මගේ ගමන මගෙත් එක්ක තරග කර කර ඉස්සරහට යන එකයි | සිළුමිණ

මගේ ගමන මගෙත් එක්ක තරග කර කර ඉස්සරහට යන එකයි

 

උරේෂා රවිහාරි කියන්නේ හැමෝම ආදරේ කරන හඬක් හිමි සොඳුරු සම්මානිත ගායන ශිල්පිනියක්. ඇය කාලෙකින් ඇයගේම ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එය වෙනස්ම නිර්මාණයක්. පසුගිය 15 වැනිදා එළිදැක්වුණු මේ ගීතය ගැන සේම ඇයගේ අලුත් නිර්මාණ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ...

 

ඔබ කාලෙකින් වෙනස්ම නිර්මාණයක් එළිදක්වලා තියෙනවා?

මම බොහෝ නිර්මාණ කරලා තියෙනවා. නිතරම සිනමාව හෝ පුංචි තිරය වෙනුවෙන් ගීත පටිගත කිරීම් සිදුවෙනවා. නමුත් මගේම කියලා මම මෙතෙක් මියුසික් වීඩියෝස් කරලා තියෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිර්මාණ අතරත් මේක තමයි ගොඩක් මහන්සි වෙලා දැවැන්ත විදියට කළ පළමු නිර්මාණය.

මේ අලුත් නිර්මාණය ගැන කතා කළොත්?

“ඔබ කොතැනද

මා මෙතනයි

මා කොතැනද

ඔබ එතනයි

අහන්න මේ ඇහුනාද

චන්ද්‍රයා වගේමයි ඔබ...“මේ ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ. සංගීතවත් කළේ උදාර සමරවීර. ආදර ගීත බොහොමයක් මම මේ වෙද්දී ගායනා කරලා තියෙනවා. ඒ නිසා ටිකක් වෙනස් විදියේ ගීතයක් කරන්න මට අවශ්‍ය වුණා. ගායිකාවක් විදියට සමාජයේ නිතරම කතා නොකෙරෙන මාතෘකාවක් ඔස්සේ ගීත නිර්මාණය කරන්න ආසාවක් තිබ්බා. ඒ නිසා මම කාලයක් තිස්සේ හොයා හොයා හිටියේ ටිකක් වෙනස් විදියේ සින්දුවක්. මම උදාර මල්ලිට කියලා තිබ්බේ වෙනස් විදියේ මෙලඩි එකක් ආවොත් මට එවන්න කියලා. ඔය අතරේ තමා මට උදාර දවසක් කිව්වේ හොඳ වචන ටිකක් හම්බවුණා. ඒකට අක්කාගේ හඬ හිතාගෙන මෙලඩි එකක් දැම්මේ පොඩ්ඩක් මේක අහලා බලන්න කියලා. ඒක අහපු ගමන්ම මට ඒ මෙලඩි එකත් එක්ක වචන ටික ඔළුවට ගියා. වෙනස්ම වචන ටිකක්. වෙනස්ම මාතෘකාවක්. මේ ගැන සමාජයේ ගැහැනු අය කතා කරන්න චකිතයක් තියෙනවා. නමුත් මේක 90%ක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ගීතය තුළ තියෙන්නෙත් කාන්තාවන් සතු දරා ගැනීමේ හැකියාව කොච්චර ද? කාන්තාව කොතරම් ශක්තිමත් ද කියන එක.

එච්චර හිතට දැනුණු ගීතය කරන්න ඇයි අවුරුද්දක් වගේ කාලයක් ගත වුණේ?

ගීතය ලැබිලා, මම ගයිඩ් එකක් සින්ග් කරලත් අවුරුද්දකට පස්සේ තමයි හිතුවේ මේ කාලය හොඳයි ගීතයක් විදියට මෙය එළිදක්වන්න කියලා. මට හිතුණා මේ කාලයේ මගේ ගීතයක් එන්නම ඕනේ කියලා. එකපාරට නිර්මාණයක් කරනවට වඩා, ඒ නිර්මාණය එක්ක මම ටික කාලයක් ඉඳලා, මුලින්ම මම ඒ ගීතය ඇතුළේ ජීවත් වෙලා මටම දැනෙන්න ඕනේ මේක හොඳ නිර්මාණයක් මේකට අනිත් අයත් කැමති වෙයි කියන දේ. ඉතින් මේ ගීතය මම ගොඩ කාලයක් වින්ඳා. උදාර සහ චාරුකත් එහෙමයි. අපි හැමෝම මේ ගීතය ඇතුළේ ටික කාලයක් ජීවත් වුණා. දවසින් දෙකෙන් නිර්මාණ කරන්න මම කැමැති නැහැ. එහෙම නිර්මාණ තියෙන්නෙත් ටික කාලයයි.

ගීතය එළිදැක්වුණේ රූප රචනාවක් එක්කමයි, කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය එළිදැක්වුණේ පසුගිය 15 වැනිදා. එදා ඉඳන් මේ දක්වාම ඉතාම හොඳ ප්‍රතිචාර මටත් ගීතයට සම්බන්ධ වුණු අනෙකුත් ශිල්පීන්ටත් ලැබෙනවා. ඒ ගැන ඇත්තටම තියෙන්නේ නිහතමානී සතුටක්. විශේෂයෙන්ම මෙතැනදී ගිටාර් සහ මැන්ඩලීනය වාදනයන් එකතු වුණු බුද්ධික පෙරේරා සහ රූප රචනාව කළ චාරුක දුෂ්මන්තව මතක් කරන්න ඕනේ. බුද්ධිකගේ ගිටාර් වාදනය නිසා ගීතය තවත් ලස්සන වුණා වගේම ගීතයේ අරුතට වඩාත් උචිත පරිදි ලස්සන රූප රචනාවක් චාරුක නිර්මාණය කර දුන්නා. ඒ එක්කම එහි අගය වැඩි වුණා නදීෂා හේමමාලි සහ ගයාන් වික්‍රමතිලක නිසා. මම හිතනවා මගේ හිතේ තිබුණු ලොකු සිහිනයක් සැබෑ වුණා කියලා මේ සින්දුව එක්ක.

මෑත කාලයේ සිනමා පසුබිම් ගායිකාවක් විදියට සමීප වෙන නිර්මාණ මොනවද?

සිනමාපට 20කට වැඩි සංඛ්‍යාවක් එන්න තියෙනවා. ඒ අතරින් මම හිතනවා ළඟදීම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා සහ සිහින අනන්තේ කියන චිත්‍රපට දෙක තිරගත වෙයි කියලා. මම චිත්‍රපට පසුබිම් ගායිකාවක් නිසාම තමයි මගේම කියන ගීත වැඩිපුර නිර්මාණය නොවුණෙත්. කොහොම වුණත් මට අවශ්‍ය විදියේ නිර්මාණ චිත්‍රපට ගීත විදියට ගායනා කරලා තියෙනවා.

ඔබ මේ වන විට ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවද?

අන්න ඒක තමයි ප්‍රශ්නය. මම ඒක ඇත්තටම ගණන් කරලා නැහැ. ඒක මම හිතන්නේ මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. නමුත් මේ වෙද්දී මම විශාල ගීත ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. නව පරපුර එක්ක ගායනා කළ යුග ගීත තියෙනවා. ඒ තුළ මගේම නිෂ්පාදන විදියට එළියට ආව ගීත හරිම අඩුයි. ඒක එහෙම වෙන්න හේතුව මට එහෙම ගීත නිර්මාණය කරන්න අවශ්‍යතාවක් ඇති වෙලා නැති නිසා. හැබැයි මම හිතුවා මේ ගීතයෙන් පස්සේ විවිධ තේමාවන් ඔස්සේ ගැයෙන මගේම ගීත කිහිපයක් නිර්මාණය කරන්න ඕනේ කියලා.

පුංචි කාලෙන් පටන් ගත්ත සංගීත ගමනේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. මම අවුරුදු 8න් මේ ගමන පටන් ගත්තේ. එදා ඉඳන් සෑහෙන කාලයක් සංගීත ජීවිතේ මම ඇවිත් තියෙනවා. මම හිතන්නේ නැහැ මම දැන් ආව ගමන ඇති, ඒ නිසා තව නිර්මාණ කරන්නේ නැහැ කියලා. එහෙම හිතලා එක තැන පල්වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. විවිධ විදියේ නිර්මාණවලින් මම මගේ ප්‍රේක්ෂකයන් අතරට එන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි මේ විදියේ වෙනස් නිර්මාණයක් ලැබුණාම කරන්නම ඕනේ කියලා හිතුණේ. මම හිතන්නේ ඕනෙම කෙනෙක් තමන්ගේ පැවැත්ම තියා ගන්න ඕනේ. ඒ පැවැත්ම එක්ක තමයි ගමනක් තියෙන්නේ. කෙටි කාලයකින් අහලා එපා වෙන නිර්මාණ කරන්න මම ආස නැහැ. මම හිමින් ගමනක් ආවේ. ඒ ගමන මම ඒ විදියටම ඉස්සරහට යනවා. කලබලයක් හෝ හදිස්සියක් නැහැ. කා එක්කවත් තරගයක් නැහැ. මගේ ගමන මගෙත් එක්ක තරග කර කර ඉස්සරහට යන එක තමයි මම කරන්නේ.

පුතාත් සංගීතයට නැඹුරුවක් තියෙනවද?

දැන් පුතාට වයස අවුරුදු 10යි. එයා සංගීතයට ආසයි සහ ගීත ගායනා කරන්න හොඳ හැකියාවක් තියෙනවා. මගෙත් එක්ක රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම ගීත ගායනා කළා. මම ඇත්තටම එයාට තවම සංගීත දැනුම ලබා දෙන්න උත්සහ කරලා නැහැ. දරුවෙක් අනෙකුත් විෂයන් කරන අතරේ සෞන්දර්ය විෂයක් කරන එක මානසිකවත් හොඳයි. ඉදිරියේදී පාසලේදීත් සෞන්දර්ය විෂයක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා. එතැනදී පුතා සංගීත විෂය තෝරා ගනී. එයා කැමති පැත්තට යන්න මම උදවු කරනවා.

ඔබේම ගීත තුළින් ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් තියෙනවා බොහෝ කාලයකට කලින් ඉඳලම. නමුත් මම හිතනවා මේ කාලය ඒකට සුදුසු නැහැ කියලා. මේ කාලයේ හැමෝම ඉන්නේ ආර්ථික අර්බුද එක්ක. ඉතින් තව ටික කාලයක් ඉඳලාම ඒක මම කරනවා කියලා හිතුවා. මොකද ඒක ඇත්තටම තාම සැබෑ කර ගන්න බැරි වුණු මගේ සිහිනයක්. හැබැයි අනිවාර්යෙන්ම ඉදිරියේදී මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වනවා. ඒ සිහිනය දකින්න බලාපොරොත්තුවෙන් තමයි මම විවිධ නිර්මාණ එකතුවක් කරන්නෙත්.

එදා පටන් අද දක්වා ඉන්න ආදරණීය රසික රසිකාවියන්ට කියන්න දෙයක් ඇති

මාව මේ තැනට ඔසවලා තියලා තියෙන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන්. මගේ අම්මා තාත්තා මට සංගීතය සපයපු සංගීත අධ්‍යක්ෂකවරු ගීපද රචකයන් මේ හැමෝම පුදුම විදියට මට අත දීලා ගෙනාව වගේම මගේ ආදරණීය රසික රසිකාවියන් මාව හැමදාම ඔසවලා තියලා තියෙනවා. මම මගේ හඬින් විවිධ නිර්මාණ කරලා ප්‍රකාශ කරන්නේ ඒ අයට මගේ හිතේ තියෙන ආදරේ සහ ගෞරවයයි.

Comments