
19 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළ - 2022 පසුගිය 25 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ මංගල බෙර නද මැද රයිගම් සභාපති රවී ලියනගේ ප්රමුඛ සම්භාවනීය අමුත්තන් ශාලාවට පැමිණීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පහන් දැල්වීමෙන් අනතුරුවයි.
ඒ සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වූයේ මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්. පි කරුණාරත්න, වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදිත් කේ ජයසිංහ, මහාචාර්ය පැට්රික් රත්නායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, ජේෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ, ප්‍රවීණ රංගන ශිල්පිනි සුවිනීතා වීරසිංහ, සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ නන්ද ප්‍රනාන්දු සහ ද කිංඩම් ඔෆ් රයිගම් සහාපති ආචාර්ය රවී ලියනගේ ඇතුළු පිරිස.
ද කිංඩම් ඔෆ් රයිගම් සුගම ටෙලිවිෂන් කලාවක් උදෙසා සෙනෙහසින් තිලිණ කරන ජාතියේ ටෙලි සම්මාන රාත්‍රියේ ආරම්භය ලබා ගත්තේ සාරංග දිසාසේකර සමඟින් සඳමාලි හෙන්නායකයි.
පුංචි තිරයේ ගෙවුණු මාස 12 තුළ පෑ පෙළහර අගය කරන්නට දහසින් බැඳී පියලි සමඟින් පිදෙන සම්මාන 58ක් සමඟ ආනන්දනීය වින්දනයන් උදෙසා සිදුවන අංග රැසක් සමඟින් වසර 19ක් පුරා විනිවදභාවය, අපක්ෂපාතීත්වය, සාධාරණ විනිශ්චය සමඟ දිවයිනේ සම්මාන උලෙළවල් සඳහා ආදර්ශ සපයමින් ටෙලි සම්මාන රාත්‍රියට සහයෝගිතා හවුල්කරු වූයේ හෙට දින එළිය කරන සම්පත් බැංකුවයි. සම්මාන උලෙළේ ආරම්භක කතාව පැවැත්වූයේ සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ නන්ද ප්‍රනාන්දු ය.
මෙවර රයිගම් සම්මාන උලෙළේ විනිශ්චය ලබා දුන්නේ ක්ෂේත්රයේ ප්රවිණයකු වූ බුද්ධදාස ගලප්පත්තිගේ සභාපතිත්වයෙන් පත් වූ සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුක්ත විනිශ්චය මණ්ඩලයකිනි. ඒ අනුව විනිසුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වූයේ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන, සමන් වික්‍රමාරච්චි, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, අරුණ ගුණරත්න, රංග දසනායක, ජයනාත් ගුණවර්ධන, අබ්දුල් හමීඩ්, සහ චමින්ද වෙලගෙදර යන අයයි.
සම්මාන ප්රදානය ආරම්භ කරන්නට පෙර ඉටුවිය යුතුම යුතුකමක් ඉටු කරන්නට කාලය වෙන් වුණා. ඒ රටක් පිනවූ, දැයක් නැළවූ, මහා කලාකරු පරපුරට - යුතුකම. අවැසිම කළ හදවතින්ම ඔබ ළඟ. තේමා කරගත් “රයිගම් ටෙලීස් යුතුකම“ ඉටු කරලීමට. රයිගම් සමූහ සමාගමේ ජේෂ්ඨ අධ්යක්ෂ ගණක අමරසිංහ වේදිකාවට පැමිණ මෙවර “රයිගම් ටෙලීස් යුතුකම“ තිලිණපත් හිමි කලාකරුවන් දෙපළ ගැන සිහිපත් කළා.
මෙවර සම්මාන රාත්‍රියේ පටන් හඳුන්වා දෙන “රයිගම් ටෙලීස් යුතුකම“ හි පළමු තිලිණපත් හිමි වූයේ මේ වන විට රෝගාතුරව සිටින ජැක්සන් ඇන්තනි සහ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්යක්ෂ නාලන් මෙන්ඩිස් වෙනුවෙන්. ඒ වෙනුවෙන් හිමි මූල්‍යම සහතිකපත ලබා ගැනීමට කුමාරි මුණසිංහ සහ නාලන් මෙන්ඩිස්ගේ පුත් හසාර මෙන්ඩිස්ට ඇරයුම් කළ ද, ඒ මොහොතේ සභා පරිශ්‍රයේ නොසිටි නිසා ඒ මූල්‍යමය සහතිකපත් ලබා ගැනීම සිදු වූයේ ටෙලිනිස සභාපති ඩග්ලස් සිරිවර්ධනයන් විසිනි.
ඉන් අනතුරුව සුවහසක් ප්‍රේක්ෂකයින් පිනවා පසුගිය වසර තුළ ජීවිතයෙන් සමුගත් සහෘද කලාකරුවන් වෙනුවෙන් සිය අසුන් මතින් නැඟිට මොහොතක් ගෞරවය පුදකරන්නට කාලය වෙන් වුණා.
මේ සියල්ලට පසු එළඹුණේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි සම්මාන පිරිනැමීමේ පළමු අදියරේ සම්මාන ප්රදානය සිදු කිරීමය.
මුල් අදියරේ සම්මාන බෙදාදීමෙන් අනතුරුව රයිගම් ටෙලීස් වේදිකාව වෙන් වූයේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුළින් කිරුළ දැරූ ෆැලන් ඇන්ඩ්‍රියා සහ SLT මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණට. එම දෙපළ ගැයුවේ රත්න ශ්‍රී විජේසිංහගේ ගී පද සහ සුනිල් සරත් පෙරේරාගේ ගී පදවලට පණ්ඩිත් අමරදේවයන් සහ අමිතා වැදිසිංහ ගැයූ ගීත ද්විත්වයක්. රයිගම් ටෙලිස් හි නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහ රංගායතනයේ සිසු සිසුවියන්ගෙනි.
මෙවර රයිගම් සම්මාන උලෙළේ තේමා වාදනය නවරත්න ගමගේ ය. නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය සහ සැපත් ස්වරය මුසු කළේ ජගත් වික්‍රමසිංහ ඒ සිහිපත් කිරීම්වලින් අනතුරුව වේදිකාවෙන් වූයේ සම්මාන උලෙළ වඩාත් ආනන්දනීය කරන්නට. ඒ සඳහා 1970 දශකයේ පටන් නූතන ගීත කලාවේ හැරවුම් ලක්ෂය වන වික්ටර් රත්නායකගේ දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරමින් වේදිකාව වෙන් වූයේ වික්ටර් රත්නායකගේම නූතන පුරුක වන මුණුපුරු විනුජ තරුෂ්කට. ඔහු ගැයුවේ මීගොඩ විල්සන් සහ කේ. ඩි. කේ ධර්මවර්ධන ලියූ පාවේ වලා සහ නීල බිඟු කැල ගීතයයි.
රයිගම් සමූහය පවත්වන Raigam SOME Awards උලෙළත් නුදුරේම පැවැත්වෙන බව මෙහදී සිහිපත් කළා. එය සිහිපත් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි සැවොම සිනහ ගන්වමින් සාලිය අශෝකමාලා අලුත්ම පිටපත වේදිකාවේ දිග හැරුණා. එයට රංගනයෙන් දායක වුණේ මිහිර සිරිතිලක, නිරෝෂා තලගල සහ ගිහාන් ප්‍රනාන්දු යන ශිල්පීන්ය.. එමෙන්ම මෙහිදි හනා ශෆා ද “මල් ඔන්චිල්ලා මත නැඟිලා....“ ගීතය ගායනා කළාය.
පස්වන අදියරේ සම්මාන ප්රදානය අවසන් වෙද්දී වේදිකාවට ඇරයුම් ලැබුණේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් බිහිවුණු රවීන් කනිෂ්කට සහ මහේෂා සඳමාලි දෙදෙනාටය.
පසුගිය වසරේ පටන් හඳුන්වා දුන් වසරේ ජනගත සම්මාන කුලකය පිළිගත් විද්‍යාත්මක පදනමකට සිදු විය යුතු නිසා එහි වගකීම පැවරුණේ ලංකාවේ සිටින ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රජා විද්‍යාවේදය පිළිබඳ විද්වතකු හා පර්යේෂකයකු වන සම්මානිත මහාචාර්ය ලක්ෂමන් දිසානායකටය. එතුමන් එදින විදෙස්ගතව සිටියත් ඒ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීමකින් පසුව සම්මාන පිරිනැමීම සිදු වුණා.
රයිගම් ටෙලීස් 2022 සම්මාන උලේළෙ සම්මාන හිමි වුණේ රයිගම් ටෙලීස් සම්මාන උලෙළටම විශේෂ වූ විශේෂ සම්මාන ත්‍රිත්වයක්. ඉන් සම්මාන ද්විත්වයක් වෙන් වුණේ ටෙලි සිනමා මාධ්‍යය ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා විශාල සේවාවක් ඉටු කළ ප්‍රවීණයන් දෙදෙනෙකු වූ සමන් අතාවුදහෙට්ටි හා නෙතලි නානායක්කාර යන අයය.
රයිගම් සම්මාන උලේළෙ දී ජීවිතේ එක් වරක් පිදෙන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය මෙවර හිමි වුණේ වීනා ජයකොඩි ප්‍රවීණ රංගනවේදිනියටයි.
එම සම්මානය ලබා දීමෙන් අනතුරුව වේදිකාව වෙන් වුණේ 1960 දශකයේ ගායන ලොවට පැයු තරුවක් වන ධනපාල උඩවත්ත සහ ඔහුගේ වැඩිමහල් පුතු ගයාන් උඩවත්තටය. මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස ටීවී දෙරණ නාලිකාව සම්මානයෙන් පිදුම් ලැබූ අතර සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව ලෙස ස්වරණවාහිනි ආයතනය සම්මාන ලැබීය. එමෙන්ම මෙම සම්මාන උලෙළේදී සම්මානනීය නාළිකාව ලෙස සම්මාන ලැබුවේ ස්වාධීන රූපවාහිනි ආයතනයයි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න