කඩ නොකර පොරොන්දු ඉටු කරන කඩවර දෙවියෝ | Page 3 | සිළුමිණ

කඩ නොකර පොරොන්දු ඉටු කරන කඩවර දෙවියෝ

වැඩ සිටින්නේ  කලා වැව ඉස්මත්තේ

ඉතා බලවත්  දෙවි කෙනෙක්

 

දේව ඉතිහාසයේ විෂ්ණු, කතරගම, සුමන, සමන් වැනි මහේශාක්‍ය දෙවිවරු මෙන්ම කාලී, සූනියම්, කඩවර වැනි 'ද්විත්ව වේශයෙන්' පෙනී සිටින අල්පේශාක්‍ය දෙවිවරු ද සිටී. ලෞකික සමාජයේ ජීවත් වන මිනිසාට නිතර නිතර ගැටලු ඇති වේ. මෙම ගැටලු ප්‍රශ්නවලින් යම් සහනයක් ලබා ගැනීම සඳහා විවිධ ජන කොටස් විවිධ දෙවිවරු අදහති. විෂ්ණු, කතරගම, සුමන සමන්, විභීෂණ වැනි දෙවිවරු යම් අපල උපද්‍රව රෝගාදී වැනි කරදරවලදීද සූනියම්, කාලි, කඩවර වැනි දෙවිවරු නඩුහබ, සතුරු කරදර, ණය තුරුස් වැනි සිද්ධීන්වලදී ද අදහා පිහිට ලබා ගැනීමට ජනී ජනයා පුරුදුව සිටී.

වැව් බැඳි රජරට පුණ්‍ය භූමියක් වන කලාවැව ආශ්‍රිතව තම නිජබිම කරගත් අති බලසම්පන්න කඩවර දෙවියෝ සිරිලක පුරා තම අණසක පතුරුවමින් ද්විත්ව වේශයෙන් යුතුව බැතිමතුන්ගේ සියලු සිතුම් පැතුම් ඉටු කර දෙන මහා බලගතු දෙවි කෙනෙකි. උන්වහන්සේ විටක දේව වේශයෙන්ද විටක යක්ෂ වේශයෙන්ද පෙනී සිට තම පිළිසරණ අපේක්ෂාවෙන් එන බැතිමතුන්ට පිහිට ආධාරය ලබා දෙන බව නොරහසකි.

උන්වහන්සේ නිවැරදිව අදහමින් පිහිට ආධාරය බලාපොරොත්තු වන්නේ යමෙක්ද ඔහුට හෝ ඇයට ඒකාන්ත සහනය ලැබෙන බව සත්‍යයකි. උන්වහන්සේගේ පිළිසරණ ලබාගත හැක්කේ කෙසේදයන්න අපි විමසා බලමු.

කඩවර දෙවි වන්දනාව බොහෝ පෝෂණය වී ඇති ජනප්‍රිය වන්දනාවකි. උන්වහන්සේගේ පිහිට ආධාරය ප්‍රාර්ථනා කරන බැතිමතුන් බොහෝය. කඩවර දෙවියන්ගෙන් බොහෝ දෙනකු බලාපොරොත්තු වන්නේ අසාධාරණයට අයුක්තියට එරෙහිව පිහිට ආධාර පැතීමයි.

ස්වභාවධර්මයට අනුව සත්‍ය වශයෙන්ම ඔබට යම් පුද්ගලයකුගේ අසාධාරණයක් සිදු වී ඇති ද එයින් ඔබ යම් මානසික පීඩනයකට අගතියකට පත්ව ඇත්නම් ඉඩකඩම් අසාධාරණ නඩුහබ අයුක්තියට ලක් වූ ප්‍රේම සබඳතා ආදී කටයුතුවලදී ඔබට කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සාධාරණය ඉල්ලිය හැක. ඔබත් පහත සඳහන් ක්‍රම උපාය මාර්ග අත්හදා බලා උන්වහන්සේගේ පිහිට ප්‍රාර්ථනා කරන්න.

අනුරාධපුර පසල් දනව්වේ තෙද බල විහිදුවා ඔද තෙද පාන කඩවර සත්කට්ටුවේ බල පරාක්‍රමය වික්‍රමය තුළින් තේජස් අනුහස් ලැබීමට පහත පිළිවෙත් අකුරටම කරන්න.

සාමාන්‍ය කඩවර දෙවියන්ගේ ස්වරූපය මිනිස් ස්වරූපයට සමානය. උන්වහන්සේගේ රූපයක පිළිමයක් සොයා ගැනීම අපහසු නොවේ. එසේ සපයා ගන්නා පිළිරුව තමන් වාසය කරන වාසස්ථානය හෝ නිවසේ කාමරවල තැබීම නොකළ යුතු කටයුත්තකි. ඊට හේතුව ඒ නිසා අනිසි ප්‍රතිඵල ලැබිය හැකි නිසාය. ඔබ නිවසින් පිටත ඉතා පිරිසිදු ස්ථානයක 'කිරි ගසක්' වැනි තැනක උන්වහන්සේගේ පිළිරුව තැබීමට තැනක් සකස් කර අවශ්‍ය පරිදි එම ස්ථානයේ පිළිරුව තැන්පත්කර යහන් පහන් දීමට අවශ්‍ය වටපිටාව සකසා පුර පක්ෂයේ කෙම්මුර දිනක තම පක්ෂියාගේ රජ භෝජන අවස්ථාවක් අල්ලා රාහු කාලයෙන් තොරව පළමු පූජාව තැබීම ආරම්භ කළ යුතුය.

බුලත්, පුවක්, සඳුන්, කැලෑ රත්මල්, කිරිබත්, පුළුටු, බැදි කඩල, කෙසෙල්, පලතුරු, කැවිලි වර්ග තබා යහන් සකසා මුලින්ම දෙවියන්ට ආරාධනා කළ යුතුය. ඉතා පැහැදිලිව දේව ආරාධනාව කොට යහන මත කහ දියෙන් දෝවනය කරන ලද පොල් ගෙඩියක් තබා ඒ මත කපුරු දල්වා සුවඳ දී මෙසේ කන්නලව් කළ යුතුය.

පස්වාහන් දහසකට මාගේ කඩවර දෙවි හාමුදුරුවනේ අදත් මාගේ මේ යහන් මාලාවම දිෂ්ටි වැටී මා මේ කරනා කන්නලව්ව ඔබ දෙවි හාමුදුරුවන්ගේ දිවි සවනට ඇහී මාගේ මේ විපත කරදරය ඔබ දෙවියන්ගේ දිව නෙතට පෙනී මේ සියලු ගැටලු ප්‍රශ්න සඳහා සෙතක් ශාන්තියක් ලබා දීමට ඔබ වහන්සේගේ දිව්‍ය හස්තය දිගු කොට වරං පස් වාහඃ දහසකට මාගේ දෙවි හාමුදුරුවන්ගේ ආයුබෝ වේවා.

දෙවනුව පොල් ගෙඩියට පහත සඳහන් දිෂ්ටියෙන් 108 වර දිෂ්ටි කර බිඳ දමන්න. දින 7ක් හෝ 21 වර එසේත් නැතිනම් කෙම්මුර 7 ක් හෝ මේ ක්‍රියාව අඛණ්ඩව සිදු කිරීමෙන් ඔබට නිවැරදිව ඔබගේ ප්‍රශ්නයට උත්තර ලැබෙනවාමයි.

මෙම කඩවර පෙරළුම් දිෂ්ටිය භාවිතයේදී අතිශයින්ම ප්‍රවේසම් විය යුතු අතර ඔබ අත වැරදි තබා මෙය සිදු කිරීමෙන් වළකින ලෙස අවවාද කරමි.

ඕං පත්‍රාඩි සැර ගිනි කඩවර දිෂ්ටි දිෂ්ටි අප්පොච්චි වාවා ඕඩු ඕඩු ඒස්වාහ

ඕං විෂ්ණු ශර භෛරව තෙරංගු මල් කඩවර බරධ බන්ධ ඒස්වාහ

ඕං රාම රාම කන්ද කුමාර කළු කම්බිලි කොට කඩවර දිෂ්ටි දිෂ්ටි ඒස්වාහ

ඕ කන්දප්සර ලේ කඩවර දිෂ්ටි දිෂ්ටි මල් කඩවර ගොපළු කඩවර දිෂ්ටි දිෂ්ටි නමඃ

ඕං කමල ගිණි විෂ්ණු නාරායනේ රන්දුනු පුපුරුවා මාගේ ......................... (තම ප්‍රශ්නය සඳහන් කොට) තොටයක් දෙමළ පිල්ලියෙන් වෙස්වලාගෙන පුපුරුවාගෙන ඔහුගේ හෘදයට කතා කර මාගේ ප්‍රශ්න මාලාවට විසදුම් ලබා ඊශ්වර වරමින් තේජස්වාහඃ

ඉහත දිෂ්ටිය 108 වර කියා අනතුරුව පහත කන්නලව්ව කියා පොල් ගෙඩිය බිඳ දමන්න.‍ෙ

අවසර

පස්වාහන් දහසකට ඉරහඳ පවතින තුරු අහස පොළව පවතින තුරු වරම් ගත් කඩවර සත්කට්ටුවෙන් අවසරගෙන කලාවැව කලා ගං හත්පත්තුවට කලාවියට වැඩ වරම් ලබාගෙන මේ නරලොවට කෙලි පුද ගන්නට වරම් ගත්තා සත්‍යවාදී සැබෑ වීනම් සුරාසුර යුද්ධයේ දී සූර්ය උදා කරමින් එළිවෙන්නට සත් පැයක් කියා අප කතරගම දෙවි හාමුදුරුවන්ගේ දකුණු වාහල්කඩට වැඩම කළා වූ මුල් කඩවර දෙවියනේ, රත්න කඩවර, මල් කඩවර, දළ කඩවර, අම්මාන කඩවර, රිරි කඩවර, සත්ජය කඩවර ආදී කඩවර පිරිවරට නායක වූ උතුම් මුල් කඩවර දෙවි හාමුදුරුවන් වහන්ස ඔබ දෙවියන්ට අදත් මේ පූජා පවත්වා ඉල්ලා සිටින්නා වු ................ (කාරණාව සඳහන් කරන්න) ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා.

පසුව පොල් ගෙඩිය පසුපසට ගොස් ගලක ගසා බිඳින්න. එක දිගට නොකඩවා මෙය සිදු කිරීමෙන් ඔබට ඔබ නොසිතන ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒකාන්තයෙන්ම ඔබගේ ගැටලුවට විසඳුම් ලැබේ. අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

කඩවර දෙවියන්ට පින් දීමේ ගාථාව

 

ගාථාව

විවිත්තානී වත්තාරණනී

අමුත්තා මනී කුණ්ඩලා

විම්භයකර බලං පත්තො

කඩවරරොස්මි පුඤ්ඤානුමෝදතු

 

අර්ථය

විචිත්‍රවත් වූ වස්ත්‍රාභරණ

හා මිණි ඔටුනු පැලඳ ගත්

විස්මයජනක ලෙස බලය

පතුරු වන කඩවර දෙවිදුන් මේ

පින් අනුමෝදන් වන්න.

ජ්‍යොතිර් විශාරද  කේ. එස්. එස්. යෝදින්ගේ

Comments