පවුල් ජීවිතේ ඇතුළෙ මේ අඩුපාඩු සිද්ධ වෙන්න දෙන්න එපා | සිළුමිණ

පවුල් ජීවිතේ ඇතුළෙ මේ අඩුපාඩු සිද්ධ වෙන්න දෙන්න එපා

පවුල් ජීවිතයක් ගෙවනවා කියන එක පිටතින් පෙනෙන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. විවාහය බොහොම සංකීර්ණ බැඳීම් ගොඩක් එක්ක බැඳිලයි තියෙන්නේ. දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් හරි පුංචි අඩුපාඩුවක් වුණොත් එතැන ඉඳලා ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. බිරිය හැටියට ඔබගේ අතිනුත් මේ අඩුපාඩු වෙනවද කියල ටිකක් හිතලා බලන්න. එහෙම නම් ඉක්මනින්ම ඒ වැරදි නිවැරැදි කරගන්න වගබලා ගන්න. එහෙම නැත්නම් ඔබේ සැමියාට වැඩි කල් නොගිහින් විවාහ ජීවිතය නීරස වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඊට පස්සේ වෙන ප්‍රශ්න ගැන ඔයාට අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඒ නිසා අද දැනුම්වත් කරන්න යන්නේ ඔබේ අතින් සැමියාට නොදැනුවත්වම සිද්ද වෙන්න පුළුවන් වැරැදි කිහිපයක් ගැනයි.

ආදරය නොපෙන්වීම

බොහෝ දෙනෙක් ආදරේ කළත් ඒක අනිත් කෙනාට පෙන්නන්නේ නැහැ. එහෙම වුණාම එයා දන්නේ නැහැනේ ඔබ එයාට කොයි තරම් ආදරේ කරනවාද කියලා. දෙදෙනා අතර බැඳීම් දුරස් වෙන්න, ඔහුව අහිමි වෙන්න මේක හේතුවක් වෙනවා. ඒ නිසා දැනෙන්න ආදරේ කරන්න. වෙලාවක් ලැබෙන හැම මොහොතකම ආදරෙන් කතා කරන්න, ආදරණීය වෙන්න අමතක කරන්න එපා. එයා ළඟ නැති වෙලාවට ආදරණීය message එකක් යවන්න, call එකක් දෙන්න. එහෙම වුණාම ඔහුත් ඔයාගේ මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එනකන් බලාගෙන ඉඳීවි. ඔහු එක්ක ආදරේ බෙදාගන්න පුළුවන් කිසිම මොහොතක් මඟහැරගන්න එපා.

ඔහු ගෙදර ආපු ගමන්ම කියවිල්ල පටන් ගන්න එක

එහෙම වුණාම ඉතින් කාටත් ඔබව එපා වෙනවනේ. ඔහු මහන්සි වෙලා ගෙදර එනකොට ආදරෙන් පිළිගන්නවා වෙනුවට එද්දිම ගෙදර අඩු පාඩු list එක කියව ගෙන යනවා. එහෙමත් නැත්තන් මොකක් හරි වැරැද්දක් අල්ලාගෙන බණිනවා. ඔහුට මඟ හැරුණු දේවල් මතක් කරලා කෑගහන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් එහෙම වුණාම ඕනම මනුස්සයෙක්ට ජීවිතේ එපා වෙනවනේ. මහන්සි වෙලා හවසට ගෙදර එන සැමියාට ගෙදරට එන්නත් කලින් ඔයාගේ කරදර, ගෙදර අඩුපාඩුකම් කියන්න යන්න එපා. ඔහු ගෙදර එන්නේ කයටත් මනසටත් විවේකයක් ලබා ගන්න බව තේරුම් ගන්න. ඔහුව ආදරෙන් පිළිගන්න. ඔහු වෙනුවෙන් කළ යුතු උවැටන් නොපිරිහෙලා ඉටුකරන්න. නිදහස් වෙලාවක ගෙදර කරදර, අඩුපාඩුකම් ගැන කතා කරන්න.

අනෙකාගේ හැඟීම් තේරුම් නොගැනීම

ආදරේ කරන කාලේ අපි දෙන්නා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා කිව්වට, ඒ ගැන හරියටම තේරුම් යන්නේ විවාහ වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ. එතකොට නම් ඔය කියන කතා මුකුත් නැහැ. ආදරේදී මොන විදියට දැනුණත් හොඳින් මතක තියාගන්න ඔබ දෙදෙනා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් වන බව. එමෙන්ම දෙන්නාගේ අවශ්‍යතා අසමාන බව. ඒවා එකිනෙකට වෙනස්. මේ නිසා දෙදෙනාගේ අවශ්‍යතාවන් හොඳින් තේරුම් ගන්න. ඔබ බිරියක් විදියට සැමියාගේ හැඟීම්, අවශ්‍යතා, වුවමනා එපාකම් තේරුම් නොගත්තොත් සැමියා වෙනතක් යන්නත් ඉඩ තියෙනවා.

රස්සාව ගෙදරට ගේන්න එපා.

මේක වැඩිපුරම අදාළ වෙන්නේ රැකියාවක් කරන කාන්තාවන්ට. රැකියාවේ ප්‍රශ්නයි ගෙදර දොරේ වැඩයි පටල ගත්තම එක වැඩක් වත් හරියට කර ගන්න වෙන්නේ නැහැ. ඒක වෙන්නේ රැකියාවේ වැඩ ගෙදරදී කරන්න පුරුදු වුණාම තමයි. තවත් දෙයක් තමයි ඇතැමුන් ගෙදර ඇවිල්ලත් රැකියාවේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා. එහෙම වුණාම ඔබෙන් පවුලට වෙන්න ඕන යුතුකම් හා වගකීම් මඟහැරෙන නිසා පවුල තුළ ප්‍රශ්න ඇති වෙනවා. එය ඔබේ ආදරණීයන් ඔබෙන් ඈත් වෙන්න හේතුවක් වෙනවා.

අනෙකා වෙනුවෙන් කාලය වෙන් නොකිරීම

කාලයක් ගත වෙනකොට හැමදේම වෙනස් වෙලා දරුවෝ ලැබිලා කලින්ටත් වඩා ඔයා හුඟක් කාර්යබහුල වෙද්දී ඔබට ඔහු ගැන තියා ඔබ ගැනවත් හිතන්න කාලයක් ඉතුරු නොවෙන්න පුළුවන්. ඒක එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණත් ඔබ දෙදෙනා අතර ඇති බැඳීම දුරස් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා හැමතිස්සෙම බැරි වුණත් දවසට එක පාරක් හෝ ඔහුට කලින් වගේ ආදරෙන් ළං වෙන්න. එහෙම නොකළොත් ඔහු හුදකලා වෙනවා. එයින් ඔබේ පවුල් ජීවිතේ ඇති සබඳතාවයන් දුරස් වන්නට පුළුවන්.

(අන්තර්ජාලය ඇසුරෙන්)

Comments