ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 16 විවාහය සිදුවන හැටි තත්කාලයෙන් කියන හැටි | Page 3 | සිළුමිණ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය - 16 විවාහය සිදුවන හැටි තත්කාලයෙන් කියන හැටි

ජන්ම පත්‍රයක් නැති අවස්ථාවල ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න තත්කාල කේන්දරයක් යොදාගත හැකියි

තත්කාල කේන්දරයෙන් විශ්ලේෂණයේදී සඳුගේ පිහිටීම බැලිය යුතුයි

ජන්ම පත්‍රයක් නැති අවස්ථාවලදී ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා තත්කාල කේන්දරයක් යොදා ගත හැකි බව අප දනිමු. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව තත්කාල කේන්දරයක් සකස් කිරීම සඳහා 249 න් පහළ අංකයක් ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ අංකය යෙදෙන රාශි චක්‍රයේ උපස්ථානයේ ආරම්භක ස්ථානය, ලග්න භාවයේ ආරම්භය ලෙස යොදා තත්කාල කේන්දරය සකස්කර ගත හැකිය. සමහර අවස්ථාවලදී ප්‍රශ්නකරුගෙන් අංකයක් ලබා ගැනීම අපහසු වෙයි. එහෙත් එයට පහසු විසඳුමක් ඇත. පිටු 249කට වඩා ඇති පොතක් ගෙන එය පෙරළා ඔබට පෙනෙන පිටු අංකය යොදාගන්න. ජන්ම පත්‍රය හෝ තත්කාල කේන්දරය සකස් කිරීම සඳහා පරිගණක වැඩ සටහන් යොදාගන්නා අයට මෙය ඉතාමත් පහසුය. ඒවායේ ඇති තත්කාල කේන්දර සටහන ආරම්භ කරන විට එම යන්ත්‍රය මඟින් අංකයක් ලබා දෙයි. අපට එය යොදාගත හැකිය. නැතිනම් එය වෙනස් කර අපට අවශ්‍ය අංකයක් දිය හැකිය.

මෙම තත්කාල කේන්දරය සකස් කිරීම සඳහා ලබා දී ඇති අංකය 146 විය. ඒ අනුව සකස් කළ තත්කාල සටහන මෙසේය.තත්කාල කේන්දරයක් විශ්ලේෂණය කිරීමේදී මුලින්ම එහි සඳුගේ පිහිටීම බලන්න. මෙම තත්කාල කේන්දරයේ සඳු, 10 වැනි භාවය අධිපතිව, 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

මේ සඳු, කේතු සමඟ සංයෝගව, රාහුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු, කුජගේ සහ කේතුගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරයි. කේතු, සිකුරුගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරයි. ඒ අනුව සඳුගේ නිවේදකත්වය 2 වැනි සහ 7 වැනි භාවවලට ලැබෙයි. ඒ අනුව සඳු ප්‍රශ්නය පිළිබිඹු කරයි. තත්කාල කේන්දරයක් මඟින් විවාහය ගැන හඳුනා ගැනීමට, එහි 7 වැනි භාවය බලන්න. මේ තත්කාල කේන්දරයේ 7 වැනි භාවය සිකුරු හිමි රාශියක, රවිගේ නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක යෙදී ඇත.

මේ තත්කාල කේන්දරයේ 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 7 වැනි සහ 2 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වෙයි. ඒ නිසා ප්‍රශ්නකරු, විවාහය සඳහා වාසනාව ඇත්තෙකු වෙයි.

විවාහය සඳහා වාසනාව ඇති මේ තත්කාල කේන්දරයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාලසීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විව ප්‍රශ්නකරුගේ විවාහය සිදු වෙයි.

මෙම භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කුජ, බුධ සහ රවි වෙති. රාහු සහ ගුරු මෙන්ම කේතු සහ සඳු සංයෝගය. මෙම ග්‍රහයන්ගෙන් වඩාත් ඵලදායී ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාලයක් උදාවී ගෝචර ගමන් සමඟ එකඟ වන විව ජන්මියාගේ විවාහය සිදුවෙයි.

ජන්ම පත්‍රයක නිවේදක ග්‍රහයන්ගෙන් වඩාත් ඵලදායී නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය වන පාලක ග්‍රහයන් යොදා ගත හැකිය. මෙම අවස්ථාවේ පාලක ග්‍රහයන් වූයේ ගුරු, සිකුරු, රාහු, ගුරු, සඳු, බුධ සහ ගුරු වෙති.

මේ තත්කාල කේන්දරයේ පවතින රාහුගේ මහ දශාව 2038 අප්‍රේල් 06 වැනි දින දක්වා පවතියි. ප්‍රශ්නකරු, රාහුගේ මහ දශාව තුළ විවාහ වෙයි. මේ තත්කාල කේන්දරයේ පවතින රාහුගේ මහ දශාවේ, ගුරුගේ භුක්තිය 2022 දෙසැම්බර් 18 වැනි දින සිට 2025 මැයි මාසයේ 12 වැනි දින දක්වා පවතියි.

තත්කාල කේන්දරයේ පවතින රාහුගේ මහ දශාවේ ගුරුගේ භුක්තිය සහ බුධගේ අන්තරය 2023 අගෝස්තු 30 වැනි දින සිට 2024 ජනවාරි මාසයේ 03 වැනි දින දක්වා පවතියි. රවි ග්‍රහයා 2023 දෙසැම්බර් 30 වැනි දින සිට 2024 ජනවාරි මාසයේ 11 වැනි දින දක්වා ගුරු හිමි ධනු රාශියේ සහ සිකුරු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි.

සඳු ග්‍රහයා 2024 ජනවාරි මාසයේ 06 වැනි දින දක්වා සිකුරු හිමි තුලා රාශියේ සහ රාහු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි. ඒ අනුව එදින ප්‍රශ්නකරුගේ විවාහය සිදුවෙයි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

Comments