නිදි යහන සුව යහනක් කරන වාස්තු උපදේශ | Page 3 | සිළුමිණ

නිදි යහන සුව යහනක් කරන වාස්තු උපදේශ

නිදි යහනේ ඇඳ ඇතිරිලි චාම් වර්ණවලින්

කොහොඹ ඇඳක නිදාගත්තොත් දීර්ඝායුෂ

ඇඳ ඉහපතේ ලියවැල් කැටයම් ඉතා අසුබයි

නිදන ඇඳ බුරුත ලීයෙන් නම් සැප සම්පත් බහුලයි

ඇඳ පොලිෂ් කරද්දි කළු පාට එපා

 

නින්ද අප සියලු දෙනාටම අත්‍යවශ්‍ය අංගයකි. නීරෝගී ජීවිතයකට ද නින්ද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. පුද්ගලයෙකුට නින්ද අහිමි වීමට විවිධ හේතු බලපායි. ඒ අතර වාස්තු විද්‍යාත්මක කරුණු රාශියක් ද වේ. නිදි යහන තනා ඇති දැව වර්ගය නින්ද කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. ඔබට බුරුත ලීයෙන් සෑදූ ඇඳක නිදා ගැනීමට හැකිනම් සැප සම්පත් බහුලව ලැබේ.

කොහොඹ ඇඳක නිදා ගැනීමෙන් නීරෝගි බව හා දීර්ඝායුෂ ලැබේ. සඳුන්, මූණමල්, කොස් දැවවලින් සෑදූ ඇඳන්ද සුබ පල ගෙන දේ. පොල්, තල්, කිතුල් දැවවලින් සාදන ලද ඇඳන් භාවිත කිරීම දියුණුවට බාධා ගෙන දෙයි. එමෙන්ම ඇඳ ඉහපත මත ලියවැල් කැටයම් අසුබය. කිසිදු කැටයමක් නොතිබීම සුබ වන අතර පුන්කලස, හංස පූට්ටුව වැනි කැටයම් අශුභ නැත.

එමෙන්ම නිදි යහන පොලිෂ් කිරීමේදී කළු වර්ණය භාවිත නොකළ යුතුය. එය එම යහන භාවිත කරන්නන්ගේ ආයුෂ අඩු වීමට බලපායි. ඇඳේ රතු වර්ණය ආලේප කිරීමෙන් සොර සතුරු බිය ඇති විය හැක. යකඩ ඇඳන් භාවිත කිරීමද වෙළෙඳපොළේ ඇති නිශ්චිත දැව වර්ගයකින් නිම නොකළ ඇඳන් භාවිතය ද නුසුදුසුය.

ඇඳ ඇතිරිලි ද ඔබේ නිවසේ දියුණුවට බලපාන සාධකයක් බව ඔබ නොදන්නවා විය හැකිය. නිදි යහන සඳහා යොදාගත යුත්තේ සුදු හෝ චාම් වර්ණයෙන් යුතු ඇඳ ඇතිරිලිය. රතු, නිල්, කොළ, කළු වැනි තද වර්ණ භාවිත කිරීම සුබ නැත. කොට්ට උර ද සුදු පාටින් යෙදීම ඉතා සුදුසුය. නිදන කාමරයේ බිත්තිවල ආලේප කිරීමට වඩා සුදුසු වන්නේ ද සුදු වර්ණය වේ.

නිදි යහන ජනේලයට මඳක් සමීපව බිත්තිවල නොගෑවෙන සේ තැබිය යුතුය. නිදි යහනේ හිස දමන පැත්තේ කබඩ් ආදිය තිබීම නුසුදුසු වන අතර කුඩා ටීපෝවක් අවශ්‍ය නම් එය තබා ගත යුත්තේ යහනට නොගෑවෙන සේය. යට ලී, කුරුපා ආදිය යට නිදි යහන නොවිය යුතුය. නිදි යහන යට කඩදාසි කොළයක් හෝ නොතිබෙන තරම් පිරිසිදු විය යුතුය. නිදි යහන යට විවිධ දේ ගොඩ ගැසීමෙන් නිවැසියන්ට රෝගී බව, විවාහ ජීවිතයේ ගැටලු, විවාහ ප්‍රමාද වීම් බලාපොරොත්තු බිඳ වැටීම් ආදි අසුබතා ඇතිවේ.

නිදන කාමරයේ කණ්ණාඩි මේසය තැබිය යුත්තේ නිදා සිටින විට ඔබේ රූපය කණ්ණාඩියෙන් නොපෙනෙන ලෙසය. ආත්ම විශ්වාසය, පෞරුෂය හීන වීමට එය හේතු වේ. නින්දෙන් අවදි වූ පසු ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය ක්‍රමානුකූලව සකසා යහන පවිත්‍රව තැබීමද කළ යුතුය.

නිදා ගැනීමේදී උතුරට හිස දමා නිදා ගැනීම ඉතා අසුබය. උතුරට හිස ලා නිදා ගැනීමෙන් තම වංශයට නින්දා, දූ දරුවන්ට රෝග පීඩා ඇති වන බවත් බටහිරට හිස ලා නිදා ගැනීමෙන් විකාර සිතුවිලි, නපුරු සිහින පෙනීම, ආයුෂ අඩුවීම ආදිය ඇතිවන බවත් සඳහන් වේ. නැඟෙනහිරට හා දකුණට හිසලා සැතපීම සුබදායක බව ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වේ.

මෙහි විද්‍යාත්මක ශක්තියක්ද පවති. එනම් පෘථිවියේ චුම්භක උතුර අපගේ සිරුරේ චුම්බක දකුණු හා මුණ ගැසීමෙන් ධන හා ඍණ අග්‍ර එක්වීම නිසා ඇති වන ආකර්ෂණය ඇති වෙයි. එමඟින් සිරුරේ චුම්බක ශක්තිය උත්තේජනය වීමෙන් මොළය ප්‍රබෝධවත් වී සිරුරේ ක්‍රියාකාරිත්වය මැනවින් සිදු වේ. දකුණට හිසලා නිදා ගැනීමෙන් ඉතා සැහැල්ලුවෙන් අවදි වීමට හැකි වේ.

නිදා ගැනීමේදී නිදන කාමරයට ඇතුළු වන දොරකඩට දෙපා හෝ හිස යොමු නොවන ලෙස නිදා ගැනීමද කළ යුතුය. එය විවාහ සහකරුට අසුබදායක වේ. නිදන කාමරයේ හරි මැද නිදි යහන තැබීමද අනවශ්‍ය වියදම් ඇති වීමට බලපායි. මෙම කරුණු අනුගමනය කිරීම සුවදායී නින්දකට මෙන්ම ඔබේ ජීවිතයේ දියුණුවට මහෝපකාරි වනු ඇත.

ජ්‍යොතිර්වේදී, විදුහල්පති

කපිල ඉන්දික ගු ණදාස

 

Comments