ගෘහමූලිකයා ලෙඩ කරන වාස්තු දෝෂ හඳුනා ගැනේ | Page 3 | සිළුමිණ

ගෘහමූලිකයා ලෙඩ කරන වාස්තු දෝෂ හඳුනා ගැනේ

නිවසේ ඊසාන දිශාවේ ප්‍රමාණවත් දොරවල් ජනේල ආදී කවුළු නොතිබීමත්, මුළුතැන්ගෙය, වැසිකිළිය, පඩිපෙළ, ප්‍රධාන නිදන කාමරය, ගරාජය ආදී අංග පිහිටා තිබීමත්, අනවශ්‍ය හා බරැති භාණ්ඩ ස්ථානගත කර තිබීමත්, මිදුලේ මෙකී ඊශාන දිශාවේ වැඩි ඉඩකඩක් නොතිබීමත් පෙන්වා දිය හැකියි.

මෙකී ඊසාන දෝෂයන් නිසා ගෘහ මූලිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හානි පැමිණිය හැකි අතර නිවැසියන්ගේ හිස හා බෙල්ල ආශ්‍රිත ආබාධ බහුල විය හැකියි. දෙමහල්ලන් අතර අනවබෝධයක් හට ගැනීමත්, ආර්ථික - මානසික බිඳ වැටීම් ඇති වීමත්, ඊසානයේ බලපෑමෙන් විය හැකියි. මේ දිශාවේ දෝෂ දූ දරුවන්ගේ අධ්‍යාපනයට බලපානු ලබන අතර මේ දිශාවට හිස දමා නිදා ගැනීමෙන් දරුපල සීමිත විය හැකියි.

ඊසාන දිශාවේ වැඩිපුර කවුළු සංඛ්‍යාවක් පිහිටුවීමෙන් ඉතා සුබදායක වාස්තු පිහිටීමක් ළඟා කර ගත හැකි වනු ඇත.

ගිනිකොන දිශාවේ දෝෂ පිළිබඳව දැන් විමසා බලමු. මේ දිශාවෙහි ළිඳක්, වතුර ටැංකියක්, වැසිකිළි වළක් (වතුර රැඳෙන), දියඇල්ලක් පිහිටුවීමට සුදුසු නොවේ. මුළුතැන්ගෙයක් (ළිපක්) නොපිහිටීම ද දෝෂයකි. අනෙකුත් දිශාවකට වඩා ඉහළින් ගිනිකොන පිහිටීමද දෝෂ තත්ත්වයකි.

මේ නිසා හිමි වීමට ඇති වාසනාවකට බාධා ඇති වේ. මුත්‍ර රෝග හට ගනී. ආහාර ජීර්ණ ආබාධයන් ඇතිවේ. සැත්කම් සිදු කිරීමට ඉඩ සැලසේ. සියදිවි හානි කරගැනීමට හෝ යමකු ඝාතනය කිරීමට පෙලඹිය හැකියි. ගිනි අනතුරුද විය හැකියි.

භූමියේ නිරිතෙහි ඊසානයට වඩා ඉඩකඩක් තිබීමත්, නිරිතේ ළිඳක්, වැසිකිළි වළක්, වැසිකිළියක්, පිහිටා තිබීමත්, අනෙක් දිශාවකට වඩා නිරිත පහතින් පිහිටීමත් මුළුතැන් ගෙයක් නිරිතෙහි පැවතීමත් දුර්විපාක නිසැක වාස්තු දෝෂ වේ.

මේවා නිසා වියදම් අධික වී ණය බර ඇති විය හැකියි. මානසික අසහනය ඇති වීමත් මනසේ සාමය නැතිවීමත්, මානසික ආතති ස්වභාවය, විෂාදය වැනි තත්ත්ව ඇති වීමත්, කවර ආකාරයෙන් හෝ නම නරක් වීමක් අපකීර්තියට පත්වීම සිදුවීමත්, ගර්භාෂයේ, වෘෂණ කෝෂවල ආදී සිරුරේ පහත කොටස්වල ආබාධ ඇති වීමත් විය හැකියි.

භූමියේ හා නිවසේ වයඹ දිශාවේ දෝෂයන් වන්නේ ඒ දිශාවෙන් ඇතුළු වන ප්‍රධාන දොරටුවක් එකේලි වී තිබීමත්, උස ගස් පිහිටා තිබීමත්, අන් දිශාවලට ඉහළින් වයඹ පිහිටීමත් වේ. මේ දෝෂ නිසා නඩුහබ ඇති වීම, කාන්තාවන්ගේ හා ළමයින්ගේ සෞඛ්‍යය පිරිහීම, පවුල් ප්‍රශ්න ඇති වීම පමණක් නොව තමාගේම නිවසක ජීවිත ගෙවීමේ වාසනාව මඟ හැරී යෑමක් ඇති විය හැකියි.

මෙකී දුර්විපාකවලින් මිදීමට අවශ්‍ය අවබෝධය ඇතිව දිශා දෝෂ වළක්වා ගැනීමට උපරීම වෙහෙසිය යුතුවේ.

කාලාන්තරයක් තිස්සේ අපේ රටේ වාස්තු ශාස්ත්‍රය පැවතියත් වර්තමානයේ තරම් ජනතාව අතර භාවිතයට මේ විෂය පැමිණි කාලයක් අපට මතක නැත. මෙවැනි අවධානයක් කිසියම් විෂයකට හිටිඅඩියේ හිමි වීම නිසා ඇති වන හානිකර තත්ත්වය වන්නේ සත්‍ය කරුණුවලට වඩා මිථ්‍යා කරුණු සමාජගත වීමට ඉඩකඩ වැඩි වීමයි. මේ හේතුව නිසා වාස්තු ශිල්පීන් මැනැවින් අධ්‍යයනය කොට අවබෝධ කර ගත යුතු දේ වන්නේ බරපතළ වාස්තු දෝෂ හෙවත් අනිවාර්යයෙන් දුර් විපාක ගෙන දෙන වාස්තු දෝෂ කවර ඒවා ද සුළු දෝෂ කවර ඒවාද යන්නයි.

නිදසුනක් ලෙස නිවසක දොර ජනේල සංඛ්‍යාව බොහෝ දෙන අතර ප්‍රකට කරුණක් වුවත් ඒවා වෙනස් වීමෙන් බරපතළ දෝෂ තත්ත්වයන් අත්වන්නේ ය යන්න සත්‍යයක් නොවේ. මේ නිසා සුළු දෝෂයකට සේවාලාභීන් බියට පත් කිරීම දයාවෙන් යුතුව මේ ශිල්පයේ යෙදෙන්නන් සිදු කළ යුත්තක් නොවේ.

එසේ නම් බරපතළ වාස්තු දෝෂ නිරීක්ෂණය කර ගන්නේ කෙසේ දැයි අපි සිතා බලමු. මෙහිදී අපට පැරැණි ඍෂි භාවිතයන් මෙන්ම නූතන බටහිර විද්‍යාව උපයෝගී කර ගැනීම පහසුය. එහිදී පුරාතන වාස්තු ශාස්ත්‍රයට අනුව පංච මහා ධාතූනට ගෘහ අංග ගැළපීමත්, නූතන වාස්තු විද්‍යාවට අනුව අන්තරීක්ෂ (COSMIC) ශක්තියත්, භූ (EARTH) ශක්තියත්, චුම්භක (MAGNETIC) ශක්තියත් කළමනාකරණයෙහි යෙදීමත් පිළිබඳව සලකා බැලිය යුතුවේ. මෙසේ දෙවැදෑරුම්ව කරන අධ්‍යයනයෙන් පසක් වන කරුණ වන්නේ දිශාගත දෝෂ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවයි.

මේ අනුව ප්‍රධාන දිශා හතරත්, අනු දිශා හතරත් එසේම ප්‍රධාන - අනු වශයෙන් වූ දිශා අටක් සියුම්ව සලකමින් ඉතා ගැඹුරු පරීක්ෂාවක් සිදු කළ හැකියි. මෙය තවදුරටත් පැහැදිලි කිරීමේදී උතුර, නැඟෙනහිර අතර පිහිටි ඊශානයත් මෙන්ම උතුරු - ඊශාන හා නැගෙනහිර ඊශාන කොටසත් අධ්‍යයනයට එකතු කර ගත හැකියි.

මෙතරම් ගැඹුරට දිශා විග්‍රහයක් කරනු ලබන වාස්තු ශිල්පියකු විසින් නිවසක දෝෂ හඳුනා ගැනීමේදීත්, ප්‍රතිකර්ම සිදු කිරීමේදීත් අතිශයින් සාර්ථක වන බව කිව යුතුයි.

සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන දේශක ප්‍රියන්ත දයාරත්න

Comments