ජෝන් ඒබ්‍රහම් ගැන ෂාරුක් කළ වර්ණනාව | Page 2 | සිළුමිණ

ජෝන් ඒබ්‍රහම් ගැන ෂාරුක් කළ වර්ණනාව

මේ කාලයේ වඩාත්ම කතාබහට ලක් වන බොලිවුඩ් නළුවන් අතර ජෝන් ඒබ්‍රහම් ද ඉදිරියෙන්ම සිටින කෙනෙක්. ඊට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් සමඟ ඔහු රඟපෑ ‘පතාන්’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය වීමයි. ජෝන් ඒබ්‍රහම් මෙහි රඟපෑවේ දුෂ්ටයකුගේ, එනම් ත්‍රස්තවාදියකුගේ චරිතයක්. නමුත් ඔහු එම චරිතය ඉතා විශිෂ්ට ආකාරයෙන් නිරූපණය කරනවා. ඒ නිසාම, එය දුෂ්ට චරිතයක් වුවත් බොහෝ සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ගෞරවය දිනාගන්නට ජෝන් සමත් වෙනවා. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයන්නට සමත් වූ චිත්‍රපටයත් ‘පතාන්’. මේ වනවිට එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 1,000 ඉක්ම වූ ආදායමක් උපයා තිබෙනවා. එය ලංකා මුදලින් රුපියල් කෝටි 4,000 කට ආසන්න ආදායමක්. 

‘පතාන්’ චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන ජිම් නමැති ත්‍රස්තවාදියකු සහ එය වැළැක්වීමට උත්සාහ කරන පතාන් නමැති ඉන්දියානු බුද්ධි නිලධාරියා අතර ගැටුමයි. ජෝන් ඒබ්‍රහම් තමයි ජිම්ගේ චරිතය නිරූපණය කරන්නේ. එය දුෂ්ටයාගේ චරිතය වුවත් චිත්‍රපටය තුළ එය ඉතාම වැදගත් සහ ප්‍රබල චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ජෝන් ඒබ්‍රහම් ඊට පණ දුන් ආකාරය ෂාරුක් ඛාන්ගේ පවා ප්‍රශංසාවට, වර්ණනාවට ලක්ව තිබුණා. පසුගිය දිනෙක ‘පතාන්’ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ෂාරුක් පවසා තිබුණේ ජිම්ගේ චරිතය ‘පතාන්’ හි කොඳු නාරටිය බවයි. ‘මට එකක් කියන්න අවශ්‍ය යි. එනම් ‘පතාන්’ හි කොඳු නාරටිය, ඒ වගේම චිත්‍රපටයේ හොඳම අංගය ජිම් බවයි’ ඔහු පවසා තිබුණා. ඒ විතරක් නොවෙයි, එම චරිතය ජෝන් විසින් රඟපානු ලැබීමත් චිත්‍රපටයට විශාල ආලෝකයක් ලබා දුන් බව ෂාරුක්ගේ අදහසයි.

චිත්‍රපටය තුළ ජෝන් රඟපාන්නේ ඉතා දරුණු, ගොරෝසු චරිතයක් වුවත් ෂාරුක් ඔහු හඳුන්වන්නේ ඉතා ලැජ්ජාශීලි, නිහඬ, සන්සුන්, හුදෙකලාව සිටින්නට කැමැති කෙනකු හැටියට යි. ඔහු මුම්බායි හි පදිංචියට පැමිණි කාලයේ පටන්ම තමාත්, ඔහුත් මිතුරන් වූ බව ද ෂාරුක් පවසා තිබුණා. ‘පතාන්’ චිත්‍රපටයට ජෝන් සම්බන්ධ වනු දකින්නට තමා ඉතා කැමැත්තෙන් සිටි බවත් ෂාරුක් පවසනවා. ‘ජෝන් මෙම චරිතය රඟපානු දකින්නට මා ඉතා කැමැත්තෙන් සිටියා. මෙම චරිතය දුෂ්ටයකුගේ චරිතයක්. එවැනි චරිතයක් භාර ගැනීමට තරම් ඔහු කාරුණික වුණා. ඔහු ඉහළම තලයේ සිටින තරුවක්. ඉතා උසස් මට්ටමේ ක්‍රියාදාම චිත්‍රපට රැසක් ඔහුගේ නම හා බැඳී තිබෙනවා. එසේ තිබියදීත් මෙවැනි දුෂ්ඨ චරිතයක් භාර ගැනීමට තීරණය කිරීම, එය ලොකු ආත්ම විශ්වාසයක් අවශ්‍ය වන කටයුත්තක්’ ෂාරුක් ජෝන්ව වර්ණනා කරමින් පවසා තිබුණා. හින්දි සිනමාව තුළ වීරයන්ගේ චරිත නිරූපනය කරන නළුවන් දුෂ්ටයන්ගේ චරිත නිරූපනය කිරීමට කැමැති වීම ඉතා දුර්ලභ බවත් ෂාරුක් පෙන්වා දෙනවා. ‘ඒ නිසා මම ජෝන්ට ඒ ගැන ඉතා ගෞරව කරනවා. ඒ වගේම ඔහු වැනි කෙනෙක් සමඟ චිත්‍රපටයක වැඩ කරන කොට ඔබට ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙනවා’ ෂාරුක් තව දුරටත් සඳහන් කර තිබුණා.

ජෝන් තමාට ඉතා කරුණාවෙන් සැලකූ බවත් ෂාරුක් පවසනවා. ‘ඔහු මට ඉතාම කරුණාවෙන් සැලකුවා. සටන් ජවනිකා ආදිය ඔහු මා සමඟ දවස් ගණන් පුහුණු වුණා. මම හිතුවේ ඔහුට වඩාත් හොඳින් පුහුණු වෙන්න අවශ්‍ය නිසා එච්චර පුහුණු වෙනවා කියලයි. නමුත් දවස් දෙක තුනක් යද්දී මට තේරුණා ඒක එහෙම නෙවෙයි කියලා. මට තේරුණා ඔහු ඒ තරම් පුහුණු වෙන්නේ මට අනතුරක් නොවීම සඳහා කියලා. පුහුණුව වැඩි වන තරමට මාත් ඊට හුරුවන බව ඔහු දැනගෙන සිටියා. ඔහු මට කරුණාවෙන් සැලකුවේ එහෙමයි’. 

‘පතාන් චිත්‍රපටය තිරගත වෙද්දී ජෝන්ගේ චරිතය කවුරුත් වඩාත්ම ඇළුම් කරන චරිතයක් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා’ සිනමාපටය තිරගත වීමට කලින් එක්තරා අවස්ථාවක ෂාරුක් පවසා තිබුණා.

කෙසේ නමුත් චිත්‍රපටයේ සංස්කරණය කළ අවසන් පිටපත සම්බන්ධයෙන් ජෝන් තුළ එතරම් ප්‍රසාදයක් නොතිබුණු බවටත් කලකට පෙර කතාවක් පැතිරුණා. අවසානයේ තිරය මත දිස්වන කතාව අධ්‍යක්‍ෂවරයා ඔහුට මුලින් පැවසූ කතාවට වඩා වෙනස් වීම නිසා ඔහු තුළ යම් නොරුස්නාකමක් ඇතිව තිබූ බවයි පැවසුණේ.

මේ වනවිට 50 වැනි වියෙහි පසුවන ජෝන් සිනමා රංගනයට එක් වූයේ 2003 වසරේ යි. ඔහු මුලින්ම රඟපෑවේ න්‍සිප නමැති චිත්‍රපටයේ යි. එය ශෘංගාරාත්මක සිනමාපටයක්. ජනප්‍රිය නිළියක වූ බිපාෂා බාසු සහ ජෝන් අතර කලකට පෙර පැවැති ප්‍රේම සම්බන්ධයත් විශාල අවධානයක් දිනාගත්තා. 2002 වසරේ ඔවුන් දෙදෙනා මුල් වරට හමු වූයේත් න්‍සිප චිත්‍රපටයේ රඟපාද්දී යි. එකල මාධ්‍ය ඔවුන් හැඳින්වූයේ ‘සුපිරි ජෝඩුව’ යනුවෙන්. කෙසේ නමුත් වසර නවයකට පසු 2011 වසරේ ඔවුන්ගේ සම්බන්ධය අවසන් වුණා. මේ වනවිට ජෝන් විවාහකයකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයකු වන ප්‍රියා රන්චාල් සමඟයි. ඔවුන්ගේ විවාහය සිදු වූයේ 2014 වසරේයි.

චිත්‍රපටවල රඟපෑමට අමතරව ජෝන් ශාරීරික යෝග්‍යතා නිරූපණ ශිල්පියකු fitness model ලෙසත් කටයුතු කරනවා. මේ නිසා ඔහු දුම්බීමෙන් සහ මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින බවත් සඳහන්.

Comments