ගීතයේ සැඟවුණු අරුත් කියාදෙමින් ගීතාලංකාරය සමඟ එන ධම්මික බණ්ඩාර | සිළුමිණ

ගීතයේ සැඟවුණු අරුත් කියාදෙමින් ගීතාලංකාරය සමඟ එන ධම්මික බණ්ඩාර

රසික හද සියුම්ව ස්පර්ශ කළ, රසාලිප්ත කළ, හන්තානට පායන සඳ ගීතය කාගේත් සිත් හි රැඳුණු ගීතයකි. හන්තානට පායන ස‍ඳේ අසිරිය, සප්ත ස්වරය සමඟ මුසු කරන්නට හැකි වූයේ ඒ සොඳුරු රසකාමී හදවත නිසා ය. ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාර සිය ගේය පද රචනා සමඟ රසික හදවත් අමන්දානන්දයට පත් කරනු ලබන ගීතාලංකාරය ප්‍රසංගය අප්‍රියෙල් 01 වැනිදා, සෙනසුරාදා ප.ව. 6.00 ට මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. හුදෙක් ගීත විචාර වැඩසටහනක් පමණක්ම නොවූ “ගීතාලංකාරය“ පිළිබඳව ධම්මික බණ්ඩාරයන් සිය හඬ අවදි කළේ මෙලෙසිනි.

“ගීතාලංකාරය“ කියන නමේ තියෙනවා මේ වැඩසටහනේ අරමුණ. ගීතයක් විචාරය කරනවට වඩා විඳින්න සලස්වන්නයි අප උත්සාහ කරන්නේ. වචනාලංකාරය, ස්වරාලංකාරය සහ ගායනාලංකාරය මනාව සුසංයෝගය වෙලා ගීතයේ රසය ගොඩනැඟෙන ආකාරය රසිකයාට පෙන්වාදෙන්න වගේම විඳින්නත් මෙහිදී ඉඩහසර ලබාදෙනවා. මං මුලින්ම මේ වැඩසටහන පටන් ගත්තෙ සුළුවෙන්. පසුව අපේ කණ්ඩායම සංවිධානය කරගෙන මේ වැඩසටහන කළා. 2012 විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබපු දරුවන්ගෙ නායකත්ව පුහුණු වැඩසටහන්වලට මං මේ වැඩසටහන කළා‍‍.

හැම වර්ෂයකම ඔවුන්ගෙ හොඳම වැඩසටහන වූයේ ගීතාලංකාරය. වසර 15 ක අතීතයක් තියෙනවා මේ වැඩසටහනට. එම වැඩසට‍හනේ 606 ‍වැනි වැඩසටහනයි. ප්‍රථමයෙන්ම කළේ ගන්නොරුව යුද හමුදා කඳවුරේ. අපි කිසිදු විටෙක ප්‍රචාරණයක් මේ වෙනුවෙන් සිදු කළේ නැහැ. නමුත් රසික සමාජය මේ වැඩසටහන ප්‍රබලව වැලඳ ගත්තා. විදෙස් රටවලත් “ගීතාලංකාරය“ අප පැවැත්වුවා. රෝමය, ඔස්ට්‍රේලියාව වගේ රටවල කළා. කොරියාවේ සෝල්වල, ඩුබායි රාජ්‍යයේ මේ වැඩසටහන කරද්දී 800ක් වගේ පිරිසක් සහභාගි වුණා. 

සාම්ප්‍රදායිකව ගීතය විචාරය කරනවා වෙනුවට ගීතය කුමක්ද? කවිය හා ගීතය අතර තියෙන වෙනස, ඇයි අපි ගීතයක් අහන්නෙ? ගීතය තුළ පද රචකයාගේ අත්දැකීම, අනුභූතිය සමඟ ගී තනුව සහ ගායනය සිදුවෙන්නෙ කොහොමද? එයින් ගීතයේ රසයට සිදුවන බලපෑම අප විමසනවා. නිර්මාණයට කිසිදු හානියක් නොවන විදිහට එය ගායනා කරන පිරිසක් ඉන්නවා කණ්ඩායම තුළ ඉනෝකා අහංගම, දේවිකා චතුරාණි වැනි ශිල්පිනියන් එයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. පාසල්, විශ්වවිද්‍යාල, බැංකු, කර්මාන්තශාලා වගේ ආයතනවල මේ වැඩසටහන් පවත්වනවා. මෙවර මහනුවර ධර්මරාජයේ මේ වැඩසටහන පැවැත්වීම පිළිබඳ මං ඇත්තටම සතුටු වෙනවා. මහනුවර රසියකයන්ගෙන් තිබුණු ඉල්ලුම අනුව මෙය කලින් පවත්වන්න හිටියේ. ඒත් ඒ කාලයේ කොවඩ් වසංගතය නිසා අපට හදිසියේම ප්‍රසංගය දින නියමයක් නැතිව කල් දමන්නට සිදු වුණා. ලංකාවේ පළමු බෞද්ධ පාසල් අතරින් එකක් ධර්මරාජය. මං ආනන්දයේ. ඒ වගේ ම ධර්මරාජයේ ආදි බාලදක්ෂ සංගමය තමා මෙය සංවිධානය කරන්නේ. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් ඒ කාර්යයට යළිත් අවතීර්ණ වීම ඇත්තටම හොඳ දෙයක්.

වර්තමානයේ රසවින්ඳනය කරන පිරිස අවමය. නියම රස වින්ඳනයක් ඇති පිරිසක් බිහි වීමට හොඳ නිර්මාණ බිහි විය යුතුයි. හොඳ නිර්මාණ බිහිවීමට මෙන් ම රසකාමී හදවත් බිහිවීම උදෙසා සුදුසු වටපිටාවක් වර්තමානයේ ඇද්දැයි සැක සහිතයි නේද?

අද කාලෙ හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. වාණිජ රැල්ලත් එක්ක. පවතින සමාජ ප්‍රවණතා එක්ක තමයි මිනිස්සු ගනුදෙනු කරන්නෙ. ඉල්ලුමට අනුව සැපයුම දෙන සමාජයක නිර්මාණය, ගීතය, කලාවට ගොඩනැඟෙන්නට අමාරුයි. අපේ යුගය මීට වඩා වෙනස්. සමාජයේ සංකීර්ණත්වයක් තිබුණේ නැහැ. විඳින්න හිතන්න පුළුවන් පරිසරයක් තිබ්බා. ඒත් අද එහෙම නැහැ, ඒ නිසා ඒ වගේ යුගයක උඩුගං බලා පීනන්න දරන උත්සාහයක් තමයි මේක‍. හොඳ රසවින්ඳනයක් තියෙන පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ට ගොඩනැගෙන්න පරිසරයක් නැහැ. හොඳ නිර්මාණ බිහිවු‍ණත් ඒවාට පැවැත්මක් නැහැ. කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමයි අද හොඳ නිර්මාණ බිහිවෙන්නේ.

“හන්තානට පායන හඳ“ ගීතය ලියන්නට හේතු වු කරුණු ගොන්නක් තිබෙනවා කිව්වොත්?

ඇත්තටම හන්තානට පායන සඳ ගීතයට පාදක වෙන්නෙ එක් සිදු වීමක් පමණක් නොවෙයි. මං ඉස්සර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා ගාමිණී හත්තොටුව මහත්තයගෙ නාට්‍යය වැඩවලට‍. ඉතිං මං පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ ඇතුළෙ පාරවල් දිගේ ඇවිදගෙන යනවා තනියෙන්. ඒ යන අතරමඟදී නෙත ගැටෙන සමහර දර්ශන හරිම සුන්දරයි‍. මං හිතුවා පේරාදෙණිය සරසවිය ගැන ගීතයක් හරි කවියක් හරි ලියනවා කියලා. ඒ වගේ ම ‘හුලවාලි’ චිත්‍රපටයේ තමන්ගෙ බිරිය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යද්දී ඒ අනියම් පුරුෂයාට බිරිය කරන ආදරේ දැකලා තමන්ගෙ ආදරේ පරිත්‍යාග කරනවා. ඔවුන් දෙදෙනාගේ සතුට වෙනුවෙන් මේ අත්දැකීම් එක්කම අර ජනප්‍රිය කතාව මගේ පන්ති ආපු ශිෂ්‍යයාගේ ප්‍රේමයේ කතාව මේ සියල්ල හන්තානට පායන සඳට හේතු සාධක වුණා. මුලින් කවියක් වෙලා පසුව ගීතයක් බවට පත් වුණා.

අද දවසේ නව පරපුරේ බොහෝ ගී පද රචකයෝ ඉන්නවා. ඒ පරපුරට මොනවද ඔබ කියන්නේ?

ගීත රචනා කිරීමවත් රස වින්දනයවත් පාඨමාලා හදාරලා කරන්න බැහැ. ගීතයේ රසය ඇතිවෙන්නෙ පදවැල් අතර තියෙන සජීවී බවෙන්. ඒ නිසා ඒ ජීව ගුණය හදාරන්න ඕනේ. පැරණි ගීත අධ්‍යයන කිරීම තමයි කෝඩුකාරයින්ට මේ ක්ෂේත්‍රයේ බබළවන්න කරන්න පුළුවන් එකම දේ. ඒ හැදෑරීම තුළින් ලැබෙන අත්දැකීම, සජීවීබව, ගොඩක් වටිනවා. අධිවේගී සමාජ ක්‍රමය ඇතුළේ ඒ වගේ කෝඩුකාරයන්ට මං සුබ පතනවා. ආශිර්වාද කරනවා. ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, අජන්තා රණසිංහ වැනි සජීවී රසකාමීන් එදා ලියූ ගී අදත් අප බොහෝ කැමැත්තෙන් විඳිනවා. ඒ ගීත තුළ, පද තුළ ඇති ජීව ගුණය නිසයි. උසස් රසවින්දනය තුළ ගීතයක මුල් පද දෙකෙන් රසිකයා ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ ප්‍රවේශයයි වැදගත්. ඉන්පසු රසිකයා තමයි ගීතය විඳගන්නෙ. ගීතය ති‍යන්නෙම කියන තැනට වඩා විඳින තැන.

Comments