පඬු කරඳ ගහ විනාශ කළ අයට දඬුවම් දිය යුතුයි | Page 10 | සිළුමිණ

පඬු කරඳ ගහ විනාශ කළ අයට දඬුවම් දිය යුතුයි

පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට දඬුවම් පැමිණවිය යුතු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු සජීව චාමිකර පවසයි.

ඒ පිළිබඳ එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය. “ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි ආවේණික විශාලතම හා ඉතාම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත්ව

සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතිකව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ.

මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වළවල් හාරා ශාකයේ කොටස් වළ දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.‘‘

Comments