![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/09/Dimuth%20K.jpeg?itok=0V0FcRFY)
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට නෙදර්ලන්ත පිල සමග අද(09) පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වී තිබේ.
ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
කෙසේ නමුත් මේ වනතෙක් ඔහු වෙනුවට ආදේශකයක් නම් කොට නොමැති අතර සංචිතයේ 15 දෙනා අතර අමතර පිතිකරුවෙක් ද අන්තර්ගත කර නොමැත.
ඒ අනුව බොහෝ දුරට අවසන් මහා තරඟයේ ආරම්භක පිතිකරණ වගකීම පැතුම් නිශ්ශංක සමඟින් කුසල් මෙන්ඩිස් වෙත පැවරෙනු ඇත.
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වේ. ඒ, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරය. සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේදී අද තරඟය ආරම්භවීමට නියමිතව ඇත්තේ මධ්‍යහ්න 12යි 30 ටය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට මුහුණ දෙන්නේ තරඟාවලියේ මෙතෙක් සහභාගී වූ තරඟ සියල්ල ජය ගෙන ඇති පසුබිමක් තුළය. නෙදර්ලන්තය සහභාගී වූ තරඟ 5 න් 3ක් ජය ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියක අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසු වීමද විශේෂත්වයකි. මීට පෙර 1979 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. එහිදී කැනඩාව පරාජය කරමින් ශූරයින් බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.