මාණික්කාවතේ කෙටිහාමි සහ ජගත් චමිල අතරේ ලොකු වෙනසක් නැහැ | සිළුමිණ

මාණික්කාවතේ කෙටිහාමි සහ ජගත් චමිල අතරේ ලොකු වෙනසක් නැහැ

මෙවර රයිගම් සම්මාන උලේළේ දී හොඳම නළුවා ලෙසින් සම්මාන ලැබුවේ ජගත් චමිල. ජගත් චමිල කියන්නේ සැබවින්ම අතිදක්ෂ රංගන ශිල්පියෙක්. අවස්ථා ගණනාවකදීම ඔහු ඒ බව ඔප්පු කර තිබෙනවා. රසඳුන ඔහු සමඟ කළ කතාබහයි මේ.... 

මාණික්කාවත ටෙලි නාට්‍යයේ කෙටිහාමි එක්ක ගත වුණු කාලය ගැන සිහි කළොත්?

කෙටිහාමි කියන්නෙම මේ මොහොතේ අවශ්‍ය වන පරමාදර්ශී චරිතයක්. සමාජයන් විසින් තීරණය වන ගනුදෙනු වෙන කාල පරිච්ඡේදයන්වලදි එහෙම වැදගත් වන පරමාදර්ශි චරිතයන් තියෙනවා. එහෙම මිනිසුන් අතර රැඳුණු සහ මේ කාලයට අවශ්‍ය වන මාතෘකාවක් විදියට කෙටිහාමි කියන චරිතය ඉතාමත්ම ජනප්‍රිය සහ බොහොම ආධ්‍යාත්මිකව වැදගත් වුණු පරමාදර්ශී චරිතයක් විදියට ප්‍රේක්ෂකයින් අරගෙන තියෙන බව මට දැනගන්නට ලැබුණා ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින්. ඒකට හේතු තියෙනවා. ඒ සියල්ල කෙටි කරලා සාරාංශයක් විදියට කතා කළොත් “මාණික්කාවත” කියන නවකතාව මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අතින් ලියවෙනවා. එතකොට ඔහුගේ මනසේ ඇතිවෙනවා වෙන සංකල්පීය අදහසක්. ඒ අදහසට රූපරාමුවක් හැටියට තමයි කෙටිහාමි කියන මනුස්ස රූපය ඒ සංකල්පීය අදහස තුළට ගේන්නේ. මහින්දගේ වුවමනාව තියෙන්නේ ඒ සංකල්පීය අදහසට වටිනාකමකින් යුක්ත ආධ්‍යාත්මික ගුණයක් එකතු කරන්න. ඒ කාරණාව මාණික්කාවත පොත කියවපු ප්‍රේක්ෂකයින් තුළින් කෙටිහාමිට ලැබිලා තිබුණා. ඒ මාණික්කාවත පොත ඇතුළේ හිටපු කෙටිහාමිව පොතෙන් එළියට ගන්න පුළුවන් තැනට මාණික්කාවත කියන ටෙලි නාට්‍යයේ තිර රචනාවට සහ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඉතාමත් වැදගත් විදියට මෙතනදී ඉස්මතු වුණා. ඒ නිසා ඔය කියන කාරණා නිසා කෙටිහාමි කියන කෙනා අද මේ තියෙන ඊළඟ සමාජ කතිකාවන් ඇතුළේ බොහොම වැදගත් කාලයට ඔබින මතුවුණු චරිතයක් විදියට කෙටිහාමිව දකිනවා.

අපි දකිනවා පොතක් සිනමාවට හෝ පුංචි තිරයට නගද්දී එහි එන චරිතවලට පාඨක ප්‍රතිචාර ඉක්මවා යන ප්‍රතිචාර ලැබෙන්නේ කලාතුරකින්, නමුත් මාණික්කාවතට පුළුවන් වුණා ඉන් එහාට යන්නට, කොහොමද ඒ අත්දැකීම?

පොතක් රූප රාමුවට අරගෙන එන එක අතිශයින්ම දුෂ්කර කාර්යයක්. එහෙම නිර්මාණ අතරේ අසාර්ථක වුණු නිර්මාණ අපිට මුණගැහුණා. හැබැයි ඒ කාරණාව අතික්‍රමණය කරපු මොහොතක් තමයි මේ මොහොත. ඒක පාඨකයන්ගෙන්ම කියන වෙන අදහසක්. පාඨක ජනතාවගෙන් තමයි ඔය චෝදනාව මුලින්ම අහන්න ලැබෙන්නේ. හැබැයි මෙතැනදී පාඨකයින් නතර වෙලා හිටිය තැනින් තවත් මානයකට ඔවුන්ව අරගෙන ගිහින් තියෙනවා කියන එක සමාජ ජාලා පරිශීලනය කරද්දී දැනෙනවා. සමාජ මාධ්‍යය කියන්නේ විවෘත වේදිකාවක්. මම මේ කියන කාරණාව විනිවිදව ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට යූ - ටියුබ් තියෙන මාණික්කාවතේ කොටස් කිහිපයක් බලලා ඒවාට ඇවිත් තියෙන ප්‍රතිචාර බැලුවනම්. ඒක තමයි ප්‍රේක්ෂක මතය.

ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානිත වූ ඔබ මාණික්කාවතේ කෙටිහාමි කියන චරිතය නිසා හොඳම නළුවා වීම ඔබට දැනෙන්නේ කොහොමද? 

සම්මානයකින් කලාකරුවෙක් උත්තේජනයක් ලබනවා තමයි. හැබැයි මේ වෙලාවේ මම කියන්න කැමැතියි සම්මානයක් ලැබීම තුළින්වත් සම්මානයක් නොලැබීම තුළින්වත් මාව වෙනස් කරන්න පුළුවන් තැනක ජගත් චමිල කියන කෙනා නැහැ. ඒකට හේතුව මාණික්කාවතේ කෙටිහාමි සහ ජගත් චමිල අතරේ ලොකු වෙනසක් නැහැ. දැන් මට තියෙන්නේ සම්මානයක් ලැබීම තුළින් උද්දාමයට පත්වෙනවට වඩා සම්මානයකට නිර්දේශවීම ඇතුළෙම තියෙන ඊළඟ වගකීම වෙනුවෙන් මම කොච්චරක් දුරට සූදානම් ද? මම ඒ වගකීම තුළ කොච්චර දුරට ඉන්නවද සහ ඒ වගකීම වෙනුවෙන් තව මොනතරම් දේවල් අත්පත් කර ගත යුතුයි ද කියන තැන. ඒක තමයි සම්මානයක් ලැබීම තුළ තියෙන භයානකකම. සම්මානය ආභරණයක් විදියට අපිට එල්ල ගන්න බැහැ. ඒක අතිශයින්ම වගකීම් සහගත තත්ත්වයක්. නිර්දේශවීම කියන්නෙම මහා ප්‍රේක්ෂක පිරිසකගේ පොදු අදහසකට එකඟ කරවන්න නිශ්චිත කරන එක අවස්ථාවක්. එතකොට ඒක ප්‍රේක්ෂකයින් භාරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් ඒ අවස්ථාවට භාජනය වන පුද්ගලයා තුළ තියෙන්න ඕනේ තමන් පිළිබඳවම විචාරයක්. අන්න ඒ විචාරාත්මක තත්ත්වය තමන්ම පරීක්ෂණයකට භාජනය කරොත් තමා ඒ තැනට කොච්චරක් සුදුසුද කියන ආත්ම කථනය කර ගත්තම තමයි මම කියන වගකීම පැවරෙන්නේ. අපි වගකියන්න ඕනේ මාව ඒ වේදිකාව මත තිබ්බම මේ මහත් සමාජයටම.

ජගත් චමිල කියන්නෙම නිරන්තරයෙන් ප්‍රේක්ෂකයාට වගකියන රංගන ශිල්පියෙක් බව ඔබ තෝරා ගන්නා චරිතවලින් ඔප්පු කර හමාරයි. මේ කාලයේ සහ ඔබව ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

තෝරා බේරා ගෙන නිර්මාණ කරන්න තරම් මේ තුළ නිර්මාණ වෙනවද කියන එකත් හිතන්න ඕනේ. මමත් අතිශය සරල සාමාන්‍ය මිනිහෙක්. මගේ අවශ්‍යතාවන් ඉෂ්ට සිද්ධ කර ගන්න වෙන්නෙත් මේ කලාව තුළමයි. හැබැයි මම ලැබෙන චරිතයට උපරිමය කරන්න සෑහෙන්න වෙහසක් ගන්න මනුස්සයෙක්. ඒකට මට සාධාරණීය ප්‍රතිචාරයන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් හැමදාම ලැබිලා තියෙනවා. ඒ නිසා මම කැමැති නැහැ මගේ ප්‍රේක්ෂකයින් අන්දන්න. එහෙම කරලා මට ප්‍රේක්ෂකයින් දිනාගන්න ඕනෙත් නැහැ. මට ඕනේ ඒ ප්‍රේක්ෂකයින් සතුටු කරමින් ඔවුන්ගේ ලේ පිරිසිදු කරමින් ඔවුන්ව සබුද්ධිමත් තත්ත්වයට පත් කරගන්න. ඇත්තටම කියනවා නම් මම මගේ වෘත්තීය එක්ක සෙල්ලම් කරන්න කැමැති නැහැ. ඒක ඉතාමත් වගකීම් සහගත තත්ත්වයක්. මේ කාලයේ මාව දකින්න ලැබෙන සිනමා නිර්මාණයක් “තට්ටු දෙකේ ඉස්කෝලේ“. ඒ නිර්මාණය ගැන එහෙම ඉතාම ආඩම්බරයෙන් කතා කරන්නේ. දරුවන්ව දෙමාපියන්ව අන්දන්නෙ නැතුව බොහොම වගකීම් සහගතව කරලා තියෙන චිත්‍රපටයක්. එහි මගේ චරිතය පාල මාමා. සමහරු ළමයින්ව අවභාවිත කරනවා. මාපියන්ගේ තියෙන කාර්යබහුලකම වෙන විදියකට භාවිත කරමින් සල්ලි හම්බ කරන නිර්මාණ මේ වෙලාවේ තියෙනවා. ඒවා තිරගත කරන්නෙත් මේ රටේ දරුවන්ගේ නිවාඩු කාලවලදි. මේ රටේ ජනප්‍රිය අතිශය වැදගත් නම් දරන අධ්‍යක්ෂවරුන්ගේ සමහර නිර්මාණ ගැන මට ඇත්තටම ලැජ්ජයි. ඒ කියන්නේ සල්ලි නිසා නිර්මාණකරණය තුළ තමන්ගේ නිරුවත හෙළිදරව් කරන මට්ටමටම පත් වෙලා. ඒ හම්බ කරන සල්ලි වලින් ගෙදර ගිහින් කන්නේ බොන්නේ කොහොමද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අධ්‍යක්ෂවරු පත්වෙද්දී ලලිත් රෝහිතගේ තට්ටු දෙකේ ඉස්කෝලේ කියන්නේ “කාන්තාරයට දිය බිඳක්“. ඒ එක්කම ක්‍රිස් ඇන්තනීගේ “පාස් පෝට්“ චිත්‍රපටය. සරත් වීරසේකර මහතා අධ්‍යක්ෂණය කළ “ශ්‍රී සිද්ධා“ සුනිල් අරුණවීරසිරි “වීරයා“ සහ දර්ශන රුවන් දිසානායකගේ “ගොවි තාත්තා“ චිත්‍රපටය එන්න තියෙනවා. ඊට අමතරව වේදිකාවේ ගොඩක් වැඩ කරනවා. චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක්, සායක්කාරගේ වැඩිහිටියන්ට පමණයි, සංඝදාසගේ චූටි කලිසම. එතකොට චාමික හතළහවත්තගේ මකරා, අකිල සපුමල්ගේ රතු මඟුල් කපුවා වගේ නිර්මාණ කරගෙන යනවා. අමාරු කාලයක්. නමුත් නිර්මාණකරුවන්ගේ වගකීම් පැහැර ඇරලා නැහැ. අමාරුකම් මැද්දේ උඩුගම්බලා පීනනවා.

Comments