
මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 7.30 ට විකාශනය වන ජානු නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර වැඩි කතාබහක් ඇති කරපු නිර්මාණයක්. මෙය තරුණ අධ්‍යක්ෂවරයකු වූ හසුන් සමීර අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ ඔහුගේ නවතම ටෙලි වෘතාන්තය. “ජානු” ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයක්. මෙහි එන චරිත අතරේ මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙන්නේ අල්පොන්සුගේ චරිතය. ඒ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ද ජනප්‍රිය, කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක් වන එස්.අයි සමරක්කොඩි. ඔහු සැබවින්ම විවිධත්වයෙන් යුතු කලා හැකියාවන් රැසකින් පොහොසත් චරිතයක්.
මේ දවස්වල අල්පොන්සු නිසා හරි ජනප්‍රියයි නේද?
ඇත්තම ඇත්ත. අල්පොන්සු ගොඩක් ජනප්‍රියයි. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ මම හිතනවා මම ඒ චරිතයට රංගන ශිල්පියෙක් විදිහට උපරිම සාධාරණයක් කරනවා කියලා. ඒ නිසා තමයි සමහර අයගේ දෝෂාරෝපණ සමහර අයගේ ඇනුම් බැණුම් සහ සමහර අයගේ ආදරණීය ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ ගැන මම නිහතමානිව සතුටු වෙනවා. මම හැමදාම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න.
කොහොමද ඔබට අල්පොන්සු වෙන්න අවස්ථාව ලැබුණේ?
ඇත්තටම මම රංගන ශිල්පියෙක් විදිහට කරන්නේ සමාජය තුළදී පවා මිනිසුන් ලැබුණාම අධ්‍යයනය කරන එක. එක එක හැසිරීම් රටා අධ්‍යයනය කරනවා. මම විශ්වවිද්‍යාලයේ නිබන්ධනයට පවා කරලා තියෙන්නේ සාර්ථක චරිත නිරුපණය සඳහා මානව හැසිරීම් අධ්‍යයනයේ ඵලදායිතාව ගැන. ඒ කියන්නේ නළුවෙක්ට සිදු වෙනවා විවිධ චරිත කරන්න. අද ලොකු මහත්තයෙක් විදිහට ඉඳලා හෙට හිඟන්නෙක්ගේ චරිතයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා විවිධ චරිත රඟපාද්දී ඒ චරිතයට අදාළ චරිත ලක්ෂණ කොහොමද නිරූපණය කරන්නේ කියන එක අදහසක් තමයි අපි මිනිසුන් අධ්‍යයනය කිරීම තුළින් ලබන්නේ. ඒ නිසා මේ පිටපත මට ලැබුණාම ඉතා හොඳින් මේ චරිතය මට ග්‍රහණය කර ගන්න පුළුවන් වුණා. ඒ එක්කම හසුන් සමීර කියන අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
හිතුවද මේ තරම් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට එන්න පුළුවන් වෙයි කියලා?
පිටපත කියවද්දිම සහ සමීර මට මේ චරිතය ගැන කියද්දීම මම හිතුවා අනිවාර්යයෙන්ම මේක මිනිස්සු අතරට යන චරිතයක් බවට පත් වෙයි කියලා. රංගන ශිල්පියෙක් විදිහට විවිධාකාර වූ චරිත රඟපාන්න මම හරි කෑදරයි. ඒ කෑදරකම අස්සේ පිපාසයෙන් ඉන්න මනුස්සයෙක්ට වතුර ටිකක් දුන්නාම ඉතා ආදරෙන් බොනවා වගේ තමයි. මේ වගේ චරිතයක් ලැබුණාම ඉතාම ආසාවෙන් මම රංගනයේ යෙදෙනවා. අනිත් එක මේ නාට්‍යයේ එන චරිතවල සිදුවීම් අපේ රටේ මිනිසුන්ගේ ජිවිත වලට සමීප සිදුවීම්. තමාට සමීප ඒවා ඉක්මනින් ග්‍රහණය කර ගන්නවා. කළු මිනිහෙක්ට ආදරේ හිතෙන්නේ නැද්ද? කළු මනුස්සයෙක්ට ප්‍රධාන චරිතයක් රඟපාන්න බැරිද වගේ හිතන්න පුළුවන්. මම කළුයි කැතයි කියලා ප්‍රතික්ෂේප වූ අවස්ථා ගොඩක් තියෙනවා. ඒ සියල්ල මැද අද මම ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒ චරිතයට මිනිස්සු ආදරේ කරනවා.
ඔබ වේදිකාවේ දස්කම් දක්වන රංගන ශිල්පියෙක්. කොහොමද වේදිකාව සහ පුංචි තිරය දැනෙන්නෙ?
මේ ගත වෙන්නේ මම මේ ක්ෂේත්‍රයට ඇවිත් 23 වෙනි වසර. මම වේදිකාවෙන් ආව කෙනෙක්. හුණුවටයේ කතාව, කැලණි පාලම, කුවේණි, ගොළු බිරිඳ වගේ වේදිකා නාට්‍යය ගණනාවක රඟපාලා තියෙනවා. ලංකාවේ පළවෙනි දෙබස් නැති නාට්‍යය මගේ. ඒ “ලව් ඇන්ඩ් ලයිෆ්”. දෙපාරක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් නාට්‍ය උලෙළවල් කිහිපයකට ගිහින් තියෙනවා. ඒ එක්කම ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක මම රඟපාලා තියෙනවා. ඒ වගේම වේදිකාව, පුංචි තිරය සහ සිනමාව කියන තුනේ වෙනස මම හොඳින් හඳුනාගෙන තියෙනවා. එක අවස්ථාවක මට ලැබෙනවා මේ මාධ්‍ය තුනේම මානසික රෝගියකුගේ චරිතය රඟපාන්න. ඒ ප්‍රේමය නම් චිත්‍රපටය, මකරා වේදිකා නාට්‍යය සහ වන්වේ නාට්‍යය තුළ.
එදා මෙදාතුර කලාවෙන් ලැබුණු ඇගයීම් මොනවාද?
මායබන්ධන වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍යය උලෙළේ හොඳම සහාය නළුවට නිර්දේශ වෙලා තියෙනවා. ඒ එක්කම ජූරියේ විශේෂ රංගන කුසලතා සහතික මට ලැබිලා තියෙනවා. ඒ එක්කම ‘ලව් ඇන්ඩ් ලයිෆ් කියන නාට්‍යය වෙනුවෙන් හොඳම නාට්‍යය අධ්‍යක්ෂණය සහ රචනය වෙනුවෙන් ජූරියේ විශේෂ කුසලතා ලැබිලා තියෙනවා. ඉන්දියාවේ ජාතික වේදිකා නාට්‍ය උලෙළේ දී සහ කේරළ නාට්‍යය උලෙළේ දී “ලව් ඇන්ඩ් ලයිෆ්“ කියන නාට්‍යය වෙනුවෙන් විශේෂ ඇගැයීමක් ලැබිලා තියෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
නාට්‍ය අටක් එන්න තියෙනවා. ඒවායේ එකිනෙකට වෙනස් වූ චරිත අටක් මම කරලා තියෙන්නේ. ඒ ගැන අහිංසක සතුටක් මගේ හිතේ තියෙනවා. මට ඒකාකාරී චරිත ලැබිලා නැහැ. අප්‍රේල් මාසයේ විකාශය වෙන්න නියමිතයි රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන ලද ලව් බෝන් ඉන් ද හාර්ට් නාට්‍යය. ගෙදරක වැඩකාර චරිතයක් කරන්නේ. ඒ වගේම මැයි අග වෙද්දී දෙරණ නාලිකාවේ විකාශය වෙනවා ශර්මිලා ධර්මදාස අධ්‍යක්ෂණය කරන රෝස ටෙලි නාට්‍යය. ඒවගේම චන්දන හේවාපතිරණගේ අදිසි නදිය කියන නාට්‍යය තුළ මම වෙනමම චරිතයක් කරනවා. සමීර කපුකොටුවගේ අපි කියන නාට්‍යයේ චණ්ඩි අයියා කෙනෙක් විදියට රඟපානවා. චන්දන ඉරුගල්බණ්ඩාර කරපු වියළි ටෙලි නාට්‍යයේ ගමේ ඉන්න අමුතු අහිංසක මනුස්සයෙක් විදිහට රඟපානවා.
ඔබේ බිරිඳත් රංගන ශිල්පිනියක්. කොහොමද ඇයගෙන් ලැබෙන සහයෝගය
මගේ ආදරණීය බිරිඳ රවින්ද්‍යා අමරසිංහ. ඇයත් ටෙලි නාට්‍ය තුන හතරක රංගනයෙන් දායක වෙලා තියෙනවා. එයා මේ වෙද්දී හඳපාන්ගොඩ සරුපා සැලෝන් කියන නමින් සැලෝන් එකක් කරගෙන යනවා. එයාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇය තමයි මගේ හොඳම විචාරකයා. එයා හැමවෙලාවෙම මම කරන චරිතවල හොඳ පැත්තට වඩා මගේ අඩුපාඩු දකින කෙනෙක්. මම බලාපොරොත්තු වෙන්නෙත් ඒක. එතකොට තමයි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්.