දරුවො හරියට හදන එක යුතුකමක් නොවෙයි වගකීමක් | Page 2 | සිළුමිණ

දරුවො හරියට හදන එක යුතුකමක් නොවෙයි වගකීමක්

දරුවන් සහ මවුපියන් අතර සම්බන්ධය කෙසේ විය යුතුද කියන මාතෘකාව ආයෙත් කරළිය මුඳුනටම ඇවිත්. යුතුකම්, වගකීම් සහ කළගුණවලින් බෙදා වෙන් කරන්න හැදුවට දරුවො සහ මවුපියන් අතර තියන බැඳියාවේ නැමියාව ප්‍රමාණාත්මකව පෙන්වා දැක්වීම ප්‍රායෝගිකව කළ නොහැකි වැඩක්.

හේතුව, මවුපියන් දරුවන් වෙනුවෙන් සහ දරුවන් මවුපියන් වෙනුවෙන් මොන තරම් දේවල් කළත් ඒ කිසිවකින් මේ පාර්ශ්ව දෙකෙන් එකක්වත් පුර්ණව තෘප්තිමත් කරන්න බැහැ .

මානව බැඳීම් සහ සම්බන්ධතාවල ආරම්භයේදිත් වර්තමාන අද දවසෙත් අනාගත හෙට දවසෙත් තත්ත්වය ඕකම තමයි. දරුවන් සහ මවුපියන් ගැන තවත් වඩාත් සංවේදී කාරණාවක් වෙන්නෙ මවුපියෙකුට දරුවෙකු අහිමි වීම, දරුවෙකුට මවුපියන් අහිමි වීමට වඩා වේදනාකාරී වීමයි.

හේතුව ආසියාතික මිනිස්සු තමන්ගෙ මුළු ජීවිතයම දරුවෝ හදා වඩා නිර්මාණය කරගන්න පුරුදු වෙලා ඉන්න එක.

හොඳම දේ දරුවන්ටයි කියල හිතලා ඒ වෙනුවෙන් වැඩ කරලා, හම්බකරන සල්ලි ඔක්කොම දරුවො වෙනුවෙන් වියදම් කළා කියල විතරක් මදි. වර්තමාන අනාරක්ෂිත සමාජ වටපිටාව තුළ දරුවන් නිදහස් අදහස් තියෙන, මානසිකව තෘප්තිමත්, පෞරුෂවත්, අාධ්‍යාත්මයෙන් පොහොසත් පිරිසක් බවට පත් කිරීමේ වගකීම තියෙන්නෙත් මවුපියන්ටම තමයි.

පුංචි දරුවෝ නව යොවුන් වියට පා තබනවාත් සමඟම දරුවෝ දිහා යාවත්කාලීන වූ ඇසකින් බලමින් ඔවුනගේ හැඟීම් දැනීම් සහ ඇඟවීම් නියමාකාරයෙන් අවබෝධ කරගෙන ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය ශක්තිය දීමට, දරුවන් සම්බන්ධ අපචාර සිදුවන රටක ජීවත් වෙන මිනිස්සු විදිහට ඔබගේ යොවුන් වියේ දරුවන්ව කරදර, අතවරවලින් ආරක්ෂා කර ගැනීමට නම් මවුපියන් මේවා ගැන වඩාත් සැලකිලිමත් වීම බොහෝම වැදගත්.

*ඔවුන්ට අසීමිතව සවන් දෙන්න.

*ඔවුන්ව අසීමිතව විශ්වාස කරන බව සහ පිළිගන්නා බව ඔවුන්ට අඟවන්න.

*දරුවන්ගෙන් වරදක් අතපසු වීමක් සිදු වූ විට කිසිවිටෙකත් ඔවුන් තනි නොකරන්න.

*සංසන්දනය කිරීමෙන් වළකින්න .

*ඔවුන් ඔවුන්ගේ ජීවිතවල සිද්ධි පවසන විට අනවශ්‍ය කඩා පැනීම් විරුද්ධ වීම් නොකර මධ්‍යස්ථව ඒ දෙස බලා ඒ ගැන කතා කරන්න.

*ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු මොනවද ඒ වෙනුවෙන් ඔවුනගේ සැලසුම් මොනවද කියා අසමින් ඒ අරමුණු ගැන නිතරම ධනාත්මකව ඔවුන් සමඟ සාකච්ඡා කරන්න .

*හෝමෝන විපර්යාසය සමඟ ඇතිවන විරුද්ධ ලිංගික ආකර්ෂණය වරදක් නොවන නමුත් එවැනි හැඟීම්වලට වැඩි ඉඩක් දීමෙන් මුළු ජීවිතයම අවුල් වන බව පමණක් ආදරෙන් කියා දෙන්න.

*පොඩි පොඩි සම්බන්ධතාවලදී උපේක්ෂාවෙන් සහ නිසි අවධානයෙන් ඒ දෙස බලා ඉන්න. (බොහෝ සබඳතා කෙටි කාලෙකින් අනවශ්‍ය දුරකට යාමේ හේතුව අනවශ්‍ය මවුපිය මැදිහත්වීම සහ ප්‍රශ්න කිරීම් නිසා)

*තරුණ දරුවෝ අවශ්‍ය දේවල් ආස දේවල් පුළු පුළුවන් විදිහට ලබා දෙන්න.

*කැමැති විනෝදාංශයකට ඉඩ දෙන්න.

*තමන් මුහුණ දෙන හොඳ හෝ නරක ඕනෑම දෙයක් පිට කෙනෙකුට කියනවට කලින් අමුවෙන් මවුපියන්ට කියන්න පුළුවන් තරමට දරුවන්ට මිත්‍ර වන්න.

*ප්‍රේමය, ලිංගිකත්වය, ගැබ් ගැනීම්, වගේ සමාජ කාරණා ගැන දරුවන්ට තේරුම් ගත හැකි මට්ටමින් කතා බහ කරන්න

*දරුවෙක්ගේ නොගැළපෙන ප්‍රේම සම්බන්ධයකදී අසාමාන්‍ය විරුද්ධ වීම්, තර්ජන ගර්ජන වෙනුවට ඒ තුළින් ඇති විය හැකි සෘණාත්මක බලපෑම ගැන විවෘතව ඔවුන් සමඟ කතා බහ කරන්න .

*ඔවුන්ට නොදැනෙන්න ඔවුන්ගෙ ක්‍රියාකාරකම් ගැන දැඩි අවධානයකින් සිටින්න.

*නොරිස්සුම්, ගණන් නොගැනීම් වෙනුවට දරුවන්ට වැඩිපුර ආදරය දෙන්න.

මේ හැමදේටම කලින්.

දරුවන්ගේ ජීවිත වගේම වර්තමාන සමාජයේ ප්‍රායෝගික යථාර්ථය මධ්‍යස්ථව තේරුම් ගැනීමට පුළුවන් මට්ටමට ඔබ යාවත් කාලීන වෙන්න.

සමාජය වෙනස් කරන්න උත්සාහ ගන්නවට වඩා ඒකට ඔරොත්තු දෙන විදිහට දරුවන්ගේ ඔළුව වෙනස් කරන එක ලේසියි පහසුයි වගේම ආරක්ෂාවයි...

දරුවො වැඩිහිටියෝ වෙනකම් ඔවුන්ව පෝෂණය කරලා, ආරක්ෂා කරලා, ඔවුන්ව නිසි පරිදි සමාජ ගත කරවන එක මවුපියෝ ඔවුන්ට කරන උදව්වක්වත් යුතුකමක්වත් නෙමෙයි. ඒක වගකීමක්.

Comments