මැකී ගිය සොඳුරු හඬ රත්නා පුෂ්පකුමාරි | සිළුමිණ

මැකී ගිය සොඳුරු හඬ රත්නා පුෂ්පකුමාරි

බාල වියේදී ඇයට සිහිනයක් තිබිණි. ඒ නාට්‍ය කලාව, රංගනය ආදි කුසලතාවයන්ගෙන් කරළියට ඒමටය. එ් සිහිනය තිබුනේ කෙටි කළක් යැයි හැඟෙන්නේ ඇගේ අරමුණු කාලයත් සමඟ වෙනස් විමෙනි.

කලක් විද්‍යුත් මාධ්‍ය සමඟ මෙන්ම ගුවන්විදුලි මාධ්‍ය සමඟ ද කටයුතු කළ ඇයගේ ඊළඟ අරමුණු වුයේ තමන්ගේ ඊළඟ පරම්පරාවට ඔවුන් යන මඟ සකස් කර දීමය. එතැන් සිට ඇය වෙහෙස වුයේ ඒ පරම්පරාව වෙනුවෙනි. මාධ්‍ය ගැන පමණක් නොව තවත් විෂයන් පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීමට විවිධ වැඩ සටහන් කළාය. එතැනින් නොනැවතුන ඇය ඊළඟ පියවර තැබුවේ කාන්තාවන් වෙනුවෙන් යමක් කිරීමටය. අපේ සමාජයේ දුකින් තැවෙන, හඬක් නැති කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟන්නට, ඔවුන්ට ජීවත් වීම සඳහා තමන් වෙනුවෙන් අභිමානයක් ගොඩනඟා ගන්නට ඇය පාර පෙන්නුවාය. ඒ වෙනුවෙන් ඇය බොහෝ දේ කළාය. 

සැමදාම අනුන් වෙනුවෙන්, සිසු පරම්පරාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටි රත්නා පුෂ්පකුමාරි නම් වූ මාධ්‍ය වේදිනිය පසුගිය දා සිය දිවි ගමන නිමා කළාය. වයස අවුරුදු 61 දී ඇයට සිය දිවි ගමන නිමා කරන්නට සිදුවුයේ පිළිකා රෝගයට ගොදුරු වීමෙනි.

“සිතාගත නොහැකි මාරාන්තික රෝගයකට ගොදුරුවූ බව මං දැනගත්තේ මීට මාසයකට පෙරයි. මගේ අක්මාවේ ඇති වූ පිළිකා තත්ත්වය ගැන දැනගත් පසු මා කල්පනා කළේ මගේ මාස කිහිපයක ජීවිත අවදානම ගැනයි. මට ජීවිතය ගැන වසර කිහිපයක සැලසුම් හදාගන්න අමාරු වුණා. නමුත් අවදානම් සහගත මානසික තත්ත්වයක සිට මා ජීවිතයට මුහුණ දෙනවා. මං නව සැලසුමකට අනුව ජීවිතයේ ඉතිරි මාස කිහිපය ගෙවා දමනවා“

මින් තුන් මසකට පෙර ඇය සිය ජීවිතයේ ඉදිරි දවස් ගැන එසේ සැලසුම් කළාය. එහෙත් ඇයට සිය දිවිගමන නිමා කරන්නට සිදු වුයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවු මොහොතකය. ප්‍රවීණ මාධ්‍යවේදිනියක හා මනෝ උපදේශිකාවක වූ රත්නා පුෂ්පකුමාරි හදිසියේම වියෝවන්නේ පිළිකා රෝගයට ගොදුරු විමෙනි.

කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබු ඇය පාසැල් වියේදීම නාට්‍ය ඇතුළු කලා කටයුතු වලට සම්බන්ධ වන්නීය. ජර්මානු සංස්කෘතික ආයතනය මඟින් පවත්වන ලද නාට්‍ය පාඨමාලාවකට ද සම්බන්ධ වන ඇය 1979 වසරේ ළමා නාට්‍යයක් නිෂ්පාදනය කරමින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නිය. රත්නා පුෂ්පකුමාරි 1982 වසරේදී ගුවන්විදුලි සංස්ථාවට එක් වන්නේ සහාය වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසිනි. 1985 වසරේදී ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇය 1988 වසරේදී ස්වාධින රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු අරඹන්නීය.

මෙයට අමතරව ළමා වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කරන ඇය ඒ වෙනුවෙන් අන්තර්ජාතික අවධානය ද හිමිකර ගන්නිය. ලෝක නාට්‍ය ආයතනයේ නාට්‍යවේදින්ගේ සංගමයේ උප සභාපතිනිය ලෙස ඇය වරෙක කටයුතු කරන්නීය. 

නිවේදන කලාව, නාට්‍යකරණය ගැන මෙන්ම මනෝ විද්‍යාව පිළිබඳ කෘති ගණනාවක් ලියා පළකර ඇති ඇය ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ වසර 25ක් අධ්‍යක්ෂිකාවක ලෙස සේවය කර ඇත්තේය. සුබ TV නමින් යූටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන ගියාය.

ශ්‍රී ලාංකිය කාන්තාවන් වෙනුවෙන් කළ දායකත්වය වෙනුවෙන් ඇය විසින් කරන ලද මෙහෙය අගයමින් ලෝක සාමය හා උපාය මාර්ග පිළිබඳ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය මඟින් රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වෙත විශිෂ්ටතම කාන්තා සම්මානය ද පිරිනැමිණි

සැමවිටම තමන් උගත් දෙයින් ලැබූ දැනුමින් මෙරට දරු පරපුර සඳහා යමක් දායාද කිරීම ඇගේ අරමුණ විය.

මිය යන විට ඇගේ වයස අවුරුදු හැට එකකි. ඇය දෙදරු මවකි.

ඇය මට මුලින්ම හමුවූයේ 1999 වසරේ මුල් කාලයේදී පමණය. ඒ ඇය සිළුමිණ, රසඳුනට පැමිණි දිනෙකය. එදින දැන හඳුනාගත් අප ඇසුර දිගින් දිගටම පැවැතුණි. ඉන් පසුවද කිහිප විටක් ඇය පත්තර කන්තෝරුව වෙත පැමිණියාය. ඒ පැමිණියා නම් පැමිණියේ ඇය කරන අලුත් දෙයක් ගැන පවසන්නටය. සමාජය දැනුම්වත් කරන්නටය.

ආදරණීය රත්නා පුෂ්පකුමාරි ඔබට නිවන් සුව ලැබේවා!

Comments