
චමත්කා ලක්මිණි සිනමාවෙන් මුණ ගැසුණ, කරන නිර්මාණවලින් කතාබහට ලක්වෙන නිළියක්. පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියක හිටපු ඇය මේ දවස්වල පුංචි තිරයේ නිර්මාණයකින් කතාබහට ලක් වෙනවා. චමත්කා ප්‍රතිපත්තියට පිටු පෑවද, කියලා දැන ගන්නත් එක්කම අපි ඇයට මේ ඉඩ වෙන් කළා.
සිනමාවේ දැක්ක චමත්කා පුංචි තිරයට මාරු වෙලා. මොකක්ද මේ වුණේ?
ඇත්තටම මම පුංචි තිරයට මාරු වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. human errors කියන්නේ පුංචි තිරයට කළ වැඩකුත් නෙමෙයි. මේ වගේ නිර්මාණයක් පුංචි තිරයේ විකාශය වෙද්දි මට හිතෙනවා මේ කාලේ පුංචි තිරයට සම්බන්ධ වුණොත් හොඳයි කියලා. ඒත් මම තවම පුංචි තිරයේ දිගටම වැඩ කරනවද කියලා තීරණය කරලා නෑ.
මේ නිර්මාණයට ඔබට ආරාධනා කරද්දි මොන වගේ වැඩක් විදිහටද මෙය දියත් වුණේ?
මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සුපුන් රත්නායක. යුටියුබ් එකට කරන වැඩක් විදිහට තමයි සුපුන් අයියා මට මේ වැඩේට කතා කළේ. මාධ්‍ය නාලිකාවකට මේ නිර්මාණය ගනියි කියලා සුපුන් අයියා හිතුවෙත් නෑ. යුටියුබ් එකට කළ වැඩක් නිසා දසුනුයි මමයි අත දිගහැරලා වෙනම පරාසයක වැඩ කළා. මේ නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටිය දැකලා ITN සභාපතිතුමා මේ නිර්මාණය නාලිකාවට ඉල්ලුවම අපිට ආපු ප්‍රශ්නය තමයි කොහොමද මේක නාලිකාවේ පෙන්නන්නේ කියන කාරණාව. ඊට පස්සේ තමයි නාලිකාවකට ගැළපෙන විදිහට මෙය නැවත රූගත කළේ. මම හිතන්නේ නෑ මේ චරිතය වෙන කෙනෙක් කරයි කියලා. මොකද මං ළඟට එන ගොඩක් චරිත වෙන කවුරුවත් කරන්නේ නැති චරිත. මාධ්‍ය නාලිකාවක් ඇතුළේ පෙන්නද්දි අපිට වාරණ තියෙනවා. ඒ වාරණ යටතට මේ නිර්මාණය ගන්නේ කොහොමද කියන කාරණයෙදි සුපුන් රත්නායක එය මරුවට අධ්‍යක්ෂණය කළා.
අනෙක් අය ප්‍රතික්ෂේප කරන වැඩද චමත්කා කරන්නේ?
නෑ. ප්‍රතික්ෂේප වෙලා ආව පළියට මම වැඩ කරන්නේ නෑ. පිටපත හොඳනම් ඒක කරන්න පුළුවන් කියලා මට දැනුණොත් ඒක කරන්නේ මං විතරයි. මේ වෙනකල් මට ආපු හුස්ම ඇතුළු ගොඩක් වැඩ මාවම ඕනේ කියලා ආපු වැඩ. ඒ වැඩ ඇතුළේ මං පෙන්නන රංගන පරාසය වෙනත් රංගන ශිල්පිනියකට දෙන්න අමාරුයි. සංස්කෘතික කාරණා ඇතුළේ මේ රස්සාව කරද්දි වාරණ දාගන්න වෙනවා.
ඔබ පුංචි තිරයෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න හේතුවක් තියෙනවද?
මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මගේ වැඩි කැමැත්තක් නෑ. මෙගා නිර්මාණවලට තමයි මම වාරණ දාගෙන ඉන්නේ. නිර්මාණකරුවෝ ලෙස ප්‍රේක්ෂකාගාරයට නිර්මාණයක් දෙද්දි අපිට වගකීමක් තියෙනවා. රැල්ලකට දෙයක් කරනවට වඩා ක්ෂේත්‍රයත්, ප්‍රේක්ෂකාගාරයත් පෝෂණය වන දෙයක් කරනවා නම් හොඳයි. මෙගා කරන්නේ නෑ කියන තීරණයේ මම ඉන්නේ මට අවශ්‍යයි මගේ වටිනාකම හදාගන්න. human errors වගේ වැඩකින් පුංචි තිරයට ආවට මගේ වටිනාකම නැති වෙන්නේ නෑ.
ඔබ human errors හි කරන්නේ අනියම් ඇසුරක් තිබෙන චරිතයක්. සැබෑ ජීවිතේ විවාහක කාන්තාවක් වුණ ඔබට ඒ චරිතය ගැන පෞද්ගලික කියවීමක් ඇති නේද?
ඔය සබඳතා හැමදාම පවතින සබඳතා නෙමෙයි. මම කියන්නේ විවාහ ජීවිතයක් ඇතුළේ හැම වෙලාවෙම එකිනෙකා තමන්ගේ අදහස් විවෘතව කතා කරන්න ඕනේ. ලැජ්ජාවට, බයට දේවල් වහගෙන ඉන්න නරකයි. එහෙම වුණාම තමයි ගොඩක් අය විකල්ප සම්බන්ධතාවලට යන්නේ. සමහරු ළමයෙක් හම්බුණාම තමන්ගේ පෞද්ගලික ජීවිතය එතැනින්ම නවත්ත ගන්නවා. විවාහ වුණාට, ළමයි හම්බුණාට අපිත් කැමැති දේවල් තියෙනවා. ඒවා සහකරු, සහකාරිය එක්ක කතා කරලා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි එකිනෙකා කතාබහ නොකරන්න නොකරන්න ප්‍රශ්න වැඩි වෙනවා. මම සැමියා එක්ක ඕනම දෙයක් විවෘතව කතා කරනවා. මගේ සැමියා ටිකක් නිහඩයි. එයා කතා කරන්නේ නැති වුණාම මට කේන්ති යනවා. එතකොට එයා කියනවා මට අවශ්‍ය උත්තරය දෙන්නම් කියලා. ඇත්තටම විවාහ ජීවිතයක එහෙම අවබෝධයක් තියෙන්න ඕනේ.
දසුන් එක්ක ඔබ නිර්මාණ කිහිපයක දකින්න ලැබුණා. දසුන් සහ ඔබ ගහයි පොත්තයි වෙලාද?
ඇත්තටම දස්සා එක්ක වැඩ කරන්න හරි පහසුයි. මට වැඩ කරද්දි පුදුම නිදහසක් දෙනවා. දස්සාගෙන් හම්බෙන සහය මට වෙන අයගෙන් ලැබෙන්නේ නැති තරම්. ඒක වෙන්න ඇති මේ වගේ වැඩ මම දස්සා එක්ක කරන්නත් හේතුව. අපි චරිතය ගැන කතා බහ කරලා හොඳ අවබෝධයකින් ඒක කරන්නේ. දස්සා හරියට සරුංගලයක් යවනවා වගේ නූල අතේ තියන් මාව හසුරවනවා. දස්සා වගේම නිර්මාණකරුවෝ දන්නවා මම මල් වගේ රඟපාන නිළියක් නෙමෙයි කියලා. මම මොනයම් හෝ අපහසුතාවක් තිබ්බත් කියන්නේ රඟපෑමෙන් පස්සේ.
චමත්කා අභියෝගාත්මක රංගන භාරගන්න කෙනෙක්ද?
මම වෘත්තිය ලෙස රංගනය කරන්නේ. මම කැමැතියි වෙනස්, වෙනස් චරිත කරන්න. මම කරන්නේ නිරුවත් දර්ශන, සිප ගැනීමේ දර්ශන වගේ දේවල්, ඒවයේ කොහොමද චරිත කැඩෙන්නේ කියලා සමහරු කියන්න පුළුවන්. හුස්ම චිත්‍රපටයේ තාරුකා, human errors නාට්‍යයේ නිශා වගේ චරිත ගත්තම ඒ චරිතවල පවත්වා ගෙන යන්න වෙනම දේවල් ටිකක් තියෙනවා. අභියෝගාත්මක කියන කාරණාවටත් වඩා වෙනස් පරාසයන්වල චරිත කරන්න මම කැමැතියි.
ඔබ ගොඩක් නිර්මාණවල පේන්න නැති වුණාට කරන නිර්මාණයේ කතා බහට ලක්වෙන නිළියක්. මේ ඔබේ සැලැස්මක්ද?
සැලැස්මකටත් වඩා මේක මම වැඩ කරන විදිහ. හැමදාම හැම වැඩකම පේන්න ඉන්න මම කැමැති නැහැ. ගොඩක් අය දන්නේ නෑ මේ ක්ෂේත්‍රයේ වටිනාකම හදාගන්න ඕනේ කොහොමද කියලා. අපේ ක්ෂේත්‍රයේ ඉන්නවා තමන්ගේ වටිනාකම හරි විදිහට හදාගත්ත පිරිසක්. මම කැමැතියි කතාබහට ලක් වෙන වැඩකටත් වඩා හොඳ වැඩක් කරන්න. මම කැමැති විවේකයක් අරගෙන කාලයකට සැරයක් හරි හොඳ දැනෙන වැඩකින් එළියට එන්න.
ඔහොම සීමා සහිතව වැඩ කරලා ජීවත් වෙන්න ආර්ථිකය ශක්තිමත්ද?
අපේ ක්ෂේත්‍රය හරි පොඩි ක්ෂේත්‍රයක්. එහෙම එක වැඩක් කරලා ඉන්න අමාරුයි. මම කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝ ඒ අතරේ කරනවා. ඒ වගේම මම ඉස්සර මුදල ගැන හිතන්නැතුව වැඩ කළාට දැන් මම මගේ වටිනාකම දෙනවා නම් විතරයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සැමියා නිසාත් මට ගොඩක් පහසුයි. එයා නැවේ ඉන්න කාලෙට මම ගොඩක් වෙලාවට වැඩ නොකර ගෙදර ඉන්නේ. එයා මේ දවස්වල ඉන්නේ ලංකාවේ. ඒ කාලේ මම එයාට දරුවා එක්ක ඉන්න ඉඩ දීලා වැඩ කරනවා.
සැමියා කවදාවත් ඔබේ රංගන ජීවිතයට ඇඟිලි ගහන්නේ නැද්ද?
නෑනේ. මටත් තියෙන ප්‍රශ්නය ඒක. මගේ විදිහ එයා හඳුනගෙන ඉන්නවා. එයා හොඳ ප්‍රේක්ෂකයෙක්. එයා වගේම මගේ සහ එයාගේ පවුලේ අයත් මං ගැන හොඳටම දන්නවා. මම කැමරාව ඉදිරියේ කරන්නේ චරිතයක්. එතැනින් එහා මම බිරියක්, අවුරුදු තුනක පුතෙක්ගේ අම්මා කෙනෙක්. නිර්මාණයක් හරියට කරලා ගෙදර එන බව මගේ සැමියා දන්නවා. ඒ නිසා මට අවශ්‍ය නිදහස ඔහු දීලා තියෙනවා.
ඒ නිදහස නිසා ඔබ තුළ ඉන්න රංගන ශිල්පිනියව මරන්නේ නැතුව ජීවත් කරන්න පහසු ඇති?
අනිවාර්‍යයෙන්. විවාහ වෙන්න කලින් මම ඔහුගෙන් ඇහුවා මම කරන වැඩ එක්ක අපි දෙන්නට විවාහ ජීවිතයක් ගත කරන්න පුලුවන්ද කියලා. ඔහු වැඩිපුර ලංකාවේ නෑ. අපිට අපි ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ පවුල් ජීවිතයක් හරියට ගෙනියන්න. අපි ලිවින් ටුගෙදර් ඉදලා විවාහ වුණ නිසා ඔහු මං ගැන දන්නවා. මම මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහ ඔහු දන්නවා. ඒ නිසා රංගන ශිල්පිනියවත් නැති කරගන්නේ නැතුව නිදහසේ ජිවත් වෙන්න මට පහසු වෙලා තියෙනවා.