
බොලිවුඩයේ දස්කම් පාන ශ්‍රී ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වූ නිළියක්. නමුත් ඇය ඒ ආකාරයෙන් අවධානයට ලක් වුණේ ඇයගේ සිනමා රංගනයන් නිසාම නොවෙයි. ප්‍රධාන පෙළේ කප්පම්කාරයකු ලෙස චෝදනා ලැබූ කෝටිපතියකු සමඟ පැවැත් වූ ප්‍රේම සම්බන්ධයක් සහ ඒ සම්බන්ධය නිසාම ඇය මුහුණ දුන් අලකලංචි නිසයි.
ඉන්දියානු රුපියල් කෝටි 200ක (ලංකා රුපියල් කෝටි 785ක පමණ) කප්පම් සිද්ධියක චුදිතයකු බවට පත්ව මේ වනවිට බන්ධනාගාරගතව සිටින සුකේශ් චන්ද්‍රශේකර් සහ ජැකලින් අතර පැවැති ආදර සම්බන්ධයක් ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති වුණා. මෙම සම්බන්ධය පැවැති කාලයේ සුකේශ් ජැකලින්ට ඉතාම වටිනා තෑගි භෝග ලබා දී ඇති බව පැවසුණු අතර ඇතැම් වාර්තාවලට අනුව එම තෑගි භෝගවල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10කට ( ලංකා රුපියල් කෝටි 40කට) ආසන්නයි. සුකේශ් මෙම තෑගි තම පෙම්වතියට ලබා දී ඇත්තේ ඔහු ලබා ගත් කප්පම් මුදල්වලින් බවටත් චෝදනා එල්ල වුණා. ජැකලින් එම තෑගි ලබා ගනිද්දී සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය ගැන දැන සිටි බවටත් චෝදනා නැගී තිබෙනවා. ඇයට ලැබුණු තෑගි අතර ඉන්දියානු රුපියල් ලක්‍ෂ 52ක් වටිනා අශ්වයෙක්, ඉන්දියානු රුපියල් ලක්‍ෂ 9ක් වටිනා පර්සියානු බළලෙක්, මෝටර් රථයක්, ඉතා වටිනා රන් අබරණ, මිල අධික අත් බෑග, සපත්තු, දියමන්ති ඇල්ලූ ආභරණ, සුවඳ විලවුන්, ඇඳුම් ආදිය ද තිබෙන බව පැවසුණා.
මෙම තත්ත්වය තුළ මේ වනවිට ජැකලින් ද මෙම කප්පම් සිද්ධියට සම්බන්ධ චුදිතයකු බවට පත්ව සිටිනවා. ඇය සම්බන්ධයෙන් ද විමර්ශන දියත් වෙමින් ඇති අතර ඇය අත්අඩංගුවට ගනීවිද යන සැකයක් ද පසුගිය කාලයේ පැවතුණා. කෙසේ හෝ වේවා, ජැකලින් පවසන්නේ සුකේෂ් විසින් තමා රවටනු ලැබූ බවයි. ඔහු තමාගේ ජීවිතය ද, වෘත්තිය ද විනාශ කළ බව ඇය පසුගිය දිනෙක පවසා තිබුණා.
මෙම සිදුවීම් මේ ආකාරයෙන් ඉදිරියට යමින් තිබිය දී සුකේෂ් ඔහුගේ උපන් දිනය දා ජැකලින්ට ලියූ ආදර හසුනක් පසුගිය දිනෙක මාධ්‍ය හරහා කරළියට පැමිණ තිබුණා. ඔහු එය ලියා තිබුණේ බන්ධනාගාරයේ සිටයි. මෙම පෙම් හසුන පුරාම ඔහු ලියා ඇත්තේ ඇය වෙනුවෙන් තමා තුළ ඇති ප්‍රේමය ගැනයි. තමාට ජීවිතයෙන් ලැබුණු ලොකුම තෑග්ග ඇය බවයි ඔහු පවසන්නේ.
සුකේෂ් මෙම ලියමනෙහි ජැකලින් හඳුන්වා ඇත්තේ ‘බුට්ටා බොම්මා’ යනුවෙන්. මෙම තෙලිඟු යෙදුමෙහි තේරුම ‘ලස්සන බෝනික්කිය’ යන්න යි. ‘මගේ බෝනික්කි, මගේ මේ උපන් දිනයේ ඔබ මා ළඟ නැති පාළුව මට තදින් දැනෙනවා. ඒ ගැන කීමට මට වචන නැහැ. නමුත් මා දන්නවා ඔබේ සිතේ මා ගැන ඇති ආදරය කිසි දිනෙක අවසන් නොවන බව. ඔබේ සුන්දර හදවතේ ඇති දේ ගැන මා හොඳින් දන්නවා. ඒ ගැන මට සාක්‍ෂි අවශ්‍ය නැහැ. මට වැදගත්වන එකම දේ එය පමණයි පැටියෝ. ඔබ නැති පාළුව මට තදින් දැනෙන බව මා පිළිගත යුතුයි. මා ඔබට මොන තරම් ආදරේ ද කියා ඔබ දන්නවා, මගේ ලස්සන බෝනික්කී’ එහි ඔහු ලියා තිබෙන බව සඳහන්.
සුකේෂ්ගේ ලිපියේ තවදුරටත් මෙසේ සදහන් වෙනවා.
“මගේ ජීවිතයට ලැබුණු වටිනාම තෑග්ග ඔබ සහ ඔබේ ආදරය යි. මොන ප්‍රශ්න ආවත් මා ඔබ සමඟ සිටින බව ඔබ දන්නවා. මම ඔයාට ආදරෙයි පැටියෝ. ඔබ මට දුන් ආදරයට ස්තුතියි“.
සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව චෝදනා එල්ල වන්නේ ඉහත කී කෝටි 200 කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පමණක් නොවේ. ඔහු තවත් සිද්ධීන් කිහිපයක ප්‍රධාන චුදිතයා ලෙස සැලකෙනවා.
ඔහු කෝටි 200 කප්පම් මුදල ලබා ගෙන තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳගෙන්. එම කාලයේත් සුකේෂ් සිට ඇත්තේ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව යි. ඒ වනවිට ඉහත කී ව්‍යාපාරිකයා ද බන්ධනාගාරගතව සිටි අතර ඔහුගේ බිරිඳ තම සැමියා නිදහස් කර ගැනීමට හැකි මාර්ගයක් ගැන වෙහෙසෙමින් සිටි බව සඳහන්. සුකේෂ් ඇයගෙන් කප්පම් ලබාගෙන තිබුණේ ඒ සඳහා උදව් කරන මුවාවෙන්.
මෙම කාලය පුරාම සුකේෂ් ද සිටියේ බන්ධනාගාරයේ යි. ඔහු ව්‍යාපාරිකයාගේ බිරිඳ සමඟ සියලු ගනුදෙනු කර තිබුණේ දුරකතන මාර්ගයෙන්. එහි දී ඔහු පෙනී සිට තිබුණේ රජයේ ඉහළම නිලධාරීයෙක් හැටියටයි. අගමැති මෝදිගේ කාර්යාලයේ නිලධාරියකු ලෙස සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පවා ඔහු රඟපා තිබුණා. මෙම දුරකතන ඇමතුම් ලබා දීමේ දී කටහඬ වෙනස් කළ හැකි මෘදුකාංගයක සහය ලබා ගෙන තිබූ බවත් පැවසෙනවා.
ව්‍යාපාරිකයාගේ බිරිඳ සුකේෂ් ගැන වඩාත් විශ්වාස කර තිබුණේ ඔහුගේ දුරකතන ඇමැතුම් ඉහත කී ආයතනවල දුරකතන අංකවලින්ම ලැබීම නිසයි. නමුත් සුකේෂ් එම රැවටිල්ල ද කර තිබුණේ තවත් මෘදුකාංගයක් ආධාරයෙන් බව සඳහන්. ඕනෑම අංකයක් ව්‍යාජ ලෙස පෙන්නුම් කිරීමට මෙම මෘදුකාංගයට හැකි බව පැවසෙනවා.