
- කාටවත් මම ආදරේ කරලා නැහැ ආදරෙයි කියලා නැහැ
- මට ලොකු අදහසක් තියෙනවා travel යූටියුබ් නාළිකාවක් පටන් ගන්න
- වෙළඳ දැන්වීම් 4000කට වැඩියෙන් වෙන්න සංගීතය නිර්මාණය කරලා තියෙනවා
සචිත් පිරිස් මේ නමට වඩා ජනප්‍රිය ඔහුගේ කටහඬ කිව්වොත් හරි. ඔහු ප්‍රසංග වේදිකාවෙදි ගයන ගීත අසන බොහෝ දෙනෙකු පසුව දැනගන්නේ එහි අයිතිකරු මොහු බව. ඒ වගේම සචින් කියන්නේ දක්ෂ සංගීත අධ්‍යක්ෂ වරයෙක්. දැන්වීම් දහස් ගණනකට සංගීතය නිර්මාණය කළ ඔහු ගැනයි මේ වත ගොත.
නිතරම කැලෑවල් හොයාගෙන යනවා කියන්නේ ඇයි ..?
වනගත වෙන්න නම් සූදානමක් නැහැ. මම නිතරම ඇවිදින්න යනවා. හෝර්ටන් තැන්න ගියා ඊයේ පෙරේදා. හරිත කන්ද, පූනාගල, හපුතලේ වගේ පැතිවල හරි ලස්සන තැන් හොයාගෙන මම යනවා ඇවිදින්න. පරිසරයේ රස විඳින්න මම හරි ආසයි. හිතුනු ගමන් ඒ වගේ ගමන් බිමන් යනවා.
බොහෝ දෙනෙක් විනෝද චාරිකා යන්නේ පිරිස පිටින්. නමුත් සචින් යන්නෙ තනියම..?
මම ට්‍රිප් යාලුවෝ එක්කත් යනවා. තනියමත් යනවා. යාලුවො එක්ක යනකොට සුන්දරත්වය විඳින ගමන් ඒ ගැන කතා කරන්න පුළුවන්. තනියම යනකොට එකේ රහ වෙනස්. වැඩිපුරම කැමති තනියම යන්න. ඒක මනසට හරි සුවයි.
ඔය චාරිකාවන් යන්න පෙම්වතියක් ළඟින් හිටියොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ..?
අනේ මට එහෙම නම් හිතෙන්නේ නැහැ. එතකොට මේ තියෙන ජොලිය නැති වෙනවා. මම ක්ලබ් යන බොන කෙනෙක් නෙමෙයි. කරන එකම දේ නිදහසේ ඇවිදින්න යන එක. ඉතිං ඒකට තව හවුල්කාරීයක් ඕන කියලා මම හිතන්නේ නෑ. මේ තනිකම හොඳයි, හරි නිදහස්. තනියම ඉන්න අය තමයි දන්නේ ඒ නිදහස් ජීවිතේ රස.
ඔය නොකියා කියන්නේ තවම තනිකඩයි කියන එකද..?
තවම තනිකඩයි. පෙම්වතියක් නැහැ. ආදරේ ගැන හිතන්නේ නැහැ.
එතකොට ආදරයක් විවාහා ගැන හිතන්නෙම නැද්ද ..?
පෙම්වතියක් හිටියොත් කොහෙද යන්නෙ කීයටද එන්නෙ, කාත් එක්කද ඉන්නේ, මොනාද කරන්නේ කියලා ප්‍රශ්න දාහක් අහනවා. ඔක්කොටම උත්තර දෙන්නත් ඕන. ඊට වඩා සැපයි මේ තනියම ගෙවෙන ජීවිතේ. කාටවත් උත්තර බඳින්න ඕනෙත් නෑ. ප්‍රශ්න අහන්න කෙනෙකුත් නැහැ. ගෙදරින් වුණත් විවාහ වෙන්න කියලා මට බල කරන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා විතරයි කියන්නේ. මේ මොහොත වෙනකම් විවාහය ගැන හිතලා නැහැ. ඉස්සරහට වෙන දේවල් කියන්න බැහැ දැන්මම. ඉදිරි කාලෙ වෙන දේවල් ගැන මම දැන් හිතන්නේ නැහැ. ඒක එදාට බලමු.
ඔබේ හඬට ආදරේ කරන අය ජීවන සහකාරිය කර ගන්න කියලා ඇරයුම් කරලත් ඇති නේ..?
සෝෂල් මීඩියාවලින් හායි කියලා කතා කරලා හිතවත් වුණු අය ඉන්නවා. ඒත් ඒ කාටවත් මම ආදරේ කරලා නැහැ ආදරෙයි කියලා නැහැ, එහෙම යෝජනා ඇවිත් තියෙනවා. නමුත් හරි පරිස්සමින් හිත් නොරිද්දා ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
සචිත් ආදරේ නිසා ඇත්තටම මානසිකව වැටිල නැද්ද..?
දාලා යන දාලා ගිය ආදරයක් වෙනුවෙන් මානසිකව වැටෙන්නේ මොකටද. දාලා ගිය කෙනෙක් වෙනුවෙන් අඬන්න අවශ්‍ය නෑ. මම නං ටිකක් වත් දුක් වෙන්නේ නැහැ. එහෙම දුක් වෙනවා කියන්නේ මහා මෝඩකමක්. නොගැළපෙන බැඳීම් නැති වෙලා යන තරමට හොඳයි. මම නම් ටිකක්වත් හිතන්නේ නැහැ ආතල් එකේ ඉන්නවා.
නිතරම travel කරන්නේ මොකක් හරි අරමුණකින් ද..?
travel කරන්නේ ආසාවට. නමුත් මට ලොකු අදහසක් තියෙනවා travel යූටියුබ් නාළිකාවක් පටන් ගන්න. ඒක කාලයක ඉඳලා තියෙන හීනයක්. රූපවාහිනි නාළිකා කිහිපයකට ම යෝජනා කළා හොඳ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. වෙනස්ම ආරක සංචාරක වැඩසටහන් එකතුවක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ලොකු වියදමක් කරලා කොලිටි වැඩක්. සල්ලි හම්බ කරන්න නෙමෙයි එහෙම දෙයක් කරන්නේ. Youtube එක කියන්නේ බොහෝ දෙනෙක් අතරට යමක් ගෙනියන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක්. එය ව්‍යාප්ත වෙනවා වැඩියි. වැඩි දෙනෙක් නරඹනවා. සංචාර කරන්න ආස අයට ඉගෙන ගන්න දෙයක් කරන්න තමයි හිතන්නේ. travel youtube චැනල් අතර එය වෙනස්ම චැනල් එකක් වෙයි.
අවුරුදු හත අටකට පස්සේ සචිත් ආයෙමත් ප්‍රසංග වේදිකාවට ගොඩ වෙලා ..?
මම අවුරුදු හතක් අටක් ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ නැහැ. කාලයක් මම නිහඬව පැත්තකට වෙලා හිටියා. දැන් මට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ආයෙමත් ප්‍රසංග වේදිකාවට නගින්න හිතුවා.
කාලෙකට පස්සේ ප්‍රසංග වේදිකාවට නගිද්දි කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මගේ සින්දු කියනකොට සමහර අය දන්නෙ නෑ ඒ මගේ සින්දුවක් කියලා. අනේ ඒ සින්දුව අයියද කියන්නේ කියලා ගොඩක් අය අහනවා. රූපයෙන් දන්නවාට වඩා කටහඬින් මාව අඳුරන එක ගැන සතුටු වෙනවා.
දැන් අලුතෙන් නිර්මාණ කරන්නෙ නැද්ද..?
මගේ ගීත තියෙන්නේ 15ක් විතර . ගොඩක් නිර්මාණ පිට අයට කරලා තියෙනවා. මම අලුත් ගීතයක් කරා රන් කියලා, දුවන්න කියන තේරුමෙන්. ඒ ගීතය ඉක්මනින්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. දැනට එච්චරයි.ඉදිරියේ දී තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වෙළඳ දැන්වීම්වලට සංගීත අධ්‍යක්ෂණය කරනවා. මේ වෙද්දි මම වෙළඳ දැන්වීම් 4000කට කිට්ටු වෙන්න කරල තියනවා. ඒවත් අතිශය ජනප්‍රිය ඒවා.