
- දැන් ටෙලිනාට්‍යය බලන්නෙත් ෆෝන් එකෙන් යම් දවසක වේදිකා නාට්‍යයත් වීඩියෝ කරලා ෆෝන් එකෙන් බලන තැනට එයි
- උසස් පෙළ සිලබස් එකට අදාළ නාට්‍ය බලන්න අද වෙනකොට රැල්ලක් නිර්මාණය වෙලා
නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක් වශයෙන් 2016 වර්ෂයේ සිට සිය වෘත්තිය අරඹන මොහු නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රංගාලෝක ශිල්පියෙක්, ලේඛකයෙක්. එමෙන්ම මේ වන විට නාට්‍ය නිර්මාණය සහ රංග වින්‍යාසය සඳහා රාජ්‍ය හා යෞවන සම්මාන රැසක් දිනාගනිමින් වේදිකාවට ඇලුම්කරන බොහෝමයක් රසිකයන්ගේ සිත් තුළ ආදරයට පාත්‍ර වී ඇති අපේ රටේ තවත් දක්ෂ නාට්‍යවේදියෙක්. ඔහු නමින් ලලිත අතාවුද.
මේ දවස්වල නිර්මාණ කීපයකටම ඔබ කාර්යබහුල වෙලා නේද ?
මේ දවස්වල ප්‍රදර්ශනය වන බෝනික්කි ගෙදර, මඟුල් කපුවා, පුළුවන්නම් අල්ලගන්න, ෆ්‍රීඩම්, ගලේ පිපුණ මල්, ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟමු, කිරි අම්මා අවතාරය, ප්‍රේමි කවි නළුව වේදිකා නාට්‍ය සඳහා රංගාලෝක ශිල්පියා විදියට කටයුතු කරන්නේ මම. ඉතිං ඒවත් එක්ක ටිකක් කාර්යබහුලයි.
පාසල් ගුරුවරයෙක් විදියට ඔබ ජයග්‍රහණ රැසක් ලබා දීලා තියෙනවා. ඒ ගැනත් කතා කරනවා නම්?
මම දැන් සේවය කරන්නේ බත්තරමුල්ල සුබෝධී විද්‍යාලයේ. ගුරුවරයෙක් විදිහට මට පළමු පත්වීම ලැබෙන්නේ ත්‍රිකුණාමලය තිස්ස මහා විද්‍යාලයට. පත්වීම ලැබුණම ඇත්තටම මම කල්පනා කළා වැඩ බාර ගන්නවද? නැද්ද ? කියලා. ඇත්තම කිවුවොත්, මම ගුරුවරයෙක් විදිහට වැඩ බාර ගත්තේ මගේ බිරිය නිසා. මොකද ඒ වෙද්දි ඇයත් රැකියාව කළේ ත්‍රිකුණාමලේ. එයා එහෙ තනියම දාලා එන්නත් බැරි නිසයි මම පත්වීම බාර ගත්තේ. ඇත්තටම මේ වෙද්දී මම ගුරුවරයෙක් විදිහට ලොකු තෘප්තියක් ලබනවා. මම තිස්ස මහා විද්‍යාලයේ ඉන්න කාලේ පාසලට ජයග්‍රහණ කීපයක්ම අත්පත් කර දෙන්නට මට හැකි වුණා. ඒ අතර හොරගෙඩි කෝලම වේදිකා නාට්‍ය වෙනුවෙන් 2017 වර්ෂයේ සමස්ත ලංකා නාට්‍ය සම්මාන උලෙළේදී දෙවන ස්ථානයත්, ඒ වගේම 2018 වර්ෂයේ සමස්ථ ලංකා ටවර්හෝල් සම්මාන උලෙළේ හොඳම පිටපත සහ නිෂ්පාදනය සඳහාත් පාසල වෙනුවෙන් සම්මාන ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.
අද වන විට නාට්‍ය ප්‍රදර්ශන කොළඹට පමණක් සීමා වෙලා තියනවා කිවුවොත් නිවැරැදිද?
මේ දවස්වලනම් වැඩි වශයෙන් කොළඹ අවට තමයි නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ. ප්‍රවාහන ගැටලු තියෙන නිසා. ඒත් ඉතිං සමහර අවස්ථා ලැබෙනවා කොළඹින් පිට පළාත්වලටත් . පසුගිය දවසක බෝනික්කි ගෙදර වේදිකා නාට්‍ය අනුරාධපුර ප්‍රදේශයේ පාසලකත් ප්‍රදර්ශනයට අවස්ථාව ලැබුණා.
මේ වෙද්දි කොහොමද නිර්මාණ වෙනුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ?
අද වන විට තියෙන සමාජ තත්ත්වයත් එක්ක නාට්‍යයක් බලලා ඔළුවට යමක් ගන්න මිනිස්සු කැමැතියි කියලා මට හිතෙනවා. මෑතකදී පෙන්නපු හැම නාට්‍යයකම සම්පූර්ණ හෝල් එකම පිරුණේ නැති වුණත්, තුනෙන් දෙකක වගේ ප්‍රේක්ෂක පිරිසක් හිටියා ඉතිං නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකාගාරයක් දැන් හැදෙමින් පවතිනවා. ඒත් මේ හැදෙමින් තියන ප්‍රේක්ෂකාගාරය විශේෂයෙන්ම උසස් පෙළ සිලබස් නාට්‍යවලට මුල් තැනක් දෙමින් නිර්මාණය වන පිරිසක්. ඒ නිසාම නිර්මාණකරුවනුත් සිලබස් නාට්‍ය නිර්මාණය කරන්න මේ වෙනකොට වැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසාම සිලබස් එකත් එක්ක යන නාට්‍ය බලන්න අද වෙනකොට පොඩි රැල්ලක් නිර්මාණය වෙලා.
වේදිකා නාට්‍යයක නළුවරණය ගැන යමක් කතා කළොත්?
නළුවරණය හරියට නොවුණොත් ඒ නාට්‍ය සාර්ථක වෙන්නේ නෑ. අද වෙනකොට ගොඩක් අය කරන්නේ මොනවාහරි පුහුණු පාඨමාලාවක් කියලා එකක් පටන් අරගෙන, ඒවගෙ පුරුදු පුහුණු වෙන පිරිස දාලා නාට්‍ය කරනවා. ඒකෙන් වෙන්නේ නාට්‍යයේ ප්‍රමිතිය අඩු වෙන එකයි. ඉස්සර නළු නිළියෝ වේදිකාවෙන් පන්නරයක් අරගෙන තමයි ඊළඟට ටෙලි නාට්‍යවලට යන්නේ. ඒත් දැන් ඉන්න ගොඩක් අය ටෙලි නාට්‍යවල රඟපාලා වේදිකාවෙත් ඉන්නවා කියන්න නාට්‍යවල රඟපානවා. අනික තමයි මාධ්‍ය නාලිකාවල සින්දු කියන්න ආපු අය නළුවො වෙනකොට නළුකම හදාරපු අයට සින්දු කියන්නද වෙන්නේ කියන ප්‍රශ්නය අද නාට්‍ය කලාව දිහා බැලුවම පේනවා.
නාට්‍ය කලාවේ අනාගතය ගැන ඔබේ අදහස ?
අතීතයේ බොහෝ නාට්‍ය පිටපතක් බිහි වුණේ පැය දෙකක් නැත්නම් තුනක් වගේ වෙලාවක් ඇතුළේ. ඉස්සර ප්‍රේක්ෂකයොත් නාට්‍යයක් එක්ක ඒවගේ වෙලාවක් ගත කරන්න හුරුවෙලා හිටියා. ඒත් දැන් වෙනකොට මිනිස්සු නාට්‍යක් බලන්නේ පැයයි නැත්නම් පැය බාගයයි. මිනිස්සුන්ට දරා ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙන්නේ. දැන් ටෙලිනාට්‍ය වුණත් අපි බලන්නේ ෆෝන් එකෙන්. අනාගතේ යම් දවසක වේදිකා නාට්‍යයත් කැමරා කරලා, වීඩියෝ කරලා ඒක ෆෝන් එකෙන් බලන්න තැනට එයි. අද ප්‍රේක්ෂකයො යාන්ත්‍රිකයි. මිනිස්සු නාට්‍යයක් බලන්න යනවනම් යන්නේ ඒකේ විහිළු තියනවද කියන දේත් එක්ක. ඒත් රසිකත්වය කියන දේ නිර්මාණය විය යුත්තේ හිනාවීම කියන කාරණය ඇතුළේ විතරක් නෙමෙයි. එතනින් එහාට ගියපු ආනන්දයෙන් ප්‍රඟූාව කරා යන ප්‍රේක්ෂකයන් පිරිසක් තමයි නිර්මාණයකින් බිහි කළ යුත්තේ. ප්‍රේක්ෂකාගාරයෙන් එළියට බහිනකොට ප්‍රේක්ෂකයෝ එන්නේ නාට්‍යයේ විහිළු ගැන විතරක් කතා වෙමින්නම් ඇත්තටම ඔවුන් නාට්‍යවත් හරිහැටි තේරුම් අරගෙන නෑ. නාට්‍ය කලාවේ හෙට දවසට ඒක එතරම් හිතකර දෙයක් නෙමෙයි.
වේදිකා නාට්‍යයක රංගාලෝකය සම්බන්ධයෙන් මෙරට නිර්මාණකරණයේදී ප්‍රමාණවත් අධ්‍යයනයක් සිදු වෙනවද?
ඇත්තටම අපේ රටේ රංගාලෝක නිර්මාණ ශිල්පීන් ඉතාම සීමිතයි. එකට හේතුව මේ වෙද්දි තියන ආර්ථික අර්බුදය. මේ තත්ත්වය ඇතුළේ තාක්ෂණික ශිල්පියටම කියල මොනවා හරි පාට ටිකක් අරගෙන ඒ හරහා රංගාලෝක නිර්මාණය කර ගන්න එක තමයි බොහෝ නිර්මාණවල දැන් වෙන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයෝ නාට්‍ය අවසානයේ නාට්‍ය තුළ රංගාලෝකය ගැන කතා කරන්නේ හරිම අඩුවෙන්. නැත්නම් කතා කරන්නෙම නැති තරම්. ඒත් මිනිස්සුන්ට මතක නෑ ආලෝකකරණය තිබ්බේ නැත්නම් නාට්‍ය පේන්නේ නෑ කියන දේ. ඔන්න හදිසියේ විදුලිය විසන්ධි වුණොත්නම් ඒ ගැන කතා කරනවා. ලෝකයේ ආලෝකකරණයෙන් පමණක් බිහි වූ නිර්මාණත් තියනවා. ඒ නිර්මාණවල ආලෝකය තමයි කතා කරන්නේ. නමුත් අපේ රටේ දැන් නාට්‍ය ආලෝකරණය කියන දේ ගනන් ගන්නේ නැති තැනකට පත් වෙලා තියෙන්නේ. මොකක් හරි ලයිට් එකක් පත්තු වුණානම් එච්චරයි. වේදිකා නාට්‍යකට යනකොට “ඔන්න ඔය තියන ලයිට් ටික දාගෙන කරමු මල්ලි” කියන තැනට නාට්‍යකරුවත් දැන් ඇවිත් ඉන්නෙ. නාට්‍ය හා රංග කලාව පාසල් විෂය ක්ෂේත්‍රය ඇතුළේ රංගාලෝකය විෂය සම්බන්ධයෙන් නිසි දැනුමක් තියන පිරිස හරි අඩුයි. විෂයක් විදිහට ඒ ගැන ලියන්න දන්න පිරිසත් හරිම අඩුයි. ඒ වගේම ප්‍රායෝගිකව පාසල තුළ රංගාලෝකය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අත්දකින්න තියන අවස්ථාත් හරිම අඩුයි. ඉතිං මේ තත්ත්වයන් වෙනස් වුණොත් අපේ රටේ නාට්‍යකරුවන්ට ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් වාත්තීය වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියන එකයි මගේ අදහස.
දසුනි වික්‍රමසිංහ