වේදිකාවට එන අලුත්ම නාඩගම | Page 2 | සිළුමිණ

වේදිකාවට එන අලුත්ම නාඩගම

මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාඩගමත් ‘සිංහබාහු’ නාඩගමත් වසර 60 කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂක හදවත් වැලඳගත් මහා වෘක්ෂයෝ වෙති. ඒ මඟ ගිය කලාභූෂණ රුවන් දනන්සූරියගේ ‘දික්තල කාලගෝල’ ද වසර 50 කට ආසන්න කාලයක් නරඹා ඇති මෙරට ප්‍රේක්ෂක ජනතාවට ඔහුගේ පුත් විශාරද පැතුම් දනන්සූරිය ගේ ‘රුචිරා දේවි’ නාටකය අලුත් අත්දැකීමක් වනු නියතය. නාඩගම් ශෛලිය ගුරුකොටගත් ‘රුචිරා දේවි’ වසර හතළිහකට පසුව බිහිවන නූතන නාඩගමකි. මෙම නාට්‍ය 2023 ජූනි මස 01 දින සවස 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත වීමට නියමිතය. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

අමරිකාවේ වැඩ වසන ශාස්ත්‍රපති, පූජ්‍ය අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ විසින් ‘බන්ධන මොක්ඛ ජාතකය’ ඇසුරින් රචනා කර ඇති ‘රුචිරා දේවි’ නාටකය පැරණි නාඩගම් ගී ඇසුරින් සංගීත නිර්මාණය කර අධ්‍යක්ෂණය කරනු ලබන්නේ විශාරද පැතුම් දනන්සූරිය යි.

මෙරට නාඩගම් උපත පිළිබඳ විමැසීමේදී එය 13 වැනි සියවසේ බුවනෙකබාහු රජ සමය දක්වා දිවයයි. පසුව 18 වැනි සියවසේ විසූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සරණපාවා ගත් මදුරාපුරයේ නායක්කාර වංශික උඩු මාලේ දේවි රාජ කුමාරිය සමඟ පැමිණි පරිවාර ජනයා අතර නාරසිංහ සංගීතඥයාගේ ගෝලයකු වූ අලගනායිදු නැමැති කර්ණාටක සංගීතඥයාද පැමිණ ඇත. ඔහු විසින් තෙලිඟු බසින් නිෂ්පාදනය වූ ‘හරිශ්චන්ද්‍ර නාඩගම’ උඩරට ප්‍රදේශයේ රඟ දක්වා ඇත. එකල හඟුරන්කෙත විසූ කම්මල්කරුවෙකු වන පේදුරු සිංඤෝ හෙවත් ජාන්වි සිංඤ්ඤෝ ‘හරිශ්චන්ද්‍ර’ තෙලිගු නාඩගම නැරඹීමෙන් නාඩගම් පිළිබඳ ඔහු තුළ ඇතිවූ ආශාව නිසාම එම හරිශ්චන්ද්‍ර නාඩගම සිංහල බසට ලියා නිර්මාණය කර රඟ දක්වා ඇත. පසුව ඔහුගේ පුත් පිලිප්පු සිංඤ්ඤෝ විසින් පියාගේ නාඩගම් කලාව ඉදිරියට ගෙන යමින් ‘ඇහැලේ පොළ හෙවත් සිංහලේ’ නාඩගම ඇතුළු නාඩගම් තුනක් රචනා කර නිෂ්පාදනය කර ඇත. ‘ඇහැලේ පොළ හෙවත් සිංහලේ’ නාඩගම් පිටපත මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කර ඇති නිසා මෙය පැරණිම නාඩගම ලෙස අපට පිළිගත හැක. 18 වැනි ශත වර්ෂයේ අග භාගයේ සිට 9 ශතවර්ෂයේ මුල් භාගය දක්වා නාඩගම් 50 ට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත.

අතීතයේ නාඩගමක් රඟ දැක්වූයේ එළිමහන් භූමි භාගයකය. වේදිකාව ලෙස එම භූමියේ උසට ඇති ස්ථානය තෝරාගත් අතර එවැනි අවස්ථා නැති වූ විට පස් ගොඩගසා පොළොව මට්ටමින් උස් තැනක් අර්ධ කවාකාරව සකස් කරගත් ස්ථානයක නාට්‍ය රඟ දැක්විණි. වේදිකාව, රංග මණ්ඩපය හෙවත් කරලිය නිර්මාණය වූයේ එලෙසින්ය. ප්‍රේක්ෂකයන් හට වේදිකාව ඉදිරිපස බිම වාඩිවී නාඩගම නැරඹීමට සිදු වූ අතර කාලයාගේ ඇවෑමෙන් ප්‍රභූ ජනතාව සඳහා සොල්දර තට්ටුව සහ ආසන සැපයූ බව සඳහන් වේ. ආලෝකය වෙනුවට කුරුම්බා කෝම්බවලට පොල් තෙල් පුරවා පාන්කඩ තැබීමෙන් ආලෝකය ලබා ගත් අතර පසුව වේදිකාව සඳහා කිට්සන් ලාම්පු මඟින් ආලෝකය ලබාගෙන ඇත. රාත්‍රී හතක් පුරා මෙම නාඩගම් රඟ දැක්විණි. මෙලෙස රාත්‍රී දින හත පුරා රඟදැක්වූ පුරාණ නාඩගම ක්‍රමක්‍රමයෙන් අවම වී 1870 වනවිට එක්දින රාත්‍රියක් දක්වා අඩුවී තිබිණි. එය තනි රෑ නාඩගම් වශයෙන් භාවිත විය. එකල මෙම නාඩගම් සංදර්ශන සංවිධානය කරන ලද්දේ ප්‍රදේශයේ ධනවත් ප්‍රභූන් විසිනි. එය ඔවුන්ට ගෞරවයක් ලෙස ද ඔවුන් සැලකු බැවින් එම කටයුතු සඳහා ධනවතුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ සහාය නොමඳව ලැබිණි.

මෙවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති නාඩගම් කලාව වර්තමාන වේදිකාවට සරිලන අයුරින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ප්‍රතිනිර්මාණය කිරීම සිංහල නාට්‍ය කලාවට කළ සුවිශාල මෙහෙවරකි. බලපිටියේ අම්පේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ එක්ව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1956 දී ‘මනමේ’ නාඩගම නිර්මාණය කළේය. එමඟින් සිංහල ගැමි නාට්‍යයේ පුනර්ජීවය සනිටුහන් විය. එතුමන් තුළ වූ නාට්‍ය පිළිබඳ ජාත්‍යන්තර දැනුම වර්තමාන වේදිකාවට ඔබින පරිද්දෙන් මෙම නාට්‍ය නිර්මාණයේදී උපයෝගී කරගෙන තිබුණි. එනිසා ම ‘මනමේ’ නාටකය එදා පටන් අද දක්වා වසර 67, දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව ඇත. පසුව මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් 1961 දී ‘සිංහබාහු’ නාට්‍යය නිර්මාණය කළ අතර එයද නාඩගම් ශෛලිය ගුරුකොටගත්තකි.

චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ගේ නිර්මාණයක් වූ ‘කාලගෝල’ නාටකය එතුමාගේ බාල පුත් කලාශූරි පුන්‍යසේන ගුණසිංහයන් විසින් 1975දී ‘දික්තල කාලගෝල’ නමින් නිෂ්පාදනය කරන ලදී. මෙහි විශේෂත්වය වන්නේ දෙබස් රචනයේදී ගැමි කටවහරට මූලිකත්වය දී තිබීමය. පසුව ගුණසේන ගලප්පත්ති ශූරීන් විසින් ‘සඳකිදුරු’ කවි නාඩගම නිෂ්පාදනය කර ඇති අතර 1978 දී ධර්මදාස කුරුප්පු විසින් ‘විදුර’ නාඩගම නිෂ්පාදනය කරන ලදී. 1979 සුනිල් හෙට්ටිආරච්චි විසින් ‘චෝර පබ්බත’ නාඩගම් ශෛලියෙන් නිර්මාණය කළ අතර මේවා සීමිත දර්ශන වාරවලට සීමා වූ නාට්‍ය විය.

1980 දී කලාභූෂණ රුවන් දනන්සූරිය අධ්‍යක්ෂණය කළ ‘මිණි සළඹ’ නාඩගම් නිර්මාණය විය. එය දිවයින පුරා දර්ශනවාර පනහකට අධික සංඛ්‍යාවක් රංගගත කෙරිණි. පසුව ‘භව තණ්හා’1983 දී ටවර් හෝල් රඟහල පදනම නිෂ්පාදනය කළ ‘වෙස්සන්තර’ නාඩගම ද ඉන් අනතුරුව කලාශුරි පුන්‍යසේන ගුණසිංහයන් ගේ ‘බන්ධන’ද නාඩගම් ශෛලියෙන් අනුදත් නිර්මාණ විය.

වර්තමානයේ නාඩගම් ශෛලියේ නාටක නිර්මාණය කිරීම සඳහා තරුණ නිර්මාණකරුවන් නොපෙළඹෙන්නේ එහි ඇති භාරදූර කාර්යය නිසා විය හැකිය. නාඩගම් ගීත ගායනා කළ හැකි ශිල්පි ශිල්පිනියන් සොයා ගැනීමේ අපහසුතාවය මෙන්ම නාඩගම්වලට අවශ්‍ය සින්දු පැරණි සින්දු රාග තාල සොයා ගැනීම හෝ නාඩගමට උචිත පරිදි සංගීත නිර්මාණය කිරීමේ භාරධූර කාර්යක් නිසා ද මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා ද නාඩගම් නාටක නිෂ්පාදනය කිරීමෙන් තරුණ නිර්මාණකරුවන් ඈත්ව සිටිති.

කෙසේ වෙතත් මෙම නාඩගම් කලාව අනාගත පරපුරට දායාද කිරීම සහ මෙය රැක ගැනීම අප සතු යුතුකමක් වන්නේය. එය අපගේ වගකීමකි. විශේෂයෙන් යෞවන සහ රාජ්‍ය නාට්‍ය උලෙළවලදී නාඩගම් ශෛලියෙන් නිර්මාණය කෙරෙන නාට්‍යයන් සඳහා විශේෂත්වයක් හිමි වන්නේ නම් මෙම කලාව පිළිබඳ තරුණ පරපුර ද මීට වඩා අවධානය යොමු කරන බව නිසැකය.

‘මනමේ’, ‘සිංහබාහු’ සහ ‘දික්තල කාලගෝල’ නරඹා ඇති මෙරට ප්‍රේක්ෂක ජනතාවට ‘රුචිරා දේවි’ නැවුම් අත්දැකීමක් වනු නියතය.

Comments