ඇය මාව ගොඩක් විශ්වාස කරන නිසා මගේ ගමන යන්න හරිම පහසුයි | සිළුමිණ

ඇය මාව ගොඩක් විශ්වාස කරන නිසා මගේ ගමන යන්න හරිම පහසුයි

 

මන්මත් කරවන හඬ පෞරුෂය ඔහුව සිහින තරුව දක්වා ඔසවා තැබුවා වගේම දෙස් විදෙස් පුරා ඔහුගේ හඬ රාව ප්‍රතිරාව දෙන්නට ද සමත් විය. ඔහු ගායකයෙක් ලෙස ඔසවා තැබූ ජන ගඟට සාධාරණය ඉටු කරමින් කලා අම්බරේ බැබළෙන්නේ දිගු ගමනකට පෙර නිමිති පහළ කරමිනි. ඔහු සුනීර සුමංගයි . අද පිළිසඳර ඔහු සමඟයි.

 

 තරු සංකල්පය තුළින් බිහිවන තරු පායන සැණකින් කඩා වැටෙනවා. කලා අඹරේ හැමදාම බැබළෙන්න ඔබ කරන ව්‍යායාම් මොනවාද?

එය එක් එක්කෙනා තෝරා ගන්නා මාර්ගය හා ප්‍රේක්ෂක පිරිස අනුව සාපේක්ෂ දෙයක්. බටහිර සංගීතයට ළැදි, පොප් ,රැප් ගීත අහන ප්‍රේක්ෂක පිරිස මගේ ගීත රසවින්දනය කරනවා අඩුයි. සම්භාව්‍ය ගීත රසවින්දනය කරන යම් ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක් රොක් වී සිටිනවා. ඒ නිසා මුලින්ම මගේ ප්‍රේක්ෂක පරාසය හඳුනා ගැනීම අවශ්‍යයි. ඒ වගේම මට දැනෙන දෙයක්, ගීත නිර්මාණ තුළින් මම ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. මුලින්ම මම කරන නිර්මාණය මට දැනෙන්න අවශ්‍යයි. ගීතයක් කරලා එය හිට් කරන්න මහන්සි වෙනවට වඩා හෙමින් ගමනක් යාමයි මගේ එකම පරමාර්ථය. ඇල්බම් කිහිපයක් කර මගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් තුළින් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන ගමනක් යෑමයි මගේ එකම අරමුණ.

 ගීතයක් නිර්මාණය කිරීමට පෙර ප්‍රේක්ෂක රස වින්දන පරාසය පිළිබඳ අධ්‍යයනයක්, පරීක්ෂණයක් ඔබ සිදු කරනවා ද?

රසිකයන් රචනා කළ, සංගීතවත් කළ ගීත බොහොමයක් මේ වන විට මම ගායනා කර තිබෙනවා. ඒ නිසා ප්‍රේක්ෂක රස වින්දන පරාසය ගැන අවධානය යොමු කළේ නැහැ. මේ වන විට මගේ ගීත 75 කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එයින් ගොඩනැගුණු මගේ ප්‍රේක්ෂක පිරිසගේ රුචිකත්වයට හානි නොවන ලෙස ගීත නිර්මාණය කිරීමට මම වග බලා ගන්නවා. යම් නිර්මාණයක් තුළින් වගේ පෙර පැවති ප්‍රේක්ෂක බහුතරය මගෙන් ගිලිහිලා අලුතෙන් යම් ප්‍රේක්ෂක පිරිසක් එක් වුණත් එය සාර්ථක උත්සාහයක් ලෙස මම දකින්නේ නැහැ .මට අවශ්‍ය මගේ ප්‍රේක්ෂකාගාරය මා තුළම රඳවා ගනිමින් තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් මා වටා එක්රොක් කර ගැනීමයි.

 

 ගීතයක් ප්‍රේක්ෂකයන් අතරට සම්ප්‍රේෂණය කිරීමට රූප රචනාවක් අත්‍යවශ්‍යමද

මගේ ගීතයක් නුදුරේ දී පිටවුණා. එයට විෂුවල් එකක් නැහැ. නමුත් එය නොසිතූ විරූ ලෙස විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වන විටත් වැලඳගෙන තිබෙනවා. තමන්ගේ ප්‍රේක්ෂක පිරිස තමන් තේරුම් අරන් සිටිනවා නම් ගුණාත්මක නිර්මාණයකට රූප රචනාවක් අත්‍යවශ්‍යම නැහැ. එසේ නොවුණත් මිනිසුන් එය ආදරයෙන් වැලඳ ගන්නවා නමුත් රූපවාහිනිය තුළ ප්‍රචාරය කිරීමට රූප රචනාවක් අවශ්‍ය වෙනවා.

 

 ඇතැමුන් ගීතයක් හිට් කරන්න negative මාර්කටින් පාවිච්චි කරනවා. ඒ නිසා ඇතැම් විට නොගැළපෙන රූප රචනා තවත් ගීතයට එක් කරන අවස්ථාත් දැකගන්න පුළුවන්. ඔබ එකී ප්‍රවණතාවය දකින්නේ කොහොමද?

වර්තමානය වන විට කනට කලින් ඇස පිනවන්න අවශ්‍යයි. සමාජ මාධ්‍ය තුළ පවා මිනිස්සුන්ට ලින්ක් එකක් ක්ලික් කරන්න යම් පෙලඹවීමක් ඇති කළ යුතුයි. එහිදී negative marketing යොදා ගැනීම වරදක් ලෙස මම දකින්නේ නැහැ. ගීතයක් මූල්‍යමය පරමාර්ථයට පරිවර්තනය කරනකොට සංස්කෘතිය ගැනම හිතන්න අමාරුයි. ඇසැබි වචන, ලිංගික දර්ශන වැනි ගීතයට බරපතළ හානි නොවන විදියට වගේම ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට හානියක් නොවන ලෙස negative marketing කිරීම ගැටලුවක් ලෙස මම දකින්නේ නැහැ. විදේශ රටවල ගීතයක් කරන විට කොටු වීමක් වගේම හිරවීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් නිදහසේ එම ගීත නිර්මාණය කර ලොකු ආදායමක් ලබනවා වගේම දෙස් විදෙස් රටවල් එය වැලඳ ගන්නවා. නමුත් අපගේ ගීත තුළ ඇති හිරවීම එකී තත්ත්වයට මඟ අහුරවනවා.

 

 ඔබත් කාලෙන් කාලෙට එන රැලිවලට ගීත ගායනා කරන්නෙක්ද?

නැහැ. මම රැලි එක්ක ගහගෙන යන්නේ නැහැ. මම වෙනම ගමනක් වෙනම අරමුණක් ඇතිව ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙක්. ඒක පුද්ගල ප්‍රසංගයක් කිරීමේ අරමුණින් මං මගේ ගීත නිර්මාණය කරනවා. මම හිතනවා සම්භාව්‍ය රාගධාරී සංගීතයට අනාගතයේදී විශාල පිරිසක් ගොඩ නැගේවි කියලා.

 

 ප්‍රවීණයන්ගේ කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිදු වුණා ද?

මගේ මූණට කවුරුවත් බැණලත් නැහැ. මූණට මොකුත් කියලත් නැහැ. මටත් යම් යම් දේවල් කියනවා කියලා ආරංචිවෙලා තියනවා. බහුතර ප්‍රවීණයන් පිරිසක් මට ගොඩක් ආදරෙයි . ඒ වගේම බොහොමයක් දෙනා මට අතහිත දෙනවා. ඒ නිසා කැපිලි කෙටිලි ගැන ලොකුවට හිතන්නෙ නැහැ.

 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද

කෙනෙක් මගේ ගීතයක් අහල මුළු ජීවිත කාලෙටම ඒ ගීතය අමතක නොවන තැනක තියා ගන්නවා නම් මම එතැනදී සාර්ථකයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම මූඩ් එක ෆික්ස් කරන්න මාව හොයන් එන තැනට සාර්ථක ඒක පුද්ගල ප්‍රසංගයක් කිරීමයි මගේ එකම පරමාර්ථය.

 

 සුනීර දැන් පෙම්වතෙක් ද

ඔව්. ඇය තරුෂි දෙව්දිනි. ඇය මගේම පාසලේ ඉගෙන ගත් කෙනෙක්. අපගේ ආදර සම්බන්ධයට අවුරුදු හයක් පමණ වෙනවා. ඇය මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබාදෙන නිසා වගේම මාව ගොඩක් විශ්වාස කරන නිසා මගේ ගමන යන්න මට හරිම පහසුයි.

Comments