හූනෙක් ඇඟට වැටුණොත් සුබ ද? අසුබ ද? | Page 4 | සිළුමිණ

හූනෙක් ඇඟට වැටුණොත් සුබ ද? අසුබ ද?

 

සූනන් ඇඟ වැටීමේ පලාපල ගැන දැනගන්න

හිසට වැටුණොත් රණ්ඩු දබර කෝලාහල

 

යටි තොල මත වැටුණොත් වස්තුව-ධනය ලැබේ

දකුණු අත ඇඟිලි මත වැටුණොත් සුබ ලකුණක්

 

අනාදිමත් කාලයක සිට සූනන් ඇඟ වැටීම සහ සූනන් ශබ්ද (හැඬීම) කිරීම පිළිබඳව විවිධ මත පැතිර පවතී. සූනන් ඇඟ මත වැටීම සහ ශබ්ද කිරීම තුළින් සුබ මෙන්ම අසුබ ප්‍රතිඵලද උදාවන බව පැහැදිලිව දක්නට ඇත. විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට වඩා ගම්බද ප්‍රදේශවල ජනතාව අතර සූනන් පිළිබඳව විවිධ මත පවතී.

6, 8, 12 රිට්ටා පෝය යන නම්වලින්ද රවි, කුජ, ශනි (ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා) දවස්වලින්ද බෙරණ, කැති, මුවසිරස, අද, අස්ලිස, මා, වීසා, දෙට, මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් ද වෘෂභ, මිථුන, කටක, කන්‍ය, කුම්භ, මීන යන ලග්නවලින්ද සූනන් ඇඟ වැටීම අසුබ ලෙස සැලකෙයි.

එමෙන්ම ඉතිරි තිථි නැකැත් ලග්නාදිය තුළ සූනන් ඇඟ වැටීම සුබ බවටද සැලකේ. සූනන් ඇඟට වැටීම සිදුවූ විට එම අවස්ථාවේදී ඇඳි වස්ත්‍රය සමඟ ස්නානය කළ යුතු බවද අසුබ තිථි නැකැත් ලග්න උදාව පවතින මොහොතක සූනන් ඇඟ වැටීම සිදු වී ඇත්නම් තල උඳු උපයෝගී කරගත් කැවිලි හෝ තල උඳු දන් දීම තුළින්ද එකී දෝෂ ඉවත් වන බව පැවසේ.

යම් හෙයකින් සූනෙක් තම හිස මතට වැටුණහොත් රණ්ඩු දබර, කලකෝලාහලවලට මැදි වන සිද්ධින් ඇතිවීමට ඉඩ ඇත. මුහුණට සූනන් වැටීම සිදු වුවහොත් ඥාතින් හෝ හිතවතුන් පිළිබඳ දර්ශනය වීම, හමුවීම හමු වීම සිදුවේ. යම් හෙයකින් නළල මතට සූනකු වැටීම සිදු වුවහොත් වස්තු තානාන්තර ලැබෙන බවත් සුබදායක බවත් සැලැකේ. ඇස් බැමි මැදට වැටීම සිදු වන්නේනම් හිතවතෙකු ඥාතියකු ඔවුන්ගේ කිසියම් පීඩනයක්, විනාශයක්, කරදරයක් සිදුවන බවටද යම් හෙයකින් ඇස තුළට සූනකු වැටුණේ නම් ඉතා අසුබ පල උදා වන බවත් නීතිමය ගැටලු සිරභාරයට ලක්වීම සිරගෙට යෑම මෙන්ම සතුරු බයද ඇති වීමට සිදු විය හැකිය.

නාසය මතට සූනකු වැටීම සිදු වුවහොත් විවිධ ලෙඩ රෝගවලට ලක් වීමද රෝගවලට ලක්වී සිටීනම් රෝග වර්ධනය වීම හෝ අසාධ්‍ය වීමද සිදුවන බවද පැවසේ. උඩු තොලට වැටීම සිදු වුවහොත් වස්තු ධන හානි ඇති වීමද, මුඛය තුළට සූනකු වැටීම බය තිගැස්ම ඇතිවේ. යටි තොල මත සූනකු වැටීම සිදු වීම වස්තු ධනය ලැබීමට හේතු වන බවද නිකට මත සූනකු වැටේනම් අසුබ පල උදාකරන නීතිමය ප්‍රශ්න ගැටලු දඬුවම් ලැබෙන බවටද සැලකේ.

සූනකු දකුණු කන මත වැටුණේ නම් ඔහුට හෝ ඇයට දීර්ඝායුෂ ලැබේ. වම් කන මත වැටුණේ නම් වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. හිසකෙස් මතට සූනකු වැටීම සිදු වන්නේ නම් මරණ බය දැනේ. එමෙන්ම බෙල්ල මතට සූනකු වැටීමද සතුරන් ඇති වීම සහ සතුරන්ගෙන් හානි සිදුවේ. සූනකු දකුණු උර මතට වැටුණේ නම් නීරෝගි වේ. වම් උර මතට සූනකු වැටීම ස්ත්‍රී පාර්ශ්වය ඇසුරට ලක් වීම, ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටි අයෙකුනම් ගැටලු නිරාකරණය වීම, ස්ත්‍රී සැප ලැබීමට හැකියාවක් ඇත.

වම් වළලුකර මත සූනකු වැටීම තුළින් සුබ පල උදා වීමද කිර්ති ප්‍රශංසා ලැබීමද යම් හෙයකින් දකුණු වළලුකර මත සූනකු වැටීම සිදු වුවහොත් ඉන් අසුබ පල උදාවන බවද විවිධ පීඩනයකට ලක් වන බවද ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම අවශ්‍ය බවද පැවසේ. දකුණු අත මතට සුනකු වැටුණේ නම් අසුබ ප්‍රතිඵල උදාකරන අසාධ්‍ය රෝගවලට ලක් වීමද, පවතින රෝග උත්සන්න වීමටද හේතු වනු ඇත. වම් අත මතට සූනකු වැටීම සිදු වුවහොත් අසුබ ප්‍රතිඵල උදාවන ඇතැම් විට භයානක මරණ පිළිබඳ ඇසීමට හෝ ලක් වීමට හෝ ඉඩ ඇති බවද හදිසි අනතුරුවලට ලක් වීමට ඉඩ ඇති බවකි. එසේ වම් අත මතට සූනකු වැටුණේ නම් තමන්ගේ කේන්දරය පරීක්ෂා කර ඊට සුදුසු ශාන්තිකර්ම කර ගැනීමට හෝ පවුලේ වෙනත් අයෙකුට එවැනි භයානක මරණ ඇතිවීමට ඉඩ ඇතැයි සැලකේ නම් බෝධි පූජා තැබීම, දේව ආශීර්වාද ලැබීමද සුබදායක වනු ඇති බවද පැවසේ.

දකුණු අත මෙන්ම වම් අත මතටද සුනකු වැටීමද සුබ නොවන බවද ශෝක මරණයක් උදා වීමට ඉඩ ඇති බවද ඒ පිළිබඳව සැලකිලිමත් වීම සිදුවූ මොහොතේදීම ඇඳි වස්ත්‍රය පිටින්ම ස්නානය කිරීමද සුදුසු වන බවද සඳහන් වේ. සූනකු දකුණු අත ඇඟිලි මතට වැටුණේනම් සුබ ලකුණක් බවටද විවිධ සම්පත් ලැබීමට උසස් අයගේ ප්‍රසාදයට ලක් වන බවටද පැවසේ. වම් අත ඇඟිලි මතට සූනකු වැටීම සිදු වුවහොත් අසුබ ප්‍රතිඵල උදා වන බවද ඇසුරු කරන මිතුරන් පවා අමනාප වීමද විවිධ ප්‍රශ්න ගැටලු රණ්ඩු ආදියට මුල් වීම සිදු වන බවත් ඉතාම ප්‍රවේශම් වීම අවශ්‍ය බවද ආගමානුකූලව කටයුතු කිරීම, බෝධි පූජා තැබීම, බාරහාර වීම සුදුසු බවද සඳහන් වේ.

සූනකු යම් අයෙකුගේ පපුව මතට වැටුණේ නම් සුබ පල මෙන්ම ධනය ලැබීමට මාර්ග උදා වන බවද සුබ නිමිත්තක් බැවින් කතරගම දෙවියන්ගේ ලක්ෂ්මී මාතාවගේ ආශීර්වාදය ලබා ගැනීම සුදුසු බවද සඳහන්ව ඇත. තනය මතට සුනකු වැටුණේ නම් සුබ බවද ගෞරව ලබන බවද යම් අයෙකුගේ බඩ මතට සුනකු වැටුණේ නම් සුබ ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවත් කෘෂිකර්මාන්තයේ නියැළි සිටින අයෙකුට නම් ධාන්‍ය අස්වැන්න වර්ධනය වී මුදල් ලැබීම දියුණුව උදා කරන බවත් සඳහන්ය. යම් අයෙකුගේ නැබ ප්‍රදේශයට සූනකු වැටීම සිදු වුවහොත් මුතු මැණික් ආදී පොළොව ආශ්‍රිතව කරනු ලබන කැණීම්වලින් සුබ ප්‍රතිඵල උදාවන බවද, සුනකු දකුණු ඇලය මතට වැටුණේ නම් දියුණු වීමට මාර්ග උදා වන බවද වම් ඇලය මතට සූනකු වැටුණේ නම් අශුභ ප්‍රතිඵල මෙන් ඇතැම් විට රෝගියකු නම් රෝගය උත්සන්න වීම මත හෝ වෙනත් හේතු මත හෝ මරණය සිදු වීමට ඉඩ ඇත. එවැනි ආකාරයට සූනකු වැටුණේ නම් ජීවිත ආරක්ෂාව පතා බෝධි පූජා තැබීම මත විෂ්ණු දෙවියන්ට බාර වීමද අකාල මුර්තුංග වැනි ප්‍රබල යන්ත්‍රයක් නිසි පරිදි ජීවම් බල පිහිටුවා පැලඳ ගැනීමද සුදුසු බවටද සඳහන් වේ.

පිටකොන්ද මතට සූනකු වැටුණේ නම් විවිධ ද්‍රව්‍ය මත ලාභ ලැබීමටද පිට මතට සූනකු වැටුණේ නම් විවිධාකාරයේ සම්පත් ලැබීමට හැකියාව ලැබෙන බවද සුබ ප්‍රතිඵල උදා වන බවද සඳහන් වේ. ලිඟුව මතට සූනකු වැටීම සිදු වුවහොත් අසුබ ප්‍රතිඵල උදාවන බවද නීතිමය ගැටලු සිරගත වීම්, දඬුවම් ලැබීමට හේතු ඇති විය හැකි බවද කේන්දරය පරීක්ෂා කර ඊට සුදුසු ප්‍රතිකර්ම කරගත යුතු බවද, යෝනිය මතට සූනකු වැටුණේ නම් තම සැමියාට ජීවිත හානි සිදු වීමට ඉඩ ඇති බවයි. ඒ ආකාරයට සූනකු වැටුණේ නම් විෂ්ණු දෙවියන් ප්‍රධාන බලගතු දෙවි වරුන්ට දේව කන්නලව් කර බාර වීමද කේන්දරය පරීක්ෂා කර ඊට සුදුසු යන්ත්‍රයක් සකස් කර පැලඳීමද සුදුසු බවය. යම් අයෙකුගේ ගුදය මතට සූනකු වැටුණේ නම් විවිධ සුබ ප්‍රතිඵල වස්තු ලාභ ලැබීමද කලව මතට සූනකු වැටුණේ නම් පියාට හෝ විවිධ කරදර විපත් ජීවිත හානි ගෙන දීමට ඉඩ ඇති බවද පියාගේ කේන්දරය පරීක්ෂා කර ඊට සුදුසු ශාන්තිකර්ම කරගැනීම සුදුසු බවද කෙණ්ඩ මතට සූනකු වැටුණේ නම් කලකෝලාහලවලට ලක් වීමට ඉඩ ඇති බවද අශුබ ප්‍රතිඵල උදාවන බවට සඳහන් වේ.

ඇස් වටය මතට සුනකු වැටුණේ නම් සැප සම්පත් ලැබෙන වාසනාව උදා කරන බවද දකුණු පාදය මතට සූනකු වැටුණේ නම් විවිධ රෝගාබාධ ඇති වීම ඒ නිසාම රෝගය වර්ධනය වීමද මානසික ලෙස පීඩනයකට ලක් වන බවද, ඒ ආකාරයටම වම් පාදය මතට සූනකු වැටීමද දුක් කරදර ඇති වීමද විවිධ ගැටලු, ප්‍රශ්න ඇති වීම මත මානසික වශයෙන් පීඩනයට ලක් වීමට සිදු වීමද දකුණු පාදයේ ඇඟිලි මතට සූනකු වැටුණේ නම් අසුබ ප්‍රතිඵල උදා වන බවද නීතිමය ගැටලු, සිරගත වීම් ඇති වීමටද ඉඩ ඇත. එලෙස සූනකු වැටුණේ කේන්දර පරීක්ෂා කර ඊට සුදුසු ශාන්තිකර්ම කරගැනීම, බාරහාර වීම කළ යුතු බවද දුරදිග බලා කටයුතු කිරීම කළ යුතු බවද වම් පාදයේ ඇඟිලි මතට සුනකු වැටුණේ නම් වේදනා ගෙන දෙන රෝග ඇති වේ.

නියපොතු මත සූනකු වැටුණේනම් ධන හානි සිදුවන බවද ශරීරය පුරාම සූනකු දිවුවේ නම් ඉතා සුබ බවද දීර්ඝායුෂ ලැබෙන බවද සඳහන් වේ.

සූනන් හැඬීම (ශබ්ද කිරීම) පිළිබඳ විවිධ මත පවතී. ගමනක් පිටත් වීමේදී ද කිසියම් වැඩක් ඇරඹීමට කටයුතු කිරීමේදී යම් සිතුවිල්ලක් සිතා ඒ පිළිබඳව කටයුතු කිරීමට පෙලඹීමේදී ද සූනකු හැඬීම හෙවත් ශබ්ද කිරීම බාධාවක් බවද ඒ පිළිබඳව අවධානය යොමුකර සුදුසු පරිදි ක්‍රියා කිරීම සුදුසු බවද සඳහන් වේ. අතීතයේ පටන් පැවත එන මෙම සූනු ශාස්ත්‍රය වර්තමානය වන විට ජනතාව අතර ගිලිහී යෑම දක්නට ඇතිමුත් මෙහි සත්‍යතාවක් ඇති බවත් බැහැර කිරීම සුදුසු නොවන බව කරමි.

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වෛද්‍යාචාර්ය

එම්. එම්. රූපසිංහ

Comments