
ප්‍රසන්න ගති පැවැතුම් ඇති අය
ඕනෑම අමාරු වැඩක අභියෝගය බාර ගනී
දුරදිග බලා තීරණ ගන්න දක්ෂයි
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ R අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කෙරේ. මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට Q අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ R අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.
ඔබට R අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ R අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක් නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතට කොතරම් සමීපද කියා.
මොවුන් බොහොම ප්‍රසන්න ගති පැවතුම් ඇති කාරුණික පුද්ගලයින් කොටසක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. කවුරුන් සමඟ වුවත් සුහදශීලිව ප්‍රියමනාප ලෙස කතාබහ කරමින් ඇසුරු කරන්නට R අකුර හිමියන් සමත් වෙයි. ඕනෑම කෙනෙකුට තමන්ට හැකි අයුරින් උදවු කරන්නට මොවුන් කැමතිය. අසරණ අයෙක් දුටු විට ඉතා ඉක්මනින් උණු වන හිතක් මොවුන්ට ඇත. මේ අය බොහෝ මිතුරන් ඇසුරු කරන අතර සමාජය තුළ අන් අය සමඟින් ඉතා ඉක්මනින් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන්ගේ හැසිරීම සහ චරිත ස්වභාවයන් අනුව අන් අයගේ අවධානය ඉතා පහසුවෙන් යොමු වෙයි.
මොවුන් කොතැනකට ගියත් හොඳ පිළිගැනීමක් ලැබෙයි. R අකුර හිමියන්ට කිරීමට නොහැකි යැයි කියා කිසිවක් නැත. ඕනෑම අමාරු වැඩක් කිරීමට නොබියව ඉදිරිපත් වෙයි.
තමාට වුවමනා ලෙස අන් අය හැසිරවීමේ හැකියාවක් ද පවතී. සමාජීය කටයුතුවල දී නායකත්වය, ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට ද මොවුන් ඉදිරිපත් වෙයි. අධිෂ්ඨානශීලී ගති ලක්ෂණ මොවුන් තුළ ඇත.
හොඳින් ඉවසා දරා ගැනීමේ හැකියාව ද R අකුර හිමියන් තුළ පවතී. ඉක්මනින් කලබලයට පත්වන පුද්ගලයින් නොවේ. තීන්දු තීරණ ගැනීමේදී හොඳින් සිතා බලා දුරදිග බලා තීරණ ගැනීම ස්වභාවයයි. මොවුන් සහජ බුද්ධියකින් යුතු පුද්ගලයින් කොටසක් ලෙසද හඳුන්වන්න පුළුවන්. තරමක් දැඩි දරදඬු ස්වභාවයක් ද මොවුන් තුළ පවතී. ආවට ගියාට තම අදහස් වෙනස් කරන්නට කැමැති නැත. තමා හිතා ගත් ලෙස කටයුතු කරගෙන යෑම ස්වභාවය වෙයි. ඕනෑම කටයුත්තකදී දක්ෂ ලෙස කටයුතු කරයි.
මොවුන් තුළ විවිධ හැකියා සහ දක්ෂතාවන් පවතී. තමා වෙනස් වෙනවාට වඩා තමාට වුවමනා ලෙස අන් අය වෙනස් කිරීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් කිසි විට තවත් දෙයක් හෝ කෙනෙක් ව විවේචනය කරන්නට යන්නේ නැත.
තමාට පුළුවන් දේ ඔවුන් වෙනුවෙන් ඉටු කර දෙයි. අතීතයේ හෝ සිදුවී ඉවර වුණ දේවල් පිළිබඳ පසු තැවි තැවී ඉන්නේ නැත. නිතරම ඉදිරියට කළ යුතු දේ පිළිබඳ කල්පනා කිරීම ස්වභාවයයි. ඉගෙනීමේ කටයුතුවලට ද දක්ෂතාවක් පවතී. සමහර ඉතා වැදගත් අවස්ථා අමතක වීම හෝ අතපසු වීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. ආදරය සහ විවාහ ජීවිතයද සාර්ථක ලෙස ගෙවනු දැකිය හැකිය.
අන් අයගේ හදවතට දැනෙන ලෙස ආමන්ත්‍රණය කරයි. බොහෝ විට විවෘත ගති පැවතුම් ඇත. අවංක පුද්ගලයින් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ශබ්දය සහිත නම් ඇති බොහෝ පුද්ගලයින් සාර්ථක ජීවිත ගෙවනු දැකිය හැකිය.
S අකුර පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන
ජ්‍යොතිෂය සේවය)