
සඳ එළිය ගලනවා
පිපි මල් පෙති අතරින්
මහ පොළොව තෙමෙනවා
කෝමල සඳ වතුරෙන්
ඔබෙ දෙනෙත හොය හොයා
පායන තරු අතරින්
මම තවම ඉන්නවා
ඔබ එනතුරු කතරින්...
ඊයේ රෑ නිදි නොමැතිව ලතැවෙද්දි
ඔබ ඇවිදින් මගෙ මතකයෙ තනිවෙද්දි
තරු අඹර ඉරාගෙන සඳ මල පිබිදුණි
ඔබේ රුව ඒ සඳ වුවන පුරා සොයමි...
ඉස්සර සුන්දර මතකය දුක් දෙද්දී
ආයෙත් ඔබ පෙම් සිහිනෙක දැවටෙද්දි
දුරු කතර ගෙවාගෙන ඔබ වෙත ඉගිළී
පියඹා එන්නට තටු යුගලක් සොයමි...
ගායනය - සඳුන් ගමගේ
පද රචනය - ශාන්ත කුමාර විතන
සංගීතය නවරත්න ගමගේ
ඇය ඔහුට අපමණ ආදරය කළේය. ඔහු ඇයට ආදරය කළේ අතර මඟ අතහරින්නට නොවේ. නමුදු ඇය ඔහු අතහැරියාය. එපමණක් නොව අවසානයේ ඇය වෙනෙකෙකුගේ අතගෙන රට ද අතහැර ගියේය. ඇය ගිය පමණිත් ඔහුගේ සිත නිවුණේ නැත. සන්සුන් වුයේද නැත. විරහවෙන් තැවෙන ඒ හදේ සිතුවිලි අපමණය. මේ ගැයෙන්නේ ඔහුගේ දුක් ස්වරයයි.
දවසින් දවස අලුත් ගීත බිහි වෙනවා. අලුත් ගායකයෝ අලුත් නිර්මාණකරුවෝ බිහි වෙනවා. මේ අතර අපට අලුතෙන්ම හමු වූ ගායන ශිල්පියෙක් තමයි සඳුන් ගමගේ. ගායකයෙක් ලෙස කලඑළි බසින් ඔහු ගායන ලොවට අමුත්තෙක් වුණත් මාධ්‍ය ලෝකයට නම් ඔහු අමුත්තෙක් නොවෙයි.
ඔහුගේ මාධ්‍ය ජීවිතයට මේ වන විට වසර 22 ක් සම්පුර්ණ වී අවසානයි. ඡායාරූප ශිල්පියෙකු මෙන්ම ලේඛකයකු ලෙසද කටයුතු කරන සඳුන් ගමගේ ගයන මේ අලුත් ගීතය ගී පද රචකයකු මෙන්ම ලේඛකයකු, මාධ්‍යවේදීයකු වන ශකුවි අතින් ලියැවෙන්නේ මීට බොහෝ කලකට පෙරයි.
“මම මෙයින් බොහෝ කලකට ඉස්සර මේ පද ටික ලිව්වේ පුවත්පතේ අතිරේකයට. මේක දැකපු සඳුන් මල්ලි මගෙන් ඇවිල්ලා ඇහුවා මම මේක ගන්නද ගීතයක් ලෙස ගායනා කරන්න කියලා. මම බොහෝම කැමැත්තෙන් ඔහුට එය දුන්නා. ඇත්තම කිව්වොත් අවුරුදු දහයකට පහළොවකට වඩා මේ පද ටික පරණයි කිව්වොත් මම හරි. මොකද මේ පද ටික මට ලියැවෙන්නේ වට්ස්අැප්, මුහුණු පොත නොතිබුණ යුගයක.
මම දන්න ඒ කියන්නේ මගෙ මිතුරෙකුගේ අත්දැකීමක් තමයි මේ ගීතය සඳහා වස්තු විෂය වුණේ. මගේ මිත්‍රයා ගැහැනු ළමයෙක්ට බොහෝම ළෙන්ගතුව හිටියා. ඔවුන් නිතර හමුවුණා. කතා බහ කළා. ඇසුරු කළා. කාලයක් යාමේදි මේ හිතවත්කම පෙම් සබඳතාවක් දක්වා දුර ගියා. වසරක් පමණ ගත වෙන්න ඇති. ඇය ඔහුව අතහැර විදෙස් ගතවුණා. ඇය විදෙස් ගත වුණේ වෙනත් අයෙකු හා විවාහ වී. ඇගේ පෙම්වතා වෙලා හිටිය මගේ මිත්‍රයා මේ ප්‍රශ්නෙදි බොහෝ පීඩා වින්දා. ඇගේ අහිමි වීම ඔහුට දරා ගන්නට බැරි වුණා. ඒ අත්දැකීම තමයි “සඳ එළිය ගලනවා“ ලියන්නට පාදක වුණේ. මම එය අහස් වියනට ලිව්වා. එය තමයි පසු කාලෙක සඳුන් මගෙන් ඇවිල්ලා ඇහුවේ අයියේ මම මේක ගන්නද කියලා. මම බොහෝම කැමැත්තෙන් එය ඔහුට භාර දුන්නා. ඇත්තටම සඳුන් එය අරගෙන බොහෝ කාලයක් ගත වුණා. නමුත් පසුගිය කාලයේ එය ගීතයක් ලෙස ඔහු ගයා තිබෙනු අසන විට මට සතුටක් දැනුණා. ඒ පදවලට ඔහු සාධාරණයක් ඉටුකර තිබෙනවා කියා මට හිතුණා. ඒ වගේම විශාරද නවරත්න ගමගේ සොයුරාගේ තනු නිර්මාණයත් හරි අපූරුවට ඒ පදවලට ගැළපී තියෙනවා.“
කලකට පෙර “සඳ එළිය ගලනවා“ තමන් අතින් ලියැවුණ අපූරුව ගැන ශාන්ත කුමාර විතානයන් පැවැසුවේ එසේය.
ශකුවි ලියූ ඒ ගී පද ගීතයක් දක්වා ගිය ගමන ගැන සඳුන් කියන්නේ මෙවැන්නකි.
මම ඉස්සර ඉඳලම ගීත ගයන්න කැමතියි. විවිධ රූපවාහිනි වැඩසටහන්වලට සහභාගි වූ විට මම ගී ගයා තිබෙනවා. ඔහොම ඉන්න අතරේ තමයි මට හිතුණේ මගේම ගීත කිහිපයක් කරන්න ඕන කියලා. නමුත් පසුගිය කාලේ රටේ තිබූ කොවිඩ් තත්ත්වයත් එක්ක එය මඟ හැරී ගියා. නමුත් ඒ කාලය මඟ හැරී යනවත් එක්කම මම සංගීතවේදී නවරත්න ගමගේට මේ පද ටික දුන්නා. ඔහු ටික දිනකින් මට ඒ පද වලට සංගීත නිර්මාණය කර දුන්නා. ඔහු මට දවසක කිව්වා ස්ටුඩියෝ එකට එන්න කියලා. .ඔහු කියපු දවසේ මම එහි ගියා. මට පුදුම හිතුණා. එදා එතැන මහින්ද බණ්ඩාර, දිනේෂ් බෝගොඩ ඇතුළු ප්‍රවීණ වාදන ශිල්පීන් රැසක් හිටියා. එදින මම ඔවුන් වාදනය කරන විදිහත් බලා හිටියා වගේම මගේ ගීතයත් ගයන්න පුහුණු වුණා. ඊට පසුදා තමයි අපි ගීතය පටිගත කළේ. මේ ගීතයට විෂුවල් නිර්මාණයක් කරන්න ඕන කියන හැඟීම මට තිබුණා. ඇත්තටම ඒ කටයුත්තට මට සහාය දුන්නේ මහීෂ දහම් මල්ලි. මේ ගීතයේ විෂුවල් නිර්මාණ කර තිබෙන්නේ ඉතාලියේදී. ඒ සඳහා මාලන් ප්‍රනාන්දු හා නිලූ ප්‍රනාන්දු තමයි පෙනී හිටියේ.
මම තවත් ගීත කිහිපයක් ම කර තිබෙනවා. මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ පළමු ගීතයට ලැබෙන මේ ප්‍රතිචාර මට බොහෝ වටිනවා.