
මේ දිනවල ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියන “හිත ළඟ හිනැහුණා“ නාට්‍යය. මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් රසාංග පෙරේරා නම් තරුණ අධ්‍යක්ෂකවරයායි. නව පරපුරේ දක්ෂතා සපිරි ප්‍රදීප් සමඟ කළ කතා බහයි මේ....
ප්‍රදීප් කොහොමද කලාවට එන්නේ
මම පාසල් ගියේ මොරටුව වේල්ස් කුමර විදුහලට. පාසලේදී නාට්‍යය හා රංග කලාව විෂය හැදෑරුවේ තිස්ස ගුණවර්ධන සර් යටතේ. ජගත් චමිල, රුක්මල් නිරෝෂ්, චාමර ජයවීර, විරාජ් වැලිවත්ත, නිවන්ත ප්‍රසාර, ටොලමි මේ හැමෝම තිස්ස සර්ගේ ගෝලයෝ. ඉතින් සර්ගෙන් ඉගෙන ගත්ත ගමන තමයි මේ තරම් දුරක් ආවේ. චාමර ජයවීර අයියා මාව සිරසට සම්බන්ධ කළා. එතැනින් අරුණ අයියාව හඳුනාගත්තා. සිරසේ ගිය රජ කඩුව නාට්‍යය සහ විදර්ශනා නාට්‍යයයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළා. ඒ වගේම රුක්මාල් නිරෝෂ් අයියගෙන් මම සංස්කරණය පැත්ත ඉගෙන ගත්තා. ඊට පස්සේ ස්වරණවාහිනී ආයතනයෙත් කලක් සේවය කළා. සිරසේ සහ ස්වරණවාහිනීයේ වැඩ කළාට පස්සේ මට හිතුණා නාලිකා වලින් අයින් වෙලා මගේම නිර්මාණ කිහිපයක් කරන්න කාලේ හරි කියලා.
එහෙම නාලිකා වලින් එළියට ඇවිත් කරපු පළවෙනි නිර්මාණය මොකක් ද?
මුලින්ම අධ්‍යක්ෂණය කළේ ස්වරණවාහිනීයේ විකාශය වුණු “බස් එකේ ඉස්කෝලේ“ කියන නාට්‍යය. ඊට පස්සේ ටෙලි චිත්‍රපට කිහිපයක් සහ ඒකාංගික නාට්‍යය කිහිපයක් කළා. එතනින් පස්සේ තමයි “හිත ළග හිනැහුණා“ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න සිරසෙන් මට ආරාධනා කළේ.
“හිත ළඟ හිනැහුණා“ නාට්‍යය මුලින්ම අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක රත්නායක?
ඔව්. මට සිරසෙන් කතා කරලා මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න කියලා භාර දෙනකොට මුල් කොටස් 60 ධනුෂ්ක රත්නායක විසින් කරලා තිබුණේ. මම මේ වෙද්දී කොටස් තුන්සියකට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. එහෙම මැදින් නාට්‍යයක් අරන් කරනවා කියන එකත් ලොකු වගකීමක්. සිරස ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව දුන්නට.
කොහොමද මේ වෙද්දී “හිත ළග හිනැහුණා“ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර
මෙතැනදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මහේෂ් රත්සර මද්දුමආරච්චි කියන රචකයාව. මම ගොඩක්ම වාසනාවන්තයි ඒ වගේ රචකයෙක් ට එහා ගිය හොඳ මනුස්සයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු එක. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේ අය තමයි ලංකාවේ කලාවට අවශ්‍ය වෙන්නේ. ඔහුගේ පිටපත ගැන අපිට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔහුගේ පිටපතට මම උපරිම සාධාරණයක් ඉටු කරන්න උත්සහ කරනවා. “හිත ළඟ හිනැහුණා“ කියන්නේ මෙගා නාට්‍යයක් වුණාට එතැනින් එහාට ගිය ලස්සන කතාවක් තියෙන නාට්‍යයක්. ආසාවෙන් අධ්‍යක්ෂණය කරනවා. ප්‍රේක්ෂකයින්ගේ ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි.
මේ නාට්‍යය හරහා ඔබ ජේෂ්ඨ පරම්පරාවේ පිරිස එක්ක වගේම අලුත් පරම්පරාවේ අය එක්කත් වැඩ කරනවා. කොහොමද ඒ අත්දැකීම?
සරත් අයියා, දමිතා අක්කා, කුමාර අයියා වගේ ප්‍රවිණ අය වගේම ඊට පස්සේ පරම්පරාවේ උදිත්, දිලිනි, අංජලි වගේ අය සහ එතැනුත් එහාට අලුත් පරම්පරාවේ අයත් වැඩ කරනවා. මම අධ්‍යක්ෂණයේදී ගොඩක් වෙලාවට බලන්නේ මේ අය සතු රංගන හැකියාව නිර්මාණයට අදාලව මතු කර ගන්නේ කියන කාරණාව. ඉතින් තරුණ පරම්පරාව ගත්තම අපිට තියෙන්නේ ඒ අයගේ මොරාල් එක අපි අප් කරන්න. අපි කරපු නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර එක්ක සතුටුයි. ඒ තරුණ පරම්පරාවේ අයත් ප්‍රවීණයින් සමඟ කරට කර රඟපානවා. ඒ කැපවීම උනන්දුව මගේ නාට්‍යය තුළ ඉන්න ළමයි තුළින් මම දකිනවා.
මේ කාලේ “හිත ළඟ හිනැහුණා“ නාට්‍යය විතරයි ද ඔබේ නිර්මාණ විදියට තියෙන්නේ?
එක දිගටම පහුගිය ටිකේ “හිත ළඟ හිනැහුණා“ නාට්‍යයේ රූපගත කිරීම් තිබ්බා. ඉදිරියට තව නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම මේ වෙනකම් කරපු හැම නිර්මාණයක්ම වගේ ඉක්මණින් විකාශය වුණා වගේම මට සතුටු විය හැකි ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා හරි පරිස්සමෙන් හරි දෙයක් කරන්නයි මට ඕනේ.
ඔබ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙක් වෙන්න ද සිහින දැක්කේ?
ඇත්තටම ඔව්. අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි මම හීන මැව්වේ. අරුණ ජයවර්ධන අයිය Director සීට් එකේ මුලින් මාව වාඩි කළේ. එතැනට අවශ්‍ය කරන දේවල් සෑහෙන්න කාලයක් තිස්සේ එක් රැස් කළා. එහි ප්‍රතිපලයක් විදියට තමයි අද අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන්නේ.
අපි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා කළොත්?
මම මේ වෙද්දී විවාහකයි. මගේ බිරිඳ රංගන ශිල්පිනියක්. ඇයගේ ඉරේෂා තෙන්නකෝන්. මා එක්ක විවාහ වුණාට පස්සේ නම් රඟපෑවේ නැහැ.
ඔබේ නාට්‍යයට ඇයව සම්බන්ධ කර ගන්න අදහසක් නැද්ද?
මගේ නාට්‍යයවල එයාට ගැලපෙන චරිතයක් තිබුණේ නැහැ. මගේ බිරිඳ නිසා එයාව දාන්න මම කැමති වුණේ නැහැ. එයත් එහෙම සම්බන්ධ වෙන්න කැමැත්තක් නැහැ. නමුත් මගේ නිර්මාණයක වුණත් ඇයට ගැලපෙන චරිතයක් තිබ්බොත් මම ඇයව සම්බන්ධ කර ගන්නවා.
කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය
මගෙත් එක්ක ජිවත් වෙන්න හරි අමාරුයි. මාව තේරුම් අරන් ඉන්න නිසා එයා ඉන්නවා. මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. අද මම සාර්ථකව යම් නිර්මාණයක් කරනවා නම් එහි සම්පුර්ණ ගෞරවය ඇයට හිමි වෙන්න ඕනේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
තව එක නිර්මාණයක් මේ අවුරුද්ද තුළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම සෝෂල් මිඩියා හරහා සෝෂල් මිඩියා වලට පමණක් නාට්‍යය කිහිපයක් කරන්නත් අදහසක් තියෙනවා.