යුග දිවියේ සුබ අසුබ සොයන වියත් මැනිල්ල | Page 4 | සිළුමිණ

යුග දිවියේ සුබ අසුබ සොයන වියත් මැනිල්ල

ඈත අතීතයේ මවක දරුවෙකු බිහි කළ අවස්ථාවකදී බිලිඳාගේ දෙපයින් අල්ලා හිස පහතට සිටින සේ සෙලවීමෙන් ගැබේ සිටියදී උරා බොන ලද පෝෂණ කාරකයන් අඩංගු අපද්‍රව්‍යයන් බිලිඳාගේ නාසයෙන් කටෙන් නිකුත් වේ. බිලිඳා හඬන මොහොතේදී 'කෙසෙල් කුරුල්ලෙකුට' එක පහරින් කැත්තෙන් හෝ මන්නා පිහියෙන් කෙටීමද චාරිත්‍රයකි. එය දිවා රාත්‍රි දෙකටම සමාන වේ.

'ගොබය' ඇදුන විට එය මැන කාලය වේලාව සකස් කර ගනු ලැබේ. එය ' වේලාපත්කඩය' යි. පසුව පෑ තැටිය ඔරලෝසුව සහ නවීන පරිගණකය ඇසුරෙන් ජන්ම පත්‍රය සකස් කර ගනු ලැබේ. මේ අන්දමට කේන‍්දරයක් සකසා ගැනීමට එදා නොහැකි වූයේ නම් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැළපීමට ක්‍රමවේදයක් ලෙස වියත් මැනීම කරන ලදී.

දෙදෙනාගේම වයස් සීමාව කොටස් 5කට බෙදනු ලැබේ.

1) සම වයස් වීම, 2) වසර 10 දක්වා පරතරය වීම. 3) වයස 11 + 15 අතර වීම. 4)වයස 16 + 20 අතර වීම. 5) වයස 20 + 21 අතර වීම.

මෙහිදී දෙදෙනාගේම වයස් පරතරය ගණන් ගනු ලැබේ. නිදසුනක් ලෙස පුරුෂයාට වයස අවුරුදු 40 නම් ස්ත්‍රිය වයස 30 ක් වේ නම් පරතර අවුරුදු දහයකි.

යුවතිපතින්ට හිමි ස්ත්‍රී පුරුෂ වර්ග මතක තබාගෙන ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ රියන මැනීමෙන් ලැබුණ පලය අනුව ඉහත මාතෘකා වූ ප්‍රශ්නයට නිසි පිළිතුරු ලැබේ.

ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ වැළමිටේ හන්දියේ කෙළවර සිට මැදැඟිල්ලේ අගට මැන ගන්න. මිනුම් ප්‍රමාණය හරියට 'දෙවියත' නම් විවාහයට ඉතාම සුබයි. දෙදෙනා හොඳින්ම ගැළපේ. සාර්ථක විවාහයක් ගෙන යනු ඇත. අඩු සහ වැඩිනම් අන්‍ය සබඳතා ඇතිවේ.

වසර 10 පරතරය

ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ වැළමිට සිට කෙළවර වෙදැඟිල්ලට අගට මනින්න. මිනුම් ප්‍රමාණය වියත් දෙක නම් රෝගී බව ඇතිවේ. ප්‍රමාණය අඩුනම් යුග දිවිය සාර්ථක වේ. වැඩි වීනම් නොමඟ යනු ඇත.

අවුරුදු 11+15 අතර වීම ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැළමිට හන්දියේ සිට සුලැඟිල්ල කෙළවරට මැන ලැබුණ ප්‍රමාණය දෙවියත නම් විවාහය ඉතාම වාසනාවන්තයි. වැඩිනම් පුරුෂයාට අයහපත් වේ. රෝග ඇතිවේ. දරු පල අඩුයි. යුග දිවියේ සතුට හීනවේ.

අවුරුදු 16+ 20 අතර වීම

ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැළමිට හන්දියේ දඹරැඟිල්ල අගට මැන එය සමාන වේනම් දෙදෙනාගේම යුගදිවිය ඉතාම සාරවත් වේ. සැපවත් වේ. දරුපල ඇති වේ. වැඩි වීම අයහපත්ය.

අවුරුදු 21 + 25 අතර වීම

ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැළමිට හන්දියේ සිට මහපටැඟිල්ල දක්වා මනින්න. වියත් දෙකක් වේනම් සැප සම්පත් යසඉසුරු ලැබේ. වැඩිනම් චරිතය කෙලෙසා ගනී. අඩුනම් දරුවන් හීනයි. ඒ අතර විවිධ සබඳතා ඇසුරට වැටීමට ඉඩකඩ පෑදේ.

අපේ දේශීය පාරම්පරික ජන වහරේ මෙවැනි ගුප්තමය අංක විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබේ. ඉපැරණි පත්ඉරුවක සඳහන් වන මෙම වියත් මැනිල්ල ඔබත් අත්හදා බලන්න.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Comments