මුරලි චිත්‍රපටයේ වැඩ අවසන් | සිළුමිණ

මුරලි චිත්‍රපටයේ වැඩ අවසන්

 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් ඉන්දියානු සිනමාපටයක් නිර්මාණය කිරීම සඳහා පැවැති සූදානමක් ගැන මෙයට වසර කිහිපයකට පෙර විශාල අවධානයක් යොමු වුණා. මේ ගැන මුලින්ම කතාබහක් ඇති වුණේ 2020 වසරේ යි. මෙම චිත්‍රපටය නම් කර තිබුණේ ‘800’ යන නමින්. එයට එම නම දී තිබුණේ මුරලිදරන් විසින් බිඳ හෙළන ලද වාර්තාගත ටෙස්ට් කඩුළු සංඛ්‍යාව සිහිවනු පිණිස යි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, එනම් මුරලිගේ චරිතය නිරූපණය කිරීමට තෝරාගෙන තිබුණේ දකුණු ඉන්දියානු සිනමාවේ ඉතා ජනප්‍රිය මෙන්ම දක්‍ෂතම රංගන ශිල්පියකු වන විජේ සේතුපති.

කෙසේ නමුත් එම අවස්ථාවේ මෙම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. ඊට හේතු වූයේ මෙම සිනමාපටයට සහ විජේ සේතුපති එහි රඟපෑමට එරෙහිව ඉන්දියාවේ දෙමළ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම්වලින්, දේශපාලනඥයන්ගෙන් සහ සිනමාවට සම්බන්ධ ඇතැම් උදවියගෙන් ද විරෝධයක් එල්ල වීමයි. ‘800’ ට එරෙහිව එවැනි විරෝධයක් එල්ල වූයේ ලංකාවේ සිවිල් යුද්ධයේදී මුරලිදරන් දෙමළ ජනතාවගේ පැත්ත නොව රජයේ පැත්ත ගත්තාය යන චෝදනාව නිසා යි. එමෙන්ම ඔහු රාජපක්‍ෂ පවුලේ අයට සහාය දක්වන බවටත් චෝදනා එල්ල වුණා. මෙම තත්ත්වය තුළ මුරලිදරන් ගැන ඉන්දියාවේ මෙවැනි සිනමාපටයක් නිර්මාණය කිරීම ගැන ඉහත කී පාර්ශ්ව තුළ ප්‍රසාදයක් තිබුණේ නැහැ. එම අවස්ථාවේ තමාගේ පැත්තෙන් කරුණු දැක්වීමට මුරලිදරන් කටයුතු කළා. තමාගේ දෙමළ මූලයන් ගැන සිහිපත් කරමින් ඔහු පැවසුවේ තමා කිසිදු අවස්ථාවක ලංකාවේ දෙමළ ජනතාවට අගෞරවයක් වන ආකාරයෙන් ක්‍රියා නොකළ බවයි. නමුත් ඉහත කී විරෝධතාකරුවන් ඔහුගේ අදහස්වලට කන් දුන් බවක් පෙනුණේ නැහැ. ඔවුන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් අවසානයේ විජේ සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වීමට පියවර ගත්තා. ඒ සමඟම ‘800’ චිත්‍රපටයේ කටයුතු අතරමඟ නතර වුණා.

කෙසේ හෝ වේවා, මෙම සිනමාපටය ගැන මේ දිනවල ඉන්දියානු මාධ්‍ය තුළ නැවතත් විශාල අවධානයක් යොමුව තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ මෙම සිනමාපටයේ කටයුතු නැවත ආරම්භ කිරීමට ඊට සම්බන්ධ පාර්ශ්ව පසුගිය කාලයේ පියවර ගෙන ඇති බවයි. චිත්‍රපටය පිළිබඳව පළමු වරට කෙටි ප්‍රචාරක පටයක් එළි දැක්වීමට ද ඔවුන් කටයුතු කර තිබුණා. එය එළිදක්වා තිබුණේ මුරලිදරන්ගේ උපන් දිනය යෙදී තිබූ අප්‍රේල් 17 වැනි දින යි. ඔහුට දැන් වයස අවුරුදු 51 ක්.

මෙම ප්‍රචාරක පටයේ පෙනී සිටින්නේ මධූර් මිත්ල්. විජේ සේතුපති ඉවත් වීමෙන් පසු මුරලිදරන්ගේ චරිතය නිරූපණය කිරීම සඳහා නිෂ්පාදකයන් තෝරාගෙන තිබුණේ ඔහු යි. මධූර් මෙයට පෙර රඟපෑ චරිත අතරින් ‘ස්ලම්ඩෝග් මිලියනයර්’ (Slumdog Millionaire) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ සලිම් මලික්ගේ චරිතය විශාල අවධානයක් දිනාගත්තා.

‘800’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ එම්. එස්. ශ්‍රීපති. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වීම දක්වා මුරලි පැමිණි ගමනේ අප්‍රකට කතා රැසක් මෙම සිනමාපටය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටින සිනමාපටයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම සිනමාපටයේ මුරලිදරන්ගේ චරිතය නිරූපණය කරන්නට ලැබීමේ සතුට ගැන මධූර් ඔහුගේ ට්විටර් පිටුවේ සටහනක් යොදා තිබුණා. ‘ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය කිරීම සඳහා අවස්ථාව ලබා දීම ගැන මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ මවගේ ද උපන් දිනය වන ඔහුගේ උපන් දිනය දවසේ එහි පළමු ප්‍රචාරක පටය නිකුත් කිරීම මට තවත් විශේෂ අත්දැකීමක් වුණා. ‘800’ ළඟදීම දෙමළ, තෙලිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමාශාලාවලට පැමිණෙනු ඇති’ මධූර් එහි සදහන් කර තිබෙනවා.

මේ වනවිට 32 වැනි වියෙහි පසුවන මධූර් සිනමා රංගනයට එක්ව තිබුණේ කුඩා කාලයේම යි. ළමා නළුවකු ලෙස ඔහු හින්දි චිත්‍රපට කිහිපයක රඟපා තිබුණා. මේ වනවිට ඔහු චිත්‍රපටවල මෙන්ම රූපවාහිනි නාට්‍යවලත් රඟපානවා. මධූර් දකුණු ඉන්දියානු නළුවකු නොවෙයි. දෙමළ දේශපාලනඥයන්ගෙන් දකුණු ඉන්දියානු නළුවකු වූ විජේ සේතුපති වෙත එදා එල්ල වූ පීඩනය මධූර් වෙත එල්ල නොවන්නට එය හේතුවක් වන්නට ඇති.

මුරලිගේ බිරිඳ වන මදි මලර්ගේ චරිතයත් ‘800’ චිත්‍රපටයට ඇතුළත් බව සඳහන්. ඇයගේ චරිතය නිරූපණය කරන්නේ දකුණු ඉන්දියානු නිළියක වන මහීමා නම්බියාර් බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මහීමා වැඩි වශයෙන්ම රඟපාන්නේ දෙමළ සහ මලයාලම් සිනමාපටවලයි.

මේ වනවිට චිත්‍රපටයේ රූපගත කිරීම් බොහෝ දුරට අවසන්ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. එහි රූපගත කිරීම් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල සිදු කර ඇති බව සඳහන්. ලබන වසරේ මුල් භාගයේ එය තිරගත වීමට නියමිතයි. දෙමළ, හින්දි, තෙලිඟු සහ ඉංග්‍රීසි යන භාෂාවලින් එය ප්‍රදර්ශනය වනු ඇති බව පැවසෙනවා.

Comments