
කේන්දරේ ග්‍රහයන් උච්චව සිටියොත් හැදෙන යෝග ගැනත් දැනගත යුතුයි
පැරැන්නන්ගේ ඇදහිලි විශ්වාස ඔවුන්ට ගෙන දුන් ප්‍රතිඵල විශිෂ්ටයි
කපුටු ශාස්ත්රයත් ඉන් එකක්
පුරාණයේ ජීවත් වූ මිනිස්සු නිමිතිවලින්, කපුටු ශාස්ත්‍රයෙන්, දේහ ලක්ෂණවලින්, සිහිනවලින් බොහෝ ප්‍රයෝජන ලබා ගත් ආකාරයක් සඳහන් වේ. එසේම ඒවා ගැන මනා දැනුමක්ද තිබිණි. නමුත් වර්තමානය වන විට ඒවා ක්‍රමයෙන් ‘හීන‘වී ගොස් පහත් අඩියකට වැටි ගොසිනි. මේ ක්‍රම ගැන වැඩිපුරම දැනගෙන හිටියේ ගැමි ජනතාවයි. ඒ අය ඒවා දැනගෙන හිටියේ දැන් වගේ අමතර පන්ති ගොස් නොවේ. ඒ අය දුටු පුරුද්ද, ඇසු පුරුද්ද, කළ පුරුද්ද වැනි යහපත් පුරුදු දැනගෙන සිටියේය.
හතර වටින් කළුවර කරගෙන එනකොට වත්ත කොනේ වෙරළු ගහේ බැඳපු එළදෙන කෑගහනකොට වැස්සි මඩුවේ සිට තප්පුලන විට මැටි කුස්සියේ සිටි අම්මා දුවට කීවේ අව්වට වැලේ දාපු රෙදි ටික... වේළෙන්න තැබු කොස් ඇට ටික... ඉක්මනට ගෙට ගන්න කියායි. එතෙක් දුව නොදැක සිටියත් අම්මා දැනගෙන හිටියා මහ වැස්සක් අත ළඟම එන පූර්ව නිමිත්ත. උදය වරුවක දකුණු දිශාවේ සිට නිවෙස දෙස බලාගෙන කපුටෙක් සෞම්‍ය ලෙස හැඬුවානම් බැංකුවේ සම්මුඛ පරීක්ෂණයට ගිය ලොකු පුතා සමත් වෙලා තිබෙන බවත්, ඊට අමතරව සුබදායක කෙනෙක් අද හවසට ගෙදරට එන බවත්, මේ වගේම ඒ දිශාවේ සිටම රළු ලෙස හැඬුවානම් කරදරයක් ඉතා අත ළඟ බව ගෙදර හිමියා දැන හිටියේ ඔහු හෝ ඇය ඉස්කෝලේදී ‘කපුටු ශාස්ත්‍රය‘ ඉගෙන ගත් නිසා නොවේ. මේවා සරල ජ්‍යොතිෂයට අයිති නිමිති ශාස්ත්‍රය ප්‍රගුණ කළ අය තමයි වැඩිපුරම දැන හිටියේ.
මල්වර වූ දියණියගේ දූතයා ලෙස බුලත් අත අරගෙන ජ්‍යොතිර්වේදියා ළඟට ආ අම්මා ඇය ප්රදානය කළ බුලත් අතේ මුල් බුලත් කොළය බලා මල්වර වූ වේලාව ගෙදර මවුපියන්ගේ තත්ත්වය, දියණිය ඒ මොහොතේ තනි වුණාද? නැද්ද? ඇගේ විවාහය කොහොම එකක් ද? මඟුල් පෝරුවේ සිටි ද? නැද්ද? මේ ඔක්කොම කිව්වේ නිමිති බුලත් කොළේ දිහා බලාගෙනය.
ගෙදරට කළු කුහුඹියා කෑම අරගෙන පෙරහර වගේ ගේ මැදින් හෝ කාමරයකින් යනකොට අම්මා දැන හිටියා ගෙදරට වාසියක් එහෙමත් නැත්නම් නැතිවෙලා තිබු වටිනා භාණ්ඩයක් ලැබීමේ ලකුණක් බව. ඒ වගේම රතු කුහුඹියා ඒ ආකාරයටම ගියේනම් බත් මුට්ටියට වැහුවොත් එනම් ප්‍රේත බැල්මකින් ගෙදර සතුට නැතිවී සාමය කඩවන බව ආච්චි අම්මා දැන සිටියාය.
මෙවැනි ක්‍රම වර්තමානයේ බොහෝ දෙනා නොදනී. ඉස්සර අය ගෙදරින් එක පාරටම පිටවෙලා ගමනක් ගියේ නැහැ. ගෙදර ප්‍රධාන උළුවස්ස යටට වෙලා මඳක් කල්පනා කළා පිටතට යන්ට පෙර. ඊට පසුවයි ගමන් ආරම්භ කළේ. ඒ විශ්ව ශක්තියෙන් පිළිතුරක් ලැබෙන තුරු ඒ පිළිතුරු දැනගත්තේ එක්තරා සංඥාවකිනි. එම සංඥාව දැනගෙන හිටි තාත්තා එය යහපත්නම් ගමන ගියා - නරක නම් ගියේ නැහැ. ගිහිල්ලා මඟදී අනතුරකට මුහුණ දෙන බව දැන හිටියා. ඒ වගේම අපිටත් දැනගන්න බොහෝම කරුණු මේ ශාස්ත්රයේ තිබේ. ගැහැනු ළමයෙකුගේ මුහුණේ වම් නිකටේ කළු ලපයක් තිබුණොත් ඇය වාසනාවන්තයි. දකුණු නිකටේ තිබුණොත් ඈ කාමුකයි. ඇයගේ ඇහි බැම හැම විටම අවුල් වී තිබේනම් කොපමණ හොඳට කතා කළත් ඇය පහත් ගති ඇති කෙනෙකි.
පුරුෂයන් ගැනත් සඳහන් කළ යුතුය. ඕනෑම පිරිමියෙකුට ගැහැනු අයට වගේ මෘදු මොළොක් තොල් පෙති ඇත්නම් ඔහු හොඳ කලාකාමියෙකි. හැම දෙනාගේ ආදර ගෞරවයට පාත්‍ර වන කෙනෙකි. කාමුකත්වයට වඩා මනුෂ්‍යත්වයට ගරු කරයි. පොඩි නිකටක් ඇති එහි සියුම් රෝම කූප ඇත්නම් ඔහු ඉතා රාගාධිකයි. ඒ වගේම පංච මහා පුරුෂ යෝග, ජ්‍යොතිෂයේ යෝග 550 කියලා කිව්වට ඊට වැඩියෙන් යෝග තිබෙනවා. හරියටම කිව්වොත් යෝග නැති කේන්දර නැති තරම්. මිනිස්සු දන්නෙ නැහැ ඒක. කුජ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක උච්ච වෙලා පිහිටියහොත් නිර්භීත තේජාන්විත භාවයෙන් යුත් ප්‍රියමනාප පෞරුෂත්වයක් ඇති කෙනෙකි. මේ විදියටම බුධ ග්‍රහයා පිහිටියොත් බුද්ධි කලම්බනයක් ඇති ප්රාචීණයෙක් වනවා. ගුරු නැත්නම් බ්‍රහස්පති ඒ ආකාරයෙන්ම පිහිටියහොත් ගුරු හංස යෝගය ලබයි. හැම අතින්ම යහපත් කෙනෙකි, වරදින්නේ නැති චරිතයකි. සිකුරු මේ විදියට පිහිටියොත් මාලවි යෝගය ලබනවා. සෞම්‍ය රාජකීය පෙම්වතෙක් හෝ පෙම්වතියක් ලබනවා. සාලිය අසෝක මාලාවන්ට පිහිටියා කියලත් කියනවා.
මේ වගේම අවසාන වශයෙන් ශෂ යෝගය ඒ කිව්වේ සෙනසුරා මේ ආකාරයටම පිහිටියොත් කිසිදා වැටෙන්නෙ නැති ත්‍යාගවන්ත නිර්භීත කෙනෙක් වනවා.
පස්වග මහණුන් බුදු ශරීරයේ දේහ ලක්ෂණ 38ක් පරීක්ෂා කර කිව්වේ ගිහිගෙයි හිටියොත් සක්විති රජ වෙනවා - මහණ වුණොත් බුදු වෙනවා කියායි. දේහ ලක්ෂණ වශයෙන් බෝ සතාණන් වහන්සේගේ ඌර්ණ කූපය දැකල තමයි ඒකාන්තයෙන්ම බුදු වන බව කිව්වේ. මේ දේහ ලක්ෂණ ඔවුන් දැනගෙන හිටියා. වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනා මේවා නොදැන හෝ වැරදියට වටහාගෙන නිකරුණේ කරදරයේ වැටෙනවා.
පිරිමියෙකුගෙ නම් දකුණු අල්ලේ, ගැහැනු කෙනෙක්ගේ නම් වම් අල්ලේ වෙද ඇඟිල්ල ආරම්භ වන තැන කතිරයක් තිබෙනවා නම් ඔහු හෝ ඇය ආදර විවාහයක් කර ගනී.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න