහයා' හඳුන්වයි. රවි ග්‍රහ ලොව මූලිකයා වන අතර 'උසස්ම දෙවියා' හැටියට ද පිළිගනී. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන් මතුවීමට සහ බැසීමට මිනිත්තු දෙක බැගින් ගත වේ. තේජෝ භූතයට, සත්ව ගුණයට හා මුල ධාතුවට අයත් වේ. මේෂ රාශියට උච්ච වන රවි ග්‍රහයා සිංහයට ස්වක්ෂේත්‍ර වේ. තුලාවට නීච වන රවි කැති, උත්‍රපල්, උත්‍රසල නැකත් තුනට හා සිංහ රාශියට අධිපති වේ. එක් රාශියක මාසයක පමණ කාලයක් ගත කරන රවිගෙන් ජීව බලය හා රෝග නාශක බලය ලැබේ.

රවි බලවත් වූ විට නිර්භීතකම, ආඩම්බරකම, ප්‍රසිද්ධිය හා පාලන හැකියාව ඇති කරයි. රවි දුර්වල වූ විට පහත් අදහස්, පුහු අහංකාරකම වැඩි කරන අතර අනුන් කෝප කරවීම, ආගිය තැන පිළි නොගැනීම ඇති කරයි. රවි උෂ්ණ ග්‍රහයකු වන අතර එළිය, ආකර්ෂණය ලබා දෙයි. රවි පුරුෂ ග්‍රහයකු වේ. රවිගෙන් හෘද රෝග, උණ රෝග, මොළේ දුර්වල වීමේ රෝග, ඇස් රෝග ඇති වේ.

මිනිස් සිරුරේ හෘදය, කොඳු ඇට, හිස, මොළය, උගුර, පුරුෂයින්ගේ දකුණු ඇස ද ස්ත්‍රියගේ වම් ඇස ද, උදරය ද රවිට අයත් වේ.

ජන්මියාගේ රැකියා තත්ත්වය සඳහා ද රාජ්‍ය කාරක රවිගේ පිහිටීම බලපායි. දිවාකර, දීප්ත, ආධිත්‍යය යන නම්වලින් ද රවි ග්‍රහයා හඳුන්වයි. රවිට අයත් වෘක්ෂය ඉඹුල් වන අතර මැණික් රතු කැට වේ.

ග්‍රහලොව පියා ලෙස හඳුන්වන රාජ්‍ය කාරක රවි ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැතිනම් සංයෝග වූ විට කේන්දර හිමියාට ලැබෙන ශුභ අශුභ මෙසේය රවි සඳු සංයෝගයෙන් උපන් අය ඉතා ප්‍රකට වේ. ඉගෙනීමට යහපත් වන අතර වස්තුව ලැබේ. ස්ත්‍රීන්ගෙන් ගෞරව ලැබේ. යහපත් ශරීරය හිමි වන අතර ධනයට යහපත් වේ.

රවි කුජ සංයෝග වූ විට බලය හා ඔරොත්තු දෙන ගතිය වැඩි වේ. චිත්ත ශක්තිය වැඩි වේ. මේ දෙදෙනාගෙන් උෂ්ණ රෝග ඇති වීමට හේතු වේ.

රවි බුධ දෙදෙනා නිතරම සංයෝග වන ග්‍රහයන් වේ. මේ යෝගයෙන් උපන් අය ඥානවන්ත වේ. ගණිතය විෂයට දක්ෂ වේ. ප්‍රසිද්ධ වේ. නරකට සිටි විට මුදල් හානි වීම් අමනාපකම් ඇති වේ.

රවි ගුරු සංයෝග වූ විට ඉතා යහපත් වේ. මෙම සංයෝගයෙන් උපන් අය නීරෝගි සෞඛ්‍යයෙන් යුක්ත වේ. ප්‍රසිද්ධිය ගෞරවය ලැබේ. ඥානයෙන් උසස් වේ. ධනය රැස්කර ගැනීමට ඉතා ශුභ පිහිටීමකි.

රවි ශුක්‍ර සංයෝග වු විට මිල මුදල් හිඟ නොවේ. ස්ත්‍රීන්ගෙන් බොහෝ උපකාර ලැබේ. ලස්සනට පිරිසිදුවට ඉන්න සංගීතයට ප්‍රිය කෙනෙක් වේ. හොඳ විවාහයක් ද යහපත් දරුවන් ද ලැබේ. මෙම සංයෝගය නරකට සිටියහොත් මුදල් අතින් අමාරු වේ.

රවි ශනි සංයෝග වූ විට වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබේ. ඉවසිලිවන්ත වේ. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කරයි. පෙර සූදානමක් ඇතිව ඕනෑම වැඩක යෙදේ. දක්ෂතා අතරත් ප්‍රකට චරිතයක් වේ. මෙය ඉතා වටිනා සංයෝගයක් වේ.

Comments