
කාලයක් තිස්සේ ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති ඉදිරිපත් කළ මුහුණු අතර මේ දවස්වල වෙනස්ම මුහුණූ කිහිපයක් අපට දැක ගත හැකියි. ඉතාම තුරුණු වියේ පසුවන මේ ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන්ට මේ අවස්ථාව ලැබුණේ කොහොමද ඔබට එසේ සිතෙන්නටත් බැරිමක් නැහැ. ඒ අලුත් නිවේදක නිවේදිකාවන් පිළිබඳ තොරතුරු සෙවිමේ අදහසින් පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනි සේවයට ගොඩ වුණා.
අපට මුලින්ම හමුවුණේ ප්රවෘත්ති හා කාලීන සිදුවීම්, සහකාර කළමනාකරු වජිර පෙරේරා.
“ අපට ඕන වුණා ස්වාධීන රූපවාහිනි සේවයේ ප්රවෘත්ති ප්‍රකාශ කරන්න අලුත්ම පිරිසක් යොදා ගන්න. සභාපතිතුමාගේ අනුමැතිය ඇතිව අපි කෙටි නිවේදනයක් නිකුත් කළා ප්රවෘත්ති කියන්න කැමැති අයට තමන් ප්රවෘත්ති කියන විදිහ පටිගත කළ විඩියෝ එකක් අපට වට්ස්ඇප් කරන්න කියලා. ඇත්තම කිවුවොත් ඒ දැන්වීමට 2000කට වැඩි පිරිසක් අපට ඔවුන්ගේ වීඩියෝ එවා තිබුණා.
අපි මෙය තෝරන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් තෝරා ගත්තා. ඒ මණ්ඩලයේ කටයුතු කළේ මේ ක්ෂේත්රයේ ඉතාම ප්‍රවීණ පළපුරුදු අය. ඉදුනිල් දිසානායක, සුමනා නෙල්ලම්පිටිය, සුභාෂිණි හේමමාලා වගේම ප්‍රාන් වාකිෂ්ට යන ප්‍රවීණයෝ මේ මණ්ඩලයේ හිටියා. ඉල්ලුම් කළ අපට යොමු කළ ඔවුන්ගේ විඩියෝ මේ අය පරික්ෂා කළා. අපි මේ ළමයින්ගේ අධ්‍යාපන සුදුසුකම්වත් බැලුවේ නැහැ. ඔවුන් ප්රවෘත්ති ඉදිරිපත් කරන විලාශයයි මුලින්ම නිරීක්ෂණය කළේ. අවුරුදු 18 ත් 30 ත් අතර ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අයව මෙහිදි මුලික වටයෙන් තෝරාගත්තා . මේ දෙදහකට අධික පිරිස අතරින් 160 ක් වගේ ප්‍රමාණයක් තමයි තෝරාගෙන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවූයේ. ඒ අය අතරින් කටහඬ, අධ්‍යාපන සුසුදුකම්, ප්‍රවෘත්තති ඉදිරිපත් කීරීමේ විලාසය, පෙනුම සියල්ල බැලුවා. ඒ අය අතරින් අවසානයේ 16 දෙනකු තෝරා ගනු ලැබුවා. ඔවුන්ට පුහුණු වැඩමුළු කිහිපයක්ම පැවැත්වූවා. අද වන විට ස්වාධීන රූපවාහිනියේ පැයෙන් පැය පුවත් ඉදිරිපත් කරන්නේ මේ තෝරාගත් තරුණ තරුණියෝ. මේ තෝරා ගත් අයගෙන් සියයට අනූවක්ම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යල වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ස්වාධින රූපවාහිනි සේවය විධිමත් ලෙස යම් ක්‍රමවේදයකට ප්රවෘත්ති නිවේදක නිවේදීකාවන් බඳවා ගත් පළමු අවස්ථාව තමයි මේක. අද වන විට මොවුන් ප්රවෘත්ති ඉදිරිපත් කිරීම පමණක් නොවෙයි, ප්රවෘත්ති වාර්තා කිරීමට මෙන්ම ඒ ගෙන එන පුවත් සංස්කරණය කිරීමටත් ඔවුන්ට පුහුණුවක් ලබා දෙනවා.
මේ කටයුතුවලදී ස්වාධීන රූපවාහිනි සේවයේ සුදර්ශන ගුණවර්ධන සභාපතිතුමාගෙන් අපට විශාල සහායක් වගේම හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා.“
නවක ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන් ලෙස බඳවා ගත් පිරිස සම්බන්ධයෙන් සහකාර කළමනාකරු වජිර පෙරේරා පවසන්නේ එලෙසිනි.
ගුවන් විදුලි මැදිරියක ප්රවෘත්ති විකාශයක සේවය කරනවාට වඩා රූපවාහිනි මාධ්‍ය ඉදිරියේ ප්රවෘත්ති ඉදිරිපත් කිරීම හාත්පසින්ම වෙනස්ය. සැබැවින්ම ප්රවෘත්ති ඉදිරිපත් කරන්නා තුළ මනා පෞරුෂයක් තිබිය යුතුය. පැහැදිලි හඬක් තිබිය යුතුය. එමෙන්ම විනයක් තිබිය යුතුය. මේ සියල්ලම එක්තැන් වූ විට අපට ප්රවෘත්ති කියන්නා එම ආයතනයේ වත්කමක් ලෙස සැලකිය හැකිය.
පොල්ගහවෙල ශාන්ත බර්නාඩෙත් ආදර්ශ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මධුු නිසංසලා මේ අලුත් කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය සිය බලාපොරොත්තු ඉටු වීම ගැන පවසන්නේ මෙවැනි කතාවකි.
“දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ හිතේ හීනයක් තිබුණා නිවේදිකාවක් වීමට. මම කවදාවත් හිතුවේ නැහැ ජාතික නාලිකාවක මට මෙවැනි අවස්ථාවක් ලැබේවි කියලා. මගේ පියා නැති වෙලා අවුරුදු දොළහක් වෙනවා. අයියයි නංගියි අම්මයි මමයි පවුලේ ඉන්නේ. මට ඕනේ තවත් ඉහළට ඉගෙන ගෙන හොඳ මාධ්‍යවේදිනියක් වෙන්නයි. 2020 වසරේ බ්‍රැන්ඩික්ස් ‘රසදිය මංගල්‍ය‘ යේ පළමුතැන හිමි වුණේ මට. විශේෂයෙන්ම අපට ITNආයතනයේ දී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය බොහෝම ඉහළයි. “
රූපවාහිනියෙක් ප්රවෘත්ති ඉදිරිපත් කරන්නට ලැබීම තමන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස දකින තරුණ තරුණියෝද මේ අතර වූහ.
නෙරාන් උඩවත්ත වයස අවුරුදු 22 ක් වන මේ තරුණයා කියන්නේද එවන් කතාවකි.
“ TV එකේ ගිය දැන්වීම දැකලා තමයි මමත් මේකට ඉදිරිපත් වුණේ. මම ඉගෙන ගත්තේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳලම මට මාධ්‍ය ගැන පුදුමාකාර ඇල්මක් තිබුණා. ඒ ඇල්මම තමයි මාව මෙතැනට ගෙන ආවේ. මාධ්‍යවේදියෙක් වෙන්න මම හරි ආසයි. දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. මෙහිදී අපට හොඳ පුහුණුවක් ලැබෙනවා. අපි බොහෝම කැමැත්තෙන් තමයි මේ සඳහා සහභාගි වෙන්නේ“ නෙරාන් පවසන්නේ එවැනි කතාවකි.
දිලුෂි වරුනිකා දැනට NSBM විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබයි.
“මගෙ වාසනාවට යාළුවෙක් තමයි මට කිවුවේ ස්වාධින රූපවාහිනියේ දැන්වීමක් යනවා, ඒක බලලා ඉල්ලුම් පත්‍රයක් දාන්න කියලා. ඇත්තටම මම දක්ෂයෙක් කියලා මම දැන ගත්තේ මෙහෙ ආවට පස්සේ. ඒක මටම තේරුම් ගන්න පුළුවන් වුණේ මම මෙහෙ වැඩ කරද්දි. මම දැනට ගිණුම්කරණය හා කළමනාකරණ උපාධිය හදාරනවා. මම ඉගෙන ගත්තේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. මම තමයි අපේ කණ්ඩායමෙන් පළවෙනියාට පැයෙන් පැය විකාශය තුළින් ප්රවෘත්ති ඉදිරිපත් කළේ. මට කවදාත් ඒ දවස අමතක වෙන්නේ නෑ. එදා තමයි ස්වාධීන රූපවාහිනි සේවය සිය 44 වන සංවත්සරය සමරපු දවස.“
ප්රවෘත්ති නිවේදිකාවක විමේ සිහිනය සැබෑ කරගත් දිලුසි පවසන්නේ එවන් කතාවකි.
සරනි බුදාරා ස්වාධින රූපවාහිනියට එක් වන්නේ සිය මව විසින් දුටු රූපවාහිනි දැන්විමේ ප්‍රතිපලයක් ලෙසය. ගලහිටියාව ම්යධ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු ඇය මේවන විට ස්වාධින රූපවාහිනියේ ප්රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරයි.
“මම කවදත් ආසාවෙන් හිටියේ ප්රවෘත්ති නිවේදිකාවක් වෙන්න. මගේ පවුලේ අයත් හරි කැමැතියි මම මේකට සම්බන් වීම ගැන. අපිට අපේ ඉගෙනුම් කටයුතු කර ගන්න අතරෙම මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්.“
පමුදි සචේතනා ඉගෙනුම ලැබුවේ ගම්පහ රත්නාවලි බාලිකා පාසලේය. ඇය ස්වාධික රූපවාහිනියේ ප්රවෘත්ති නිවේදිකාවක ලෙස තේරි පත්වීම ගැන කියන්නේ මෙහෙම කතාවක්. “මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ප්රවෘත්ති නිවේදනයට හරි කැමතියි . මගෙ අම්මා තමයි මට ITN එකේ දැන්වීම යනවා දැකලා කිව්වේ. මමත් ඒ අනුව ඉල්ලුම් පතක් යොමු කළ. එදා පරීක්ෂණය සඳහා ස්වාධින රූපවාහිනි සේවයට ආවේ මම උසස් පෙල විභායට මුහුණ දෙන අතරේ. මම එදා ඉක්මනින්ම පරීක්ෂණයට පෙනී ඉදලා ගියා. මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් මාව තේරුණා කියලා දැන ගත්තාම පුදුම සතුටක් දැනුණේ. මේක අපට අලුත්ම අත්දැකීමක්. ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. හැම කෙනෙකුගෙන්ම හොඳ සහායක් ලැබනවා. මම විශ්වාස කරනවා මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.“ සචේතනා පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.
හිරන්‍යා ගුණසේකර ගම්පහ යශෝධරා බාලිකා විදුහලේ ශිෂ්‍යාවකි. කොස්කඳවල ශ්‍රී නිශ්ශංක විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය මේ වන විට පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්නීය.
“මට පුදුම සතුටක් තියෙන්නේ මේ අවස්ථාව ලැබීම ගැන . විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනයක කටයුතු කරන්න ලැබුණ එක හරි සතුටුයි. අපිට මේ හරහා මේ ක්ෂේත්රය ගැන වගේම ප්‍රවීණයන්ගෙනුත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි. ආයතනය අපි වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වනවා.“ ඉගෙනීම් කටයුතු කරන අතරේ නිවේදිකාවක් වීමට අවස්ථාව ලැබීම ගැන ඇය කතා කරන්නේ බොහෝ සතුටිනි.
ස්වාධින රූපවාහිනියේ නවක ප්රවෘත්ති නිවේදක නිවේදිකා කණ්ඩායමේ පිරිස දාසය දෙනෙකි. ඒ අතරින් කිහිප දෙනකු අප හා අදහස් දැක්වුයේ එසේය. රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි හැඩකාර කටකාර යෞවන යව්වනියෝ සිය මඟ හෙළි පෙහෙළි කර ගනිමින් නව මාවතක ගමන් අරඹා ඇත. මේ සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්රවෘත්ති) සුධර්මන් රදලියගොඩ මහතා පැවැසුවේ මෙවන් කතාවකි.
“අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වුණා කියලා මේ අලුත් පිරිසට ප්රවෘත්ති විකාශය කිරීම පිළිබඳ හොඳ පුහුණුවක් ලබාදෙන්න. අපි මේ දරුවෝ තෝරා ගත්තේ දේශපාලන කෝණවලින් බලලා නොවෙයි. ඔවුන්ගේ හැකියාවටයි දැනුමටයි මුල්තැන දුන්නේ. උදෑසන 8. 55 සිට සවස 5.55 දක්වා පැයෙන් පැය පුවත් විකාශනයට මේ අයට අප අවස්ථාව ලබාදෙනවා. මම විශ්වාස කරනවා ඉදිරියේදි මොන වෙනස් කමක් වුණත් තමන්ගේ දක්ෂතා හැකියාව අනුව මේ අයට තමන්ගේ ගමන යන්න පුළුවන් කියලා. මේ ඉන්න දරුවන් අතරින් බොහෝ දෙනා ඉගෙන ගන්න අය. මොවුන්ට යම් ගෙවීමකුත් අපේ ආයතනය විසින් කරනවා.
අපි මේ වැඩසටහන ඒ කියන්නේ අලුත්ම ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නට අදහස් කළේ සුදර්ශන ගුණවර්ධන සභාපතිතුමාගේ අදහසකට අනුවය. මෙතෙක් පැවැති රාජ්‍ය මාධ්‍ය සම්ප්රදාය වෙනස් කරන්නයි අපට ඕනෑ. ධනාත්මක ප්රවෘත්ති විකාශනයට වැඩි ඉඩක් ලබා දෙමින් සමබර පුවත් විකාශයක් පවත්වා ගෙන යන්නයි අපට දැන් ඕනෑ. තරුණ පරම්පරාවේ අතටයි දැන් චැනල් එක දෙන්න ඕන. ඒ අනුව තමයි ප්රවෘත්ති කියන්න මේ අය බඳවා ගත්තේ. මම හිතනවා අපට මේ අයත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.“
අද වන විට විනයක්, හැකියාවක් ඇති මාධ්‍යකරුවන් පිරිසක් බිහි කිරිම ඊට සම්බන්ධ බලධාරින්ගේ වගකීමක් බවට පත්ව ඇති යුගයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධනයන් පවසන්නේ මෙවන් අදහසකි.
“අපි මේ අයව බඳවා ගත්තේ පුුහුණු වන පදනම මත. මුලින්ම අපි ඔවුන්ව තෝරා ගත්තේ වට්ස්ඇප් පණිවුඩ හරහා. ප්රවෘත්ති කියවීම පමණක් නොවෙයි ප්රවෘත්ති කාමරයේ සියලු කටයුතු පිළිබඳ ඔවුන් දැනුම්වත් කරන්නයි අපේ සූදානම. 2022 වසරේ හොඳම ප්රවෘත්ති විකාශය සමබන්ධයෙන් අපි ඉදිරියෙන් ඉන්නවා. අප හැම විටම උත්සාහ දරන්නේ ගුණාත්මක ප්රවෘත්ති රටට දෙන්න. රූපවාහිනි නාලිකාවක ගුණාත්මක ප්රවෘත්ති තමයි එහි ආත්මය. අපි හැමවිටම ප්‍රවෘත්තිවලින් සමබර ලෙස ඉදිරියෙන් ඉන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේම ගුණාත්මක තත්වයේ මෙන්ම විනෝදාස්වාදය ප්‍රේක්ෂකයන්ට දෙන ටෙලි නාට්‍ය, වැඩසටහන් සමඟ සමබර ගමනක් යන්නයි අපි හැම විටම උත්සාහ දරන්නේ. අද වන විට අපි ඒ වෙනස කර තිබෙන බව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින්ම දැනෙනවා.“
අද වන විට විවිධ රූපවාහිනි නාලිකා පමණක් නොව සමාජ මාධ්‍ය අතරේ ද සැරිසරණ ප්‍රේක්ෂකයන් ඒ අතරින් තමන්ගේම නාලිකාවේ රඳවා තබා ගන්නට නම් ඒ නාලිකාව වඩා යහපත් මාධ්‍ය සම්ප්රදායක් පවත්වාගෙන යා යුතුව තිබේ. ස්වාධීන රූපවාහිනි සේවය මේ සූදානම් වන්නේ ඒ සඳහාය. මේ වන විට ඔවුන් සිය ඉලක්කය හඹා යමින් සිටී.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න