
ජ්‍යොතිර්වේදී ගාමිණි ජයතිලක බණ්ඩාර
ජන්මියකුගේ ජන්ම කේන්දරයෙහි ග්‍රහ තැන්පත් වීම අනුව ජන්මියාගේ පලාපල විග්‍රහ කිරීම සිදු වේ. ග්‍රහයන්ගෙන් සුබ පල ලබා දෙන්නේ සිකුරු, බුධ, ගුරු, සඳු ග්‍රහයන්ය. එහෙත් සඳු යහපත් පල ලබා දෙන්නේ අමාවක සිට පසළොස්වක දක්වාය. බුධ සුබ ග්‍රහයෙකු සමඟ තැන්පත් වීමේදී සුබ පලද අසුබ ග්‍රහයෙක් සමඟ තැන්පත් වීමේදී අසුබ පලද ගෙන දෙයි.
උපන් කේන්දරයෙහි ග්‍රහයන් තැන්පත් වීම අනුව වාසනාව ලබා දෙන යෝග කිහිපයක්ද එවැනි යෝග උදා වූ දින පිළිබඳ උදාහරණයක්ද දක්වමි.
2018 ජුලි 18 බදාදා කන්‍යා ලග්නයෙන් උපත ලද ජන්මියෙකුගේ ජන්ම පත්‍රය අනුව සඳුගේ දෙපසින් සුබ ග්‍රහයන් වන ගුරු හා සිකුරු තැන්පත් වීම නිසා ධුරාධුර යෝගය උදා වී ඇත. සතුටින් ජීවිතය ගෙවන මෙම යෝගය හිමි අයට ඉඩම් දේපළ නිවාස හිමි ධනවතෙකු වීම නොවැළැක්විය හැකිය. සමාජයේ යසස කීර්තිය ප්‍රසිද්ධිය "ධුරාධුර යෝගය" නිසා උදා වෙයි.
2022 අගෝස්තු 04 ගුරු දින කටක ලග්නයෙන් උපත ලද අයගේ ජන්ම කේන්දරයෙහි රවි ග්‍රහයා ලග්නයෙහිද සුබ ග්‍රහයන් වන බුධ දෙවැන්නේද සිකුරු දොළොස්වැන්නේද තැන්පත් වීම නිසා "උභයාචාරී යෝගය" උදා වී ඇත. මෙම යෝගය උදාවීම නිසා ධනවතෙකු බවට පත් වේ. පරාර්ථකාමී අයෙක් වන අතර ජීවිතය සතුටින් ගෙවී යයි.
ජන්ම කේන්දරයෙහි ලග්නයේ සඳුද දෙවැන්නේ සුබ ග්‍රහයන් තැන්පත් වීමෙන් ජන්මියාට 'සුනාථ යෝගය' උදා වේ. 1991 පෙබරවාරි 01 වන ඉරිදා කන්‍යා ලග්නයෙන් උපන් අයට මෙම යෝගය උදා වී ඇත. සිකුරු තුලා ලග්නයේ ස්වක්ෂේත්‍රවද සිංහ ලග්නයේ ගුරු මිත්‍රවද යෙදී ඇත. බුද්ධියෙන් අනුණ පුද්ගලයෙකු වෙයි. සුනථා යෝගය හිමි පුද්ගලයන්ට සමාජය තුළ ප්‍රසිද්ධිය, ජනාදරය, ධනය සතු වීම නිතැතින්ම සිදු වෙයි.
ජන්ම කේන්දරයක සඳු තැන්පත් ස්ථානයෙන් 6, 7, 8 ස්ථානවල සුබ ග්‍රහයන් තැන්පත් වීම නිසා 'අධි යෝගය' උදා වෙයි. 2012 පෙබරවාරි 10 වන ඉරිදා මීන ලග්නයෙන් උපත ලද අයට ‘අධි යෝගය‘ උදාවන්නේ සම්පත් හා ධනය උදා කරදී ආයුෂද වර්ධනය වී නීරෝගී බව ද උදා කර දෙමිනි.
ජන්ම කේන්දරයක සඳුගෙන් 12 වන භාවයේ සුබ ග්‍රහයන් පිහිටීම නිසා 'අනථා යෝගය' උදා වෙයි. 2009 පෙබරවාරි 02 වන සඳුදා මේෂ ලග්නයෙන් උපන් අයට 'අනථා යෝගය' උදා වෙයි. ධනවත් බලවත් පාලනයෙහි දක්ෂකම් ඇති පුද්ගලයෙක් වීමට 'අනථා යෝගය' හිමියන්ට වාසනාව ඇත.
ඉහත දක්වා ඇත්තේ සුබ පල ලබා දෙන යෝග කිහිපයකි. අසුබ පල ලබා දෙන යෝග ද ඇත. වාසනාව, තේජස, ධනය පවුලේ දියුණුව හිමි වන යෝගද ඇත. ජ්‍යොතිෂවේදියෙකුට ජන්ම පත්‍රය ලබා දී ඔබට මෙවැනි යෝග උදා වී තිබේදැයි දැනගන්න.