ලොවම වසඟ කළ ඉන්දියාවේ ‘නාටු නාටු’ ඔස්කාර් සම්මානයත් දිනයි | Page 3 | සිළුමිණ

ලොවම වසඟ කළ ඉන්දියාවේ ‘නාටු නාටු’ ඔස්කාර් සම්මානයත් දිනයි

ඉන්දියානු සිනමාවට සුවිසල් ගෞරවයක් හිමි කර දෙමින් එරට චිත්‍රපට ගීතයක් මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේ සම්මානයට පාත්‍ර වුණා. පසුගිය 12 වැනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී ‘හොඳම ගීතය’ ලෙස මේ ආකාරයෙන් සම්මානයට පාත්‍ර වූයේ RRR චිත්‍රපටයේ ‘නාටු නාටු’ නමැති ගීතය යි.

එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද RRR තෙලිඟු සිනමාපටයේ එන මෙම ගීතය පසුගිය කාලයේ ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිනමා රසිකයන් වසඟයට ගත් ගීතයක් වූ බව බොහෝ දෙනෙකුට රහසක් නොවෙයි. සැබැවින්ම එය මෑත කාලයේ ඉන්දියානු සිනමාව තුළ බිහි වූ ආකර්ෂණීය ගීතයක් ලෙස හැඳින්විය හැකියි.

‘නාටු නාටු’ හොඳම ගීතය ලෙස ඔස්කාර් සම්මාන දිනාගත්තේ ලොව සුපිරි ගායන ශිල්පීන් කිහිප දෙනෙකුගේම ගීත පරාජය කරමින්. මෙවර මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ ගීත අතරට ලේඩි ගාගා, රියානා වැනි බටහිර සංගීත ලෝකයේ දැවැන්තයන්ගේ ගීත ද ඇතුළත් වුණා. ටොම් කෲස් ප්‍රධාන චරිතය රඟ පෑTop Gun: Maverick චිත්‍රපටය වෙනුවෙන් ලේඩි ගාගා ගැයූ Hold My Hand නමැති ගීතය සහ Black Panther: Wakanda Forever චිත්‍රපටය වෙනුවෙන් රියානා ගැයූ Lift Me Up නමැති ගීතය ද හොඳම ගීතය සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. නමුත් ඉන්දියාවේ ‘නාටු නාටු’ අබිබවා යාමට එම ගීතවලට හැකි වුණේ නැහැ.

‘නාටු නාටු’ ඔස්කාර් සම්මානය දිනා ගැනීම ඉන්දියානුවන් තුළ මහත් උද්දාමයක්, ආඩම්බරයක් ඇති කළ සිදුවීමක් වුණා. අගමැති නරේන්‍ද්‍ර මෝදි ද මේ ගැන ඔහුගේ ට්විටර් පිටුවේ සටහනක් පළ කර තිබුණා. “අපූරුයි ! ‘නාටු නාටු’ මුළු ලෝකයේම ජනප්‍රිය වුණා. මෙය තව අවුරුදු ගණනක් යනතුරුත් අමතක නොවන ගීතයක් වේවි. එම්. එම්. කීරවානි, චන්ද්‍රබෝස් ඇතුළු සමස්ත කණ්ඩායමටම මෙම අගනා සම්මානය වෙනුවෙන් සුබ පතනවා. මෙය මුළු ඉන්දියාවටම මහත් ආඩම්බරයට සහ උද්දාමයට කාරණයක්” යයි අගමැතිවරයා සඳහන් කර තිබුණා.

මෙම අපූරු ගීතයේ සංගීතය නිර්මාණය කළේ අති දක්‍ෂ සංගීතඥයකු වන එම්. එම්. කීරවානි යි. පද රචකයා චන්ද්‍රබෝස්. ගීතය ගායනා කළේ කාල භෛරව සහ රාහුල් සිප්ලිගුංජ් යන දෙදෙනා යි. ඉන්දියානු චිත්‍රපට ගීතයක් ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. මෙයට පෙර 2008 වසරේ Slumdog Millionaire චිත්‍රපටය වෙනුවෙන් ඒ. ආර්. රහ්මාන් නිර්මාණය කළ ‘ජායි හෝ’ ගීතයට ද ඔස්කාර් සම්මානයක් හිමි වුණා. නමුත් Slumdog Millionaire ඉන්දියානු නිෂ්පාදනයක් නොවෙයි. ඩැනී බොයිල් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද එය බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්.

ඔස්කාර් සම්මාන උලෙළට කලින් දවසේ රහ්මාන් ද ‘නාටු නාටු’ ගැන අදහස් දක්වා තිබුණා. ‘නාටු නාටු ඔස්කාර් සම්මානය හිමි කරගනු දකින්නට මාත් ආසාවෙන් සිටිනවා. එය ග්‍රැමී සම්මානයක් දිනාගනු දකින්නටත් මා කැමැත්තෙන් සිටියා. අප කාට හෝ ලැබෙන එවැනි සම්මානයකින් ඉන්දියාව ඉහළට මතු වෙනවා. අපේ සංස්කෘතිය ගැන යොමුවන අවධානය ඉහළ යනවා’ යයි ඔහු පවසා තිබුණා.

‘නාටු නාටු’ ගීතයේ ජනප්‍රියත්වයට සහ සාර්ථකත්වයට එහි ඇතුළත් වූ අපූරු නර්තනයත් සුවිසල් හේතුවක් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ RRR චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන එන්. ටී. රාමරාඕ සහ රාම් චරන් යන දෙදෙනා යි. එම නර්තනය නිර්මාණය කරන ලද්දේ ප්‍රේම් රක්‍ෂිත් නමැති නර්තන අධ්‍යක්‍ෂවරයා විසිනුයි.

මෙම ගීතය ඉදිරිපත් කිරීමේ දී මුහුණ දුන් අභියෝග ගැන රාමරාඕ පසුගිය දිනෙක සඳහන් කර තිබුණා. එම නර්තනයේ සමහර තැන්වල රාමරාඕ සහ රාම් චරන් එකම විදියට සමාන්තර ඉරියව් පාමින් රඟපානවා. නර්තන ඉරියව්වලට වඩා අසීරු වූයේ දෙදෙනාම එකට, සමාන්තරව, එකම රිද්මයකට එම ඉරියව් ඉදිරිපත් කිරීම බවයි රාමරාඕ පවසා තිබුණේ. ‘අපි දිනකට පැය තුන බැගින් මෙහි පුහුණුවීම්වල නිරත වුණා. රූපගත කිරීම සිදු කළ දිනවල වගේම ඊට සතියකට පමණ පෙර සිටත් අපි පුහුණුවීම් කළා. එහිදී වැඩිම අවධානයක් යොමු වුණේ එකම රිද්මය පවත්වා ගැනීම සම්බන්ධව යි’ ඔහු පවසා තිබුණා.

මෙම ගීතය රූපගත කර තිබුණේ මේ කාලයේ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන නායකයකු බවට පත්ව සිටින යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට වීමත් විශේෂත්වයක්. මෙම මන්දිරය හැඳින්වෙන්නේ මැරියින්ස්කි මාලිගය යන නමින්. සෙලෙන්ස්කි ද ජනාධිපති වීමට පෙර කලාවට සම්බන්ධව සිටි කෙනෙකු බව රහසක් නොවෙයි. ඔහු විකට නළුවකු ලෙස සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටියා. කෙසේ හෝ වේවා, මේ වනවිට යුක්රේනය දරුණු යුද ගැටුමකට මැදි වෙලයි සිටින්නේ. එම යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ රුසියානු හමුදා එරට ආක්‍රමණය කිරීමත් සමග යි. ‘නාටු නාටු’ ගීතය රූපගත කර තිබුණේ ඊට මාස කිහිපයකට පෙර 2021 අගෝස්තු මාසයේ යි.

සෑම වසරකම ඔස්කාර් වේදිකාව මත ගීත සහ නර්තනාංග කිහිපයක් ඉදිරිපත් කෙරෙනවා. මෙවර ඒ සඳහා ‘නාටු නාටු’ ගීතයත් තෝරාගෙන තිබුණා. එම ගීතය අවසන් වීමෙන් පසු ප්‍රේක්‍ෂකාගාරයේ සිටි අය අසුන්වලින් නැගී සිට ගෞරව දැක්වූ බවත් සඳහන්.

Comments