ජීවිතේ දුක, සතුට බෙදාගන්න මටත් පෙම්වතියක් ඉන්නවා | Page 2 | සිළුමිණ

ජීවිතේ දුක, සතුට බෙදාගන්න මටත් පෙම්වතියක් ඉන්නවා

- අද වෙද්දි මං ගැන බොහෝ දෙනා තුළ විශ්වාසයක් ගොඩනැඟිලා තියෙනවා
- මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණේ නිවේදකයෙක් වෙන හීනය

සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වන, සතිය, දෙක තුළ ටික් ටොක් ඔස්සේ මිලියන ගණන් නැරඹුම් වාර පෙන්නන ලක්ෂ ගණනින් ලයික් වැටෙන තරුණයකුගේ සමාජ මාධ්‍ය ගිණුමක් ගැන අසන්නට ලැබූයෙන් ඒ ගැන සොයා බලන්නට සිතුණි. එහි වැඩිපුරම ඇත්තේ මෝටිවේෂන් සම්බන්ධ වීඩියෝ වීමත් විශේෂත්වයකි. සෑම වීඩියෝවකම අන්තර්ගත වන්නේ කෙනෙකුගේ ජීවිතය ගොඩනඟා ගැනීමට උදවු දෙන, නැඟී සිටින්නට දිරි දෙන උපදේශයන්ය. වයස් භේදයකින් තොරව සැවොම නරඹන මේ ගිණුමේ හිමිකාර නිසල නානායක්කාර ද පෙනුමින් මෙන්ම වයසින් ද තවමත් හිරිමල් යෞවනයෙකි. 

නිසල නානායක්කාර කියන නම මේ දවස්වල රමේෂ් ශෂිංකගේ එහෙම නැත්නම් කවුරුත් දන්න රමියගෙ සින්දුවක් එක්ක කියවෙනවා. මොකක්ද ඒ සම්බන්ධය?

ඒ මම යූටියුබ් එකට හදපු ‘ඉක්කයි මමයි ගාලු ගියා’ කියන ඩ්‍රාමා එකේ අලුත්ම තීම් සෝන් එක. කොවිඩ් කාලෙ නැවතිලා තිබිලා දැන් ආයිම රූගත කිරීම් පටන්ගත්තා. ඒක මිනි සීරියස් එකක්. ඒකෙ අලුත්ම තීම් සෝන් එක තමයි සිරස වොයිස් ජයග්‍රහණය කළ රමේෂ් ශෂිංක ගායනා කරන්නේ. ඒකෙ නිර්මාණ අධ්‍යක්ෂණය මගේ. සින්දුව පද රචනය කළේ රමිය. සංගීතවත් කළේ දිනේෂ් හේමන්ත. රමියගෙ හඬත් එක්ක මේ ගීතය දැන් ගොඩක් ජනප්‍රියයි. මේකෙන් කියවෙන්නේ සමාජ මාධ්‍යයටම කොටුවෙලා ඉන්න තාරුණ්‍යය ගැන වගේම සමාජ මාධ්‍ය නිසා තරුණ තරුණියන්ට සිද්ධ වෙන දේ. ආධුනික පිරිසක් යොදාගෙන ගාල්ලෙ තමයි රූගත කිරීම් කළේ මේ සින්දුව මේ වෙද්දිත් ලක්ෂ පහකටත් වඩා නරඹලා තියෙනවා.

සමාජ මාධ්‍යවල ඔබ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇත්තටම කවුද මේ නිසල නානායක්කාර කියන්නේ?

නිසල නානායක්කාර කියන්නේ ගාල්ලේ හීනටිගල දුප්පත් පවුල් පරිසරයක ඉපදිලා පියාගේ හදිසි අභාවයෙන් පසුව තනිව ජීවිතය සොයාගෙන ගිය තරුණයෙක් කිව්ව නම් හරි. මගෙ තාත්ත නැති වුණේ 2017. ඒ මං උසස් පෙළ කරද්දි. ඊට පස්සෙ දවසට රුපියල් 800ක වැටුපකට හෝටල්වල වැඩ කළා. පස්සේ කොළඹට ඇවිත් දැන්වීම් ආයතනවල වගේම දිදුල රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහටත් වැඩ කරලා අමාරුවෙන් මුදලක් එකතු කරගෙන අයිඩියා ප්ලස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මගේම පුංචි ආයතනයක් පටන් ගත්තා. මේ වගේ පොඩි කොල්ලෙකුට මේ තරම් දෙයක් කරන්න පුළුවන් ද කියලා හිතෙන තරමට අවුරුද්ද, දෙක යද්දි ගොඩක් දියුණු වුණා. අද වෙද්දි මං ගැන බොහෝ දෙනා තුළ විශ්වාසයක් ගොඩනැඟිලා තියෙනවා. සමාජ මාධ්‍ය තුළ නිසල නානායක්කාරගේ මෝටිවේෂන් වීඩියෝ මිලියන ගණනින් ලයික් ලබන තත්ත්වෙට පත්වෙලා. 

කිසිවකුගේ සහායක් නැතුවයි ඔබ මේ තත්ත්වෙට එන්නේ. කොහොමද ඒක වුණේ?

පොඩි තැන ඉඳලා පටන් අරන් මගේම උත්සාහයෙන්, ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ‍තමයි මේ තත්ත්වෙට ආවේ. උත්සාහය, කැපවීම තියේනම් ඕනෑම කෙනෙකුට පුළුවන්. මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණේ නිවේදකයෙක් වෙන හීනය. ඒ වෙනුවෙන් ලංකාවේ හැම ටීවී චැනල් එකකටම වගේ ගියා. ඒවයින් ෆේල් වුණා. ඒත් මං මගේ උත්සාහය අතෑරියේ නෑ. අවුරුදු 20දි තමයි කාර් එකක් ගන්න ඕන කියන ඉලක්කය තිබුණේ. ඊට පස්සේ මගේම ජීවිතේ ගැන කියලා වීඩියෝ එකක් කරලා ටික් ටොක් දැම්මා. ඒක මෝටිවේෂන් වීඩියෝ එකක් විදිහට වයිරල් වුණා. ලක්ෂ ගණන් වීවර්ස්ල හැදුණා. සති දෙකක් ඇතුළත ලක්ෂ 2ක් තරම් වුණා. මේ වෙද්දි මගේ මෝටිවේෂන් වීඩියෝ ටික් ටොක් ලයික් මිලියන 4 සීමාවට ඇවිත්. ෆලෝවර්ස්ලා ලක්ෂ 3 සීමාව පහු කරලා. ෆේස්බුක් පේජ් එකේ ලයික් ලක්ෂ 2යි. පර්සනල් පේජ් එකෙත් ෆලෝවර්ස්ල ලක්ෂ 2ක් විතර ඉන්නවා. මේ වෙද්දි මගෙන් උපදෙස් ගන්න, මං නිසා වෙනස් වුණු විශාල පිරිසක් ඉන්නවා.

බොහෝ දෙනා සමාජ මාධ්‍ය නිකරුණේ කාලය ගත කරන්න යොදා ගනිද්දි ඔබ යන්නෙ වෙනස් මඟක?

ඔව්, මං කරන්නේ සමාජ මාධ්‍ය හරහා වෙනත් අයගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කර දීම. ඒ ඒ ආයතනයේ නිෂ්පාදනය එහෙම නැත්නම් සේවාව මගේ ආයතනය හරහා ෆේස්බුක්, යූටියුබ්, ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරලා දෙනවා. මේ සියල්ල සිදුවන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ විතරයි. ලංකාවේ ප්‍රසිද්ධ ආයතන, ජනප්‍රිය පුද්ගලයන් පවා මගේ සේවය ලබා ගන්නවා. ඒ වගේම මෝටිවේෂන් ස්පීකර් කෙනෙක් විදිහට සහතික ලත් පුහුණුකරුවෙක් විදිහටත් කටයුතු කරනවා.

ඔබ බොහොම පුංචි තැනකින් ආව කෙනෙක්. අද වෙද්දි ගොඩක් අය ඔබව ආදර්ශයට ගන්නවා. මේ ආ ගමනෙදි අත්වැලක් වුණු කෙනෙක් එහෙමත් ඇති නේද?

ජීවිතයේ දුක, සතුට බෙදාගන්න මටත් පෙම්වතියක් ඉන්නවා. අපේ සම්බන්ධයට අවුරුදු 7ක් වෙනවා. එයා මාව තේරුම් අරන් මට මේ ලබා දෙන නිදහස තමයි එයාගෙන් මට ලැබෙන ලොකුම සහාය. ඒ අතිනුත් මං සාර්ථකයි. ඒ වගේම මගේ අම්මා, අක්කලා දෙන්නත් මට ලොකු ශක්තියක්.

Comments