නිවසට වාසනාව ගෙනෙන සුබ දිශා | Page 3 | සිළුමිණ

නිවසට වාසනාව ගෙනෙන සුබ දිශා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක

විදුහල්පති කපිල ඉන්ද්‍රික ගුණදාස

මිනිසාට සුරක්ෂිත, සෞභාග්‍යවත් හා නීරෝගීමත් දිවි පෙවෙතකට ගැළපෙන නිවසක් සාදා ගැනීමට මඟ පෙන්වීම වාස්තු විද්‍යාවේ අරමුණයි. වාස්තු විද්‍යානුකූලව ඉදි කෙරුණු නිවසක ශ්‍රියා කාන්තාව වෙසෙන බව නොරහසකි. එයට ප්‍රධාන හේතුව එබඳු නිවසක් තුළට විශ්ව චුම්භක ශක්තිය මැනවින් ලැබීමයි.

නිවසක් සැලසුම් කිරීමේදී නිවසට අදාළ සෑම අංගයක්ම වාස්තු විද්‍යානුකූලව නිශ්චිත ලෙස දිශානුගත කිරීම ඉතා වැදගත් වේ. එසේ නොවීමෙන් නිවැසියන්ට විවිධ කරදර බාධක, රෝගාබාධවලට මුහුණ දීමට සිදු විය හැකිය.

නිවසක නැඟෙනහිර දිශාවෙන් කියැවෙන්නේ නිවැසියන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිළිබඳවයි. නැ‌ෙඟනහිර දිශාවට පියගැටපෙළ, මුළුතැන් ගෙය, උස් බැමි යනාදිය සුදුසු නොවන අතර ඒවා පවතින විට නිවස තුළට විශ්ව ශක්තිය පැමිණිමට බාධා සිදුවීමෙන් නිවැසියන්ට විවිධ රෝගාබාධ ඇතිවීමට පුළුවන.

නිවසක බටහිර දිශාවෙන් කියැවෙන්නේ පවුලේ ස්ථාවරත්වයයි. යම් හෙයකින් නිවසේ බටහිර දිශාවේ වාස්තු දෝෂ පැවතුණහොත් එම කරුණට අදාළව අයහපත් බලපෑම් ඇතිවිය හැකිය.

වාස්තු විද්‍යාවට අනුව නිවසක උතුරු දිශාවෙන් නියෝජනය වන්නේ නිවැසියන්ගේ ආර්ථිකයයි. එබැවින් නිවසේ උතුරු දිශානුගතව වාස්තු දෝෂ පවතින විට සිදු වන්නේ ධනෝපායන මාර්ගවල අනපේක්ෂිත ගැටලු ඇතිවීමයි. නිවසේ උතුරු දිශාවේ කුණු කසළ, නාන කාමර, මුළුතැන්ගෙය තිබීම මෙන්ම එකතු කළ කොටස් පැවතීම ආදිය නිසා උතුරින් නිවසට ඇතුළු වන සුබ ශක්තීන්ට බාධා ඇති වේ.

නිවසක දකුණු දිශාවේ ඇති වන වාස්තු දෝෂ නිසා නිවැසියන්ට විවිධ ආරවුල්, නීතිමය ගැටලු, රැකියා අහිමි වීම් මෙන්ම නින්දා අපහාස ආදියට පවා මුහුණ දීමට සිදු වේ.

නිවැසියන්ගේ පෞද්ගලික සබඳතා නිරිත දිශාවෙන් නියෝජනය වන අතර නිරිත දිශාවේ වාස්තු දෝෂ පවතින විට මුදල් හානි, ණය වීම්, පවුලේ අඬදබර, මත ගැටුම් ඇතිවිය හැකිය. නිරිත දිශාවේ ජල ටැංකි, පූජනීය ස්ථාන, මුළුතැන්ගෙය ආදිය පවතින විට මෙබඳු දෝෂ ඇති වේ.

ඊශාන දිශාවෙන් නියෝජනය වන්නේ නිවැසියන්ගේ භාග්‍ය සහ වාසනාවයි. මේ අනුව ඊසාන දිශාවේ වාස්තු දෝෂයන් පැවතුණහොත් එහි ප්‍රතිඵලයක් ලෙස නිවැසියන්ගේ වාසනාව සහ භාග්‍ය අහිමි වන අතර, බොහෝ විට පවුල් ආරවුල්, අනතුරු මෙන්ම ඇතැම් විට ශල්‍යකර්මවලට පවා මුහුණ දීමට සිදුවිය හැකි ය.

මෙලෙසින් ඊශාන දිශාවේ වාස්තු දෝෂ ඇතිවීමට ඊශාන දිශානුගතව පිහිටා ඇති මුළුතැන්ගෙය, නාන කාමර, වතුර ටැංකි, ගබඩා කාමර යනාදිය හේතු වන අතර එමඟින් අශුභදායක සෘණාත්මක බලවේග නිර්මාණය වෙයි.

වයඹ දිශාවෙන් නිවැසියන්ගේ මානසික තත්ත්වය, දුක, සතුට යනාදිය නියෝජනය වන අතර වයඹ දිශානුගතව වාස්තු දෝෂ පවතින විට ඇතිවන අශුභ සහ සෘණාත්මක බලපෑම් හේතු කොටගෙන නිවැසියන් තුළ නිරතුරුවම මානසික අසහනකාරී තත්ත්වයන් ඇති වන අතර, හෘදයාබාධ වැනි රෝග, නීතිමය ගැටලු වැනි දේ ඇතිවිය හැකිය. එබැවින් වයඹ දිශාවේ වාස්තු දෝෂ මඟ හරවාගෙන නිවස ඉදිකිරීමට සැලකිලිමත් විය යුතුය.

ගිනිකොණ දිශාවෙන් නිවැසියන්ගේ ධනය, බලය, කීර්තිය, නීරෝගි බව හා පවුලේ ස්ථාවරත්වය නියෝජනය කරන අතර යම් හෙයකින් මෙම දිශාවේ වාස්තු දෝෂ පැවතුණහොත් ක්‍රියාත්මක වන අයහපත් චුම්භකත්ව ශක්තින් හේතු කොටගෙන නිවැසියන් හට විවිධ රෝගාබාධ වැලඳිය හැකිය. මානසික රෝගාබාධ මෙන්ම සියදිවි නසාගැනීම්වලට පවා ඉඩ ඇත.

මේ අනුව ⁣මෙම වාස්තු දෝෂ මඟහරවා ගනිමින් ඔබගේ නිවසේ මූලික අංග ස්ථානගත කිරීම සදහා ප්‍රවීණ වාස්තු විද්‍යාවේදියකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

 

Comments