‍ෙප්‍ර්මයයි විවාහයයි එකක් නෙමෙයි දෙකක් | Page 2 | සිළුමිණ

‍ෙප්‍ර්මයයි විවාහයයි එකක් නෙමෙයි දෙකක්

කවුරු හරි කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා නම් ඒකෙ අවසාන ප්‍රතිඵලය විවාහය විය යුතුමයි කියල හිතන මිනිස්සු වගේම, සෑම ප්‍රේම කතාවක්ම විවාහයකින් කෙළවර විය යුතුයි කියලා විශ්වාස කරන පිරිස තමයි වැඩිම.

බැලූ බැල්මට එකක් වගේ පෙණුනට ඇත්තටම මේ දෙක එකක් නෙමෙයි එකිනෙකට වෙනස් කාරණා දෙකක්.

ප්‍රේමය කියන්නේ කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙක් ගැන ඇතිවෙන්න පුළුවන් දයාබර හැඟීමක් හෝ ආකර්ෂණයක්. ඒ හැඟීම අස්සේදී අපිට ඒ කෙනා එක්ක වැඩිපුර ගැවසෙන්න කතාබහ කරන්න ඒ කෙනා ළඟ රැඳෙන්න, ස්පර්ශ කරන්න විතරක් නෙමෙයි ඒ කෙනා එක්ක කායික ඇසුරක් පවත්වන්න හිතෙනවා. එක සාමාන්‍යයි. ප්‍රේමය අන්ධයි කියල කට වහරේදීත් කියවෙන්නේ ප්‍රේමය ඇතුළෙදි මිනිස්සුන්ට දැනෙන හැඟීම්වල සීමාවක් නැති නිසා. ඒ මොහොතේදී ඒ දැනෙන විඳින හැඟීම්වල රසවත්භාවය සහ සුන්දරකම නිසාම මිනිස්සු හිතනවා මේ කෙනා එක්ක මුළු ජීවිතේම එකට ගත කරන්න තිබුණා නම් කොච්චර දෙයක්ද කියලා. එහෙම එකට ජීවත් වෙනව නම් ඒකට තියන එකම රාමුව විවාහය කියලා සංස්කෘතියෙන්ම ලස්සනට රාමු කරලා දීලා තියන නිසා ප්‍රේමය ඇතුළෙදි මිනිස්සු හිතනවා ඊළඟ පඩිය විවාහය විය යුතුයි කියලා.

හැබැයි ඔය කියන ආකර්ෂණය හෝ අමුතු හැඟීම නිසා ප්‍රේමය විවාහය දක්වා අරගෙන යනවා කියන එක එක්තරා විදිහක අවදානම් සහගත් වැඩක්.‍

ඒකට හේතුව මේකයි, ප්‍රේමයට ඇදලා වෙන කාරණා සියල්ලම විවාහයෙදී ඒ විදිහටම අදාළ නොවන නිසාත් ප්‍රේමයේදී අදාළ නොවුණු බොහෝ කාරණා විවාහයට අදාළ වෙන නිසාත් ප්‍රේමය විවාහය දක්වා ගෙනයාමේදී අවදානම් කලාපයක් නිර්මාණය වෙනවා.

ඒක වෙන්නේ මෙහෙමයි,

ආදරේ කරන්න යනකොට පෙම්වතා හෝ පෙම්වතිය මුණ ගැහෙන්න යනකොට අපි ඒ වෙනුවෙන් සිතෙන් ගතෙන් දෙකෙන්ම ලෑස්ති වෙලා ගියාට, කසාදයක් ඇතුළෙදි එහෙම ලෑස්ති වීමක් වෙන්නේ නැහැ. උදේ රෑ නැතුව මූණ හෝදන්නේ නැතුව දත් මදින්නේ නැතුව යථා ස්වභාවයෙන් අනිත් කෙනාව දකින්න පටන් ගන්නවා. ආදරේ කරන කාලේ දැක්ක හොඳ කොටස් ටික අස්සේ එයාට තරහ යන විදිහ, එයාට කේන්ති යන විදිහ, එයාගේ නරක ගතිගුණ ටික එයාගේ ජීවිතේ තියෙන තමන් අකමැති කොටස් ටික, එයාගේ ඉවසීම, දරාගැනීම කියන මෙච්චර කල් හැංඟිලා වසන් වෙලා තිබ්බ කොටස් ටිකත් සම්පූර්ණයෙන් පෙනෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතැනදි අර කියපු දැකපු ප්‍රේමය වගේම ජීවිතේට අවශ්‍ය වෙන සහනය සැනසීම තේරුම් ගැනීම දරාගැනීම බලාගැනීම කියන කොටස් ටිකේ අවශ්‍යතාවයත් අපිට දැනෙන්න පටන් ගන්නවා.

අන්න එතැනදි ප්‍රේමය විතරක් තිබ්බට දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බැහැ කියන එක මිනිස්සුන්ට ප්‍රායෝගිකව තේරෙන්න පටන් ගන්නවා.

උදාහරණයක් විදිහට, ඉතා සැප පහසු ජීවිතයක් ගත කරන්න හීන දැකපු කෙනෙක් ආර්ථික වශයෙන් දුප්පත් කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නොවුණට, ඒ කෙනාව කසාද බැන්ද දවසක, තමන් අර කලින් ප්‍රර්ථනා කරපු හීන මවපු ජීවිතය අහිමි වෙලා ජීවිතය ගැන තමන්ගේ සිහින බිඳී යනකොට, ප්‍රේමයට තනියෙන් ඒ අඩුව පුරවන්නට බැරි වෙලා යනවා. එතැනදි තමයි මොන තරම් ලස්සන පෙම්කතා වුණත් කලකිරුණු බිඳුණු විවාහ ජීවිත බවට පත් වෙන්නේ,

ආදරේ කරන කාලේදී බදාගෙන ඉන්න, තුරුළු වෙන්න, ආදරණීය වචන කියලා සැනසෙන්න පුළුවන් වුණාට විවාහය කියන රාමුවට රාමුගත වුණාට පස්සේ අපි හැමෝටම අනෙකුත් සමාජ කාරණා එක්ක හරි හරියට ගැටෙන්න හැප්පෙන්න වෙනවා. ඔන්න ඔය ගැටීමේදී තමන්ට හයිය වෙන්න, තමන්ට ශක්තියක් දෙන්න, තමන්ව දරාගන්න, පුළුවන් කෙනෙක් තමන් එක්ක නොහිටියොත් මිනිස්සුන්ගේ මුළු ආත්මයම කඩා වැටෙනවා.

ප්‍රේමය කියන සුන්දර හැඟීම අස්සේ මිනිස්සු මොනතරම් නිවුණත් විවාහය කියන කාරණාවෙදි නිවීමට ප්‍රේමය විතරක්ම තිබිලා බැහැ කියන්නේ අන්න ඒකයි.

ඔයා හොයන්නේ ආදරේ කරන්න කෙනෙක්නම් ආදරේ විඳින්න කෙනෙක්නම් තමන්ට ආදරේ දැනෙන තැන නතර වෙලා ආදරේ වින්දට කමක් නැහැ. හැබැයි ඒ ආදර කතාව විවාහය දක්වා අරගෙන යන්න හිතනවානම්, දෙසැරයක් නෙමෙයි සිය සැරයක් නැවත නැවතත් හිතලා බලන්න. මේ කෙනා එක්ක තමන්ට තමන්ගේ හීනවලට යන්න පුළුවන් වෙයිද, මේ කෙනාව තමන්ට දරාගන්න පුළුවන් වෙයිද කොටින්ම මේ කෙනා එක්ක තමන්ගේ අනාගතේ නිර්මාණය කරගන්න පුළුවන් වෙයිද කියලා ආය ආයෙත් බුද්ධියෙන් හිතලා බලන්න. එහෙම බැහැ කියල හිතෙන තැනකදී බැන්දම ඕවා හරියයි කියලා හිතලා කසාද බැඳලා හදාගන්න හිතාගෙන කවදාවත් කාවවත් කසාද බඳින්න නම් එපා. ඒකෙන් වෙන්නේ දෙන්නගෙම ජීවිත නැත්තටම නැති වෙලා යන එක විතරයි.

සරලව පැහැදිලිවම කිව්වොත් ප්‍රේමය සහ විවාහය කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ඒ වගේම සෑම පෙම් කතාවක්ම විවාහයකින්ම කෙළවර විය යුතුයැයි නීතියක් නැහැ..

 

 

Comments