
ජ්‍යොතිෂවේදියෙකු විසින් තම වෘත්තීමය කටයුතුවලට අමතර ලෙස උපදේශන කටයුතුවල ද යෙදිය හැකිනම් එය ඉතා පලදායක වේ යැයි සිතේ. වර්තමානයේදී ඇතැම් ජ්‍යොතිර්වේදීන් උපදේශනය සම්බන්ධ වෘත්තීමය පාඨමාලා හැදෑරීම සැබැවින්ම සතුටට කරුණකි. ජ්‍යොතිර්වේදියෙකු විසින් යම් පුද්ගලයෙකු වෙත උපදෙස් ලබා දෙන්නේ එම පුද්ගලයාගේ කේන්දර සටහනට අනුව සිදු වීමට නියමිත සිදුවීම් ද සමඟ ගළපා බැවින් එම උපදෙස් වඩාත් පලදායක වීමට ඉඩ ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයා විසින් ජ්‍යොතිෂය නොදන්නා ධනාත්මක චින්තකයෙකු විසින් ලබා දෙන උපදෙස්වලට වඩා ජ්‍යොතිර්වේදියෙකු විසින් ලබා දෙන උපදෙස් පිළිගැනීමට සහ අනුගමනය කිරීමට පෙලඹෙනු ඇත. ඒ නිසාම ජ්‍යොතිර්වේදියා විසින් අදාළ පුද්ගලයාට උපදෙස් ලබා දෙද්දී හැකි සෑම විටම ධනාත්මක ලෙස උපදෙස් ලබා දීමට උත්සාහ කළ යුතුය.
උදාහරණ ලෙස කිසියම් පුද්ගලයෙකු යකඩ සම්බන්ධ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ජ්‍යොතිර්වේදියෙකු මුණගැසෙන්නේ යැයි සිතමු. මෙවැනි අවස්ථාවකදී ඔහුගේ කේන්දර සටහනට අනුව යකඩ සම්බන්ධ ව්‍යාපාර කිසිසේත්ම නොගැළපෙන බවත්, රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරයක් නම් ඔහුට ඉතාමත් හොඳින් ගැළපෙන බවත් ජ්‍යොතිර්වේදියා හඳුනා ගත්තා යැයි සිතමු. එවිට අදාළ පුද්ගලයාට රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා උපදෙස් ලබාදීමට ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත. එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා එම පුද්ගලයාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව වඩාත් සුදුසු කාල වකවානු සහ නුසුදුසු කාල වකවානු පිළිබඳව උපදෙස් ලබාදීමට ද ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත.
මීට අමතර ලෙස ඉතා සුබදායක නැකතක් පිළියෙල කර දීම මඟින් සහ බාරහාර වීම වැනි සුදුසු වත්පිළිවෙත් පිළිබඳව මඟපෙන්වීම මඟින් අදාළ පුද්ගලයාගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට ද ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත. නමුත් අදාළ පුද්ගලයා යකඩ සම්බන්ධ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම වෙනුවෙන් ධනාත්මක චින්තන උපදේශකයෙකු මුණගැසුණහොත් ඔහුට එම ව්‍යාපාරය නොගැළපෙන බව එම උපදේශකයා නොදනී. ඔහු කෙතරම් හොඳින් උපදෙස් ලබා දුන්නත් අදාළ ව්‍යාපාරය ඔහුට නොගැළපෙන නිසා අදාළ පුද්ගලයාට බොහෝ විට එම ව්‍යාපාර කටයුත්ත තුළ අසාර්ථක වීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් ධනාත්මක චින්තකයා විසින් ලබා දෙන විශේෂඥ ධනාත්මක උපදෙස් ජ්‍යොතිර්වේදියාට ලබා දිය නොහැකි නිසා ජ්‍යොතිර්වේදියාව මුණගැසීමෙන් පසු ධනාත්මක චින්තකයා ද මුණගැසීම තුළින් අදාළ පුද්ගලයාට තමන් ආරම්භ කිරීමට යන රෙදිපිළි ව්‍යාපාරය වඩාත් ඉහළ ආත්ම විශ්වාසයක් සහිතව ආරම්භ කළ හැකි වනු ඇත.
වරක් විවාහ වී විවාහය අසාර්ථක වූ පුද්ගලයෙකු නැවත විවාහ වීම සුදුසු දැයි ධනාත්මක චින්තක උපදේශකයෙකුගෙන් විමසන්නේ යැයි සිතමු. එහිදී ධනාත්මක චින්තන උපදේශකයාට අදාළ පුද්ගලයා හට, විවාහ දිවිය සාර්ථක කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව උපදෙස් ලබා දිය හැකිය. නමුත් සමහර විට පෙර කී පුද්ගලයාගේ පළමු විවාහය අසාර්ථක වුවද ඔහු ධනාත්මක චින්තන උපදේශකවරයා ලබාදුන් උපදෙස් ආකාරයට පළමු විවාහය තුළද හැසිරී ඇතුවා විය හැකිය. එසේ උචිතම ආකාරයට විවාහය ගත කරද්දීත් විවාහ ජීවිතය අසාර්ථක වූවා විය හැකිය. ඒ අනුව පෙර කී පුද්ගලයාගේ කේන්දර සටහනට අනුව ඔහුට ප්‍රමාද වී සිදුවන විවාහයකින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පෙනෙන්නේ නම් ඔහුගේ පළමු විවාහය සාපේක්ෂව අඩු වයසකින් සිදුවී ඇතිනම් ද ඔහුට නැවත විවාහ වන ලෙස උපදෙස් ලබා දිය හැකිය.
එයට හේතුව ඔහුගේ කේන්දර සටහනට අනුව ඔහුට වඩාත් ගැළපෙන්නේ ප්‍රමාද වී සිදු වන විවාහයක් නිසා, ප්‍රමාද වී සිදු වන ඔහුගේ දෙවන විවාහය සාර්ථක වීමට ඉඩ වැඩි බව ජ්‍යොතිර්වේදියා අනුමාන කිරීමය. නමුත් පෙර කී පුද්ගලයාගේ කේන්දර සටහනට අනුව ඔහුට ඉතා ප්‍රබල නිදන්ගත විවාහ දෝෂ පවතින බව ජ්‍යොතිර්වේදියා නිරීක්ෂණය කරන්නේ යැයි සිතමු. එවිට එම පුද්ගලයා නැවත නැවතත් විවාහ වුවද එම පුද්ගලයාගේ විවාහ දිවිය නැවත නැවතත් අසාර්ථක වන බව ජ්‍යොතිර්වේදියාට නිගමනය කළ හැකි වනු ඇත.
ඒ නිසා නැවත විවාහයක් සිදු කර ගැනීම නිෂ්ඵල බවට පෙර කී පුද්ගලයාට උපදෙස් ලබා දීමට ජ්‍යොතිර්වේදියාට හැකි වේ. නමුත් මෙවැනි හේතුවක් මත මෙවැනි උපදෙසක් ලබා දීමට ධනාත්මක චින්තන උපදේශකවරයෙකුට කිසිදා නොහැකිය. යම් හෙයකින් පෙර කී පුද්ගලයාගේ කේන්දර සටහනේ විවාහ දෝෂයක් නැතිනම් ඔහුට නැවතත් විවාහයක් කර ගන්නා ලෙසට ජ්‍යෝතිර්වේදියාට පැවසිය හැකි වනු ඇත. එනම් එම පුද්ගලයාගේ කේන්දර සටහනේ විවාහ දෝෂ නැතත් ඔහුගේ පළමු විවාහය අසාර්ථක වන්නට ඇත්තේ ඔහුගේ පළමු බිරියගේ කේන්දර සටහනේ ප්‍රබල නිදන්ගත විවාහ දෝෂයක් තිබීම නිසා විය හැකිය.
එම නිසා එම පුද්ගලයාගේ දෙවන විවාහය සිදු කර ගැනීමේදී බලගතු නිදන්ගත විවාහ දෝෂ නොමැති තැනැත්තියක සමඟ විවාහ වන ලෙස උපදෙස් දෙන්නට ද එවැනි නිදන්ගත විවාහ දෝෂ සහිත කේන්දර සටහන් පිළිබඳව අදාළ පුද්ගලයාව දැනුවත් කිරීමට ද ජ්‍යොතිර්වේදියාට හැකි වනු ඇත. නමුත් ධනාත්මක චින්තන උපදේශකවරයෙකුට සේවාදායකයා හට මෙවැනි පලදායක උපදෙස් ලබා දීම අපහසු වේ.