පෙම්වතාට පණ වගේ ආදරේ කරන පෙම්වතියක් සතු ලක්‍ෂණ 5ක් | Page 4 | සිළුමිණ

පෙම්වතාට පණ වගේ ආදරේ කරන පෙම්වතියක් සතු ලක්‍ෂණ 5ක්

තම සැමියාට, පෙම්වතාට හොඳ ආදරවන්තියක් වෙන්න තරුණියන් හැමෝම කැමතියි. ඒ වගේම ඒ වගේ ආදරවන්තියක් ලබන්න පිරිමිත් ගොඩාක් කැමති. හැබැයි ආදරේ කරනවා කියන එක ඒ තරම් සරලව හිතන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ආදරේ සුන්දරයි කිව්වට ඒ සුන්දරත්වය නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්න නම් දෙන්නගෙම හැසීරීම බලපානවා. ඒ වගේම තමයි හොඳ පෙම්වතියක් වෙන්න නම් කෙල්ලෙක් ළඟ තියෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ පෙම්වතාට පණ වගේ ආදරේ කරන හොඳ පෙම්වතියක් සතුව තිබිය යුතුම ලක්‍ෂණ කිහිපයක් පිළිබඳවයි. 

1. අතීතය හාර අවුස්සන්නේ නැහැ

පෙම්වතියක් විදියට ඔයා අනවශ්‍ය විදියට නිතරම අතීතය හාර හාර අවුස්සන කෙනෙක් නම් ඉතින් ඒ සම්බන්ධතාවයේ තියෙන්නේ හැමදාම ප්‍රශ්න විතරයි. සම්බන්ධතාවය පටන් ගනිද්දී ඔහුගේ අතීතය ගැන හොයලා බැලුවත් ඒවා සැරින් සැරේට මතක් කර කර අතීතය ගැන අහන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. හොඳ පෙම්වතියක් නම් මුල් තැන දෙන්නේ වර්තමානයට සහ ඔයාලා දෙන්නගේ අනාගතයට විතරයි.

2. ආදරේ කියන්නේ අයිතිකර ගැනීමට නෙවෙයි කියලා ඔයා දන්නව ද?

ආදරේදී අපි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය වගේ දේවල්. හැබැයි ඉතින් ආදරේ වෙනුවට ඔයා එයාව පාලනය කරන්න යනවා නම්, ඔහුට අණ දෙන්න යනවා නම් ඔයාගේ අතින් ආදරේ කියන දේ ගිලිහිලා යන්න පුළුවන්. එයාව අයිති කර ගන්න දඟලනවට වඩා එයාට උපරිමෙන් ආදරය කරනවා නම්, සෙනෙහස දෙනවා නම් එයා හැමදාමත් ඔයාගේ ළඟ රැඳෙනවා.

3. දෙන්නගෙම සතුට ගැන හිතනවා

හොඳ පෙම්වතියක් නම් හැම විටම ඔයාලා දෙන්න අතරේ සතුට කියන දේ රඳවා ගන්න උත්සහ කරනවා. ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවස්ථා හැකි තරම් අවම කරගෙන සතුට රැකගෙන බැඳීම් ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන්න. සතුටින් ඉන්න කියලා විශේෂ දේවල් කරන්න අවශ්‍ය නැහැ.

4. ප්‍රශ්නයක් වුණාම විසඳුම් සෙවීම

ප්‍රශ්න කියන දේවල් නම් ඉතින් අපි හැමෝටම අඩුවක් නැතුව හැමදාමත් තියෙන දෙයක්නේ. ආදරේ කරද්දීත් ඉතින් ප්‍රශ්න වල අඩුවක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මෙහෙම ඇති වෙන ප්‍රශ්න තව වැඩි කර ගන්නේ නැතුව විසඳගන්න ඔයා උත්සාහ කරනවා නම් ඇත්තටම ඔයා බුද්ධිමත් පෙම්වතියක් කියලා කියන්න පුළුවන්.

5. ඉටුවිය යුතු වගකීම් හරිහැටි ඉටු කරනවා

ඔහු යන්නේ කොහෙද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියන එක හොයල බලන එක ඇත්තටම වැදගත්. එක අතකින් ඒක ඔයාගේ වගකීමක්. හැබැයි හොයලා බලනවා කියන්නේ සැක කරනවා කියන එක නෙවෙයි. සමහර අය ඉතින් හොයලා බලන්නේ කිසිම වැඩකට නැති බොරු හේතු, මනස්ගාත හිතේ තියාගෙනනේ. අවංකවම ඔයා එයා ගැන හොයලා බලනවා නම්, වද වෙනවා නම් ඇත්තටම ඔයා හොඳ පෙම්වතියක්.

(අන්තර්ජාලය ඇසුරෙනි)

Comments