ගෙදර දොර දෝෂ ඇති කරන විපර්යාස | Page 3 | සිළුමිණ

ගෙදර දොර දෝෂ ඇති කරන විපර්යාස

 

සමහරු ඉඩමක් අරගෙන ගෙයක් හදන්න කලින් ඊට සුදුසු ස්ථානයක් හිතේ තියාගෙන ඔප්පු තිරප්පු හදනවා. ඒ හදන ගමන්ම පෙර ලියාපදිංචිය වගේ දේවල් බලා නුසුදුසු නම් සුදුසු තත්ත්වයට ගෙනෙනවා. පළමුවෙන්ම මායිම් කොටු කරගන්නේ ගෙයි ගින්දර පිටටත් එපා... පිට ගින්දර ගෙටත් එපා කියායි.

පසුව ප්‍රාදේශීය සභාවලට නගර සභාවලට වරිපනම් - බිම් කුලී යනාදිය දෙයි. අවසානයේ නිවෙස සාදා පදිංචි වේ. ඔන්න මූලික දේ කළා වාස්තු විද්‍යාවට අනුව. මේ ඔක්කොම දෘශ්‍යමාන දේවල්ය. ගෙදර පදිංචි වෙලා තුන් මාසයක් ඇතුළත මේ ඉඩමට අදෘශ්‍යමාන අයිතිකාරයාට හෝ තවමත් අධිපතීත්වය දරන බහිරව දේවතාවුන් වහන්සේට අදාළ පූජා නිවැරදිව තබන්න අමතක කළෙත් නැත. ඇවිල්ලා කන්‍යා තුන්නූල් පටවල් ඇදලා වැඩේ ආරම්භ කරලා බහිරව කටයුතු සමඟ දිය යුතු පූජා ඉෂ්ට කරලා අවසානයේ නිවස වැටේ ආරක්ෂක මුට්ටි අටකුත් වළලා අවසන් කළා. මෙසේ වැඩ අවසන් කරලා පදිංචි වුණේ ජ්‍යොතිර්වේදියා දෙන නැකතටයි. මෙලෙස කිසිම කරදරයක් නැතිව පුරා සතුටින් තුන් මාසයක් හය මාසයක් පමණ සතුටින් කල් ගෙව්වා. නමුත් ටිකෙන් ටික එක එක ප්‍රශ්න පැන නගින බව එකිනෙකාට තේරුම් ගියා. ගෙදර සමගිය නැතිව ගියා. එකිනෙකාට නුරුස්සන ගතිය පටන් ගත්තා. දරුවො අකීකරු වුණා. ලෙඩ රෝග ක්‍රමයෙන් උත්සන්න වුණා.

ඇතිවී තිබෙන දේ කාටවත් තේරුම් ගියේ නැහැ. හිතාගන්නවත් බැරි වුණා. මෙහෙම වුණේ ඇයි කවුරුහරි කුමක් හෝ කළා ද?

එදා ඔබ නිවසට ප්‍රවිෂ්ට වන විට නිවෙස ඉදිරිපිට ආදරයෙන් පැළ කළ 'පියලි පහේ සුදු ඉද්ද ගහ' දැන් ලොකු වෙලා. මූලික දොර වැහිලා. වෘක්ෂවේදී වාස්තුහරණයට අසුවෙලා. එදා මල් නාවට අද ඇවිත්. මේ 'ඉද්ද' නිවෙස ඉදිරියේ හිටවන්නේ නැත. මල් පිපෙන දාට මේ කරදර ඇති වෙනවා. එළියට යන්න දුර වැඩියි කියලා පුතාගේ යාළුවෙක් නිකන් දීපු ලොකු දොරක් ගේ පිටුපස බිත්තිය කඩලා සවි කළා මතක ද? ඒ දොර නිකං ලැබුණේ. පළලින් මූලික දොරට වඩා වැඩියි. ඉතින් ගෙදරට එන වස්තුවට වඩා 'යන වස්තුව' වැඩි වෙනවා. නැතිනම් ආදායමට වඩා වියදම වැඩි වෙනවා.

එසේම නිවෙසක දොරවල් තිබිය යුත්තේ ‘ඔත්තෙ‘ ගණනට. එකක් වැඩි වුණාම නිවසේ සමතුලිතතාවය නැති වෙනවා. මේවා අපිම කරගන්න කරදර. අනික ගෙදරට පිටින් වැවී තිබෙන ගස්කොළන්වල අතු මඟින් ගැරඩින් වැනි උරග සතුන් එන්නට පුළුවන් නිසා නැඟෙනහිරින් තිබූ කවුළු වැහුවා. එවිට මොකද වුණේ. විශ්ව ශක්තිය විසින් දෙන පෙර දිගින් වැටෙන බලවත් 'කෝණ දෘශයි' වැහුණා. නොදැනුවත්ව වුණාට ඒක කරගත්තේ ඔබමයි. මේ 'කෝණ දෘශ්‍යයිවලින්' කරන්නේ නිවස ඇතුළත ඇති විෂබීජ විනාශ කිරීමයි. එම කවුළු වැහුවාම ඒ කෝණ දෘශයි එන්නෙ කෙසේ ද? ඉතින් නිවෙස ඇතුළේ තිබෙන වා-පිත්-සෙම් යන තුන්දොස් කිපෙනවා. විශේෂම කාරණාවක් තමයි ගෙදර කුණු අතුගාලා එක තැනකට, එනම් කුස්සියේ මුල්ලකට එකතු කළා. කුණු තිබෙන තැනට කුණු එකතු වන එක හරි තමයි. ඒත් කුස්සිය කියන්නේ කුණු එකතු කරන තැනක් නොවේ. ගෙදරක පිරිසිදුවම තබා ගත යුතු ප්‍රධානම තැනක්. මෙතැන කුණු එකතු කළාම එතැනින් අමනුෂ්‍ය දෝෂ ක්‍රමයෙන් ඇති වෙනවා. මේ කරදරය නැති කරන්න බෙහෙත් කඩේට ගොස් සාම්බ්‍රානි ගෙනෙන්න. කුඩු කරලා උදේ හවස ගෙදර හැමතැනටම අල්ලන්න. විශේෂයෙන් දරුවාගේ කාමරයට දුම් අල්ලනකොට පිරිමි පොල්කටු තුනක් ගිනිබත් කර අඟුරු ගන්න. අබ + ලුනු + මිරිස් කෑලිවලින් කිලි නැති කරන්න - මේවා පුංචි කෙම් ගුරුකම්.

සවසට මහන්සි වී නිවෙසට පැමිණි පසුවයි තිබෙන කිලිටි ඇඳුම් ටික හෝදා වැලට දමන්නේ. රාත්‍රී කාලයට වේලෙන්න. රාත්‍රී කාලයට දරුවන්ගේ, කන්‍යාවියැන්ගේ ඇඳුම්, කිරි දෙන මවුවරුන්ගේ ඇඳුම් එළියට දමන්නෙ නැත. ඉතින් රාත්‍රියේ වැලට දාපු ඇඳුම් සමඟ උදේට නැගිටලා වැල යටින් යනවා. එවිට වැල් පැන්නුමට අහු වෙනවා. ඉතින් කරදරම ඇති වේ.

නිතරම කරන දෙයක් තමයි වැඩි හොඳට කියා වත්තේ නිවස ඉදිරිපිට දෙවොලක් හදාගෙන වැඳුම් පිදුම් කරනවා. මේකේ ඇතුළේ අල්පේශාක්‍ය - මහේශාක්‍ය දෙවිවරු වර්ග දෙකම ඉන්නවා. එකම ගාථාවෙන් හෝ මන්ත්‍රයකින් ස්තෝත්‍ර කරනවා. කිසිම අවබෝධයක් නැතිව එවැනි දේ කර කරදර ඇතිකර ගන්නවා.

 

Comments