ජීවිතේ එක එක කාලවලදි එක එක හීන තිබුණා | Page 2 | සිළුමිණ

ජීවිතේ එක එක කාලවලදි එක එක හීන තිබුණා

 

ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ හියුමන් එරස් හි දේවි කියන චරිතයට පණ පොවමින් කලාවට පිවිසි ඇය සුලෝ හැරපත්දෙනිය. මෙවර රසඳුන කතාබහ ඇය සමඟයි.

 

ඔබේ පවුලේ තොරතුරු ගැන කිවුවොත්?

මගේ උපන්ගම සහ ළමා කාලය ගෙවෙන්නෙ රත්මලානෙ. ඊට පස්සේ ඒ කියන්නේ මට අවුරුදු 22දී පවුලේ හැමෝමත් එක්ක නාත්තන්ඩියේ පදිංචියට යන්න වෙනවා. ඒත් එහේ ඉන්න අමාරු නිසා මම තනියම කොළඹ එනවා. එහෙම ඇවිත් දැන් ඉන්නෙ හෝමාගම. මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි. පළමු ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තෙ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ.

 

පාසලේදී කලා කටයුතුවලට සම්බන්ධ ද?

නැහැ. මං කිසිම විදිහකින් ඒ කාලේ කලාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒක එහෙම වුණත් කලාවට මගේ හිතේ ආසාවක් තිබුණා. උත්සාහ කළා. ඒත් මට එහෙම අවස්ථා හමුවුණේ නැහැ. ආසාවට සාමාන්‍ය පෙළට නාට්‍ය හා රංගකලාව විෂයක් විදිහට කළත් සාමාන්‍ය පෙළ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ඇරෙන්න මං අඩුම තරමේ පාසල් නාට්‍යයකටවත් සම්බන්ධ වෙලා ඉඳලා නැහැ.

 

කොහොමද කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ?

ඒ ආසාව ආයෙමත් මගේ හිතට එන්නෙ ගිය අවුරුද්දේ. මං 2022 රූපවාහිනී අවුරුදු කුමරිය සඳහා ඉදිරිපත් වෙනවා. එහි මූලික වටවලදිම නලින් මාපිටිය මහත්මයා මට ටෙලි නාට්‍යයක් සඳහා කතා කරනවා. නමුත් ඒ කාලේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක රූපගත කිරීම් කරන්න බැරි වෙනවා. ඉන් පසුව ඔහුම මාව මාදනී මල්වත්තගේ මහත්මිය සහ තිළිණි වීරසිංහ මෙනෙවිය විසින් මෙහෙයවනු ලබන ඩිතිරැම්බය නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා නාට්‍ය ගැන ඉගෙන ගන්න කියලා දැනුම්වත් කරනවා. එහිදී මම මගේ පළවෙනි වේදිකා නාට්‍ය අත්දැකීම ලබා ගන්නවා. ඉන් අනතුරුව මට සුපුන් රත්නායක අයියගේ හියුමන් එරස් හා සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවෙන් මං ස්තූතිවන්ත වෙන්න ඕනෙ චානු දිසානායකට. ඔහු නිසා තමයි මට සුපුන් අයියව අඳුරගන්න පුළුවන් වෙන්නෙ.

 

මුල්ම ටෙලිනාට්‍ය රංගනය වෙන්නේ

හියුමන් එරස් හි දේවි කියන චරිතය. ඒක මේ දවස්වල හැම සෙනසුරාදාවකම රෑ 10ට ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශනය වෙනවා.

 

කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මේක මගේ අම්මා මං වෙනුවෙන් දැක්ක හීනයක්. අම්මා හරි ආසාවෙන් හිටියා අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි කලාවට සම්බන්ධ වෙනවාට. මේ හැමදේම අම්මා වෙනුවෙන් තමයි.

 

ආදරය සහ විවාහය ගැන සුලෝ දකින්නේ කොහොමද?

ආදරය තමයි මේ ලෝකෙ තියෙන සංකීර්ණම මාතෘකාව මගේ විදිහට නම්. බහුතරයක් මිනිස්සු මේ ලෝකෙට එන්නෙම ආදරේ නිසා. ඉතින් එහෙම ආපු අපිට ජීවිතේ ගෙනියන්න ආදරේ ඕනේ. අපි වටා ආදරේ කරන පිරිසක් ඉන්නම ඕනෙ. විවාහය කියන දේ දි ආදරේ විතරක් තිබිලා මදි ඇත්තටම. විවාහයත් එක්ක අපිට යුතුකම්, වගකීම් කියන දෙකක් එකතු වෙනවා. යුතුකම්, වගකීම් නිවැරැදිව ඉටු කරන්න අමාරුයි නම් විවාහ නොවී ඉන්න එක තමයි හොඳම දේ මම දකින විදිහට.

 

ඔබේ ජීවිතේ සහකරු ගැන කිවුවොත්?

ඔහු වෘත්තීමය ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. මොන දේ වුණත් හැමදේටම මගේ ළඟ ඉන්න එකම කෙනා තමයි ඒ. ඔහුට ක්ෂේත්‍රයේ තියෙන පළපුරුද්දත් එක්ක ඔහු බලන්නේ හැමවෙලාවෙම හොඳම දේ වෙනුවෙන් මාව යොමු කරන්න.

 

ඉදිරියට තව නිර්මාණවලට ඇරැයුම් ලැබුණද?

ඉදිරියේදි ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටි වෙනුවෙනුත් ආරාධනා ලැබිලා තියෙනවා. සිනමාවත් එක්ක සම්බන්ධ වෙන්න ලැබෙනවා කියන්නෙ මගේ ජීවිතේ තවත් එක් හීනයක් හැබෑවීමක්.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

මම ජීවිතේ මහලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒත් පොඩි ආසාවක් තියෙනවා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම මේ පටන් ගත්ත ගමනේ කවදහරි හොඳ අවසානයක බලාපොරොත්තුවත් තියෙනවා.

 

 

Comments