එයාට ඕන මාව නිතරම තරගවලින් දකින්නයි | සිළුමිණ

එයාට ඕන මාව නිතරම තරගවලින් දකින්නයි

- එයා මට දොස් කිව්වෙ නැහැ ජීවිතේ ලස්සනම දවසෙත් එයා එක්ක කාලය ගත කළේ නැහැ කියලා
- වෙඩින් එකට කලින් දවසෙත් පුහුණුවීම්, වෙඩින් එකට පහුවදාත් පුහුණුවීම්. ඊට පස්සේ දවසෙත් මැච් එකක්. ඒ සේරම එක්ක බිරිය එක්ක ගෙදර කාලය ගත කරන්න බැරි වුණා 

2022 ජූනි 24 වැනිදා කුලුඳුලේම එක්දින තරග සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව එදා ක්‍රීඩා කළත් කාගෙත් කතාබහට ලක්වෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේ පසුගිය ආසියානු කුසලාන තරගයේදීය. එදා ඔහු පාකිස්ථානයට එරෙහිව කඩුලු හතරක් ලබා ගත් අතර, මුල්ම තරගයෙන් එසේ කඩුලු හතරක් ලබා ගැනීම කාගෙත් කතාබහට ලක් වූයේ එනිසාය. එදා අසල්වැසියන් ද ඔහුගේ නිවෙසට රොක් වී පුළුල් තිරයකින් තරගය නරඹා ඇත. ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ද ජයගත් ඔහු ප්‍රමෝද් මධුෂාන් ය. ආදරණීය පියාගේ සිහිනය ලුහුබැඳ ගොස් ක්‍රිකට් ක්‍රීඩාව ජය ගත් ප්‍රමෝද් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූයේ හදවතේ ආදර සිහින ද සැබෑ කර ගනිමිනි.

විවාහයත් සමඟ අලුත් වූ ජීවිතය ගැනත් ජීවිතය ගැන ඔහුට දැනෙන, හැඟෙන හැටි කතකරන්නත් ප්‍රමෝද් මෙලෙස අප සමඟ කතබහට එක් විය.

පසුගියදා ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝදෙ‍ෙනකුට මංගල සීනූ හැඬ වුණා වගේම ඔබේ මංගල සිහිනයත් සැබෑ වුණා. ජීවිතේ පෙරළුණු ඒ අලුත් පිටුව කොහොමද..?

විවාහ වෙලා තවම ටික දවසයි. සුන්දරයි කියලා හිතෙනවා. විවාහ මංගල්‍යය පැවැත්වුණේ ජනවාරි 26 වැනිදා. මාස දෙකක් වගේ පොඩි කාලයකින් තමයි වෙඩින් එකට ලෑස්ති වුණේ. බිරිය තමයි පවුල් දෙකේ අයත් එක්ක එකතු වෙලා සියලු දේ සැලසුම් කළේ. වෙඩින් එකට ආරාධනා කරන්න බැරි වුණා බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට. ඒකට හේතුව ඒ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් රටින් පිට සහ ලංකාවේ තිබුණු තරගවලට සහභාගි වෙලා හිටිය නිසයි. ඒ නිසා ළඟින් ආශ්‍රය කළ යහළුවන්, නෑදෑ හිතවතුන් ටික දෙනෙක්ගේ සහභාගීත්වයෙන් තමයි විවාහ උත්සවය පැවැත්වුණේ. 

ක්‍රීඩා කටයුතු නිසා තවම හරියට බිරිය එක්ක කාලය ගත කරන්නත් බැරි වෙන්න ඇති ..?

ඔව්, වෙඩින් එකේ වැඩ ඉවර වුණු ගමන් ක්‍රිකට් කණ්ඩායම නතර වෙලා හිටපු හෝටලයට ගියා, ඒ දිනවල තිබුණු තරග සඳහා සම්බන්ධ වෙන්න. තරග හා පුහුණුවීම් එක්ක තමයි වැඩි කාලයක් ගත වුණේ. වෙඩින් එකට කලින් දවසෙත් පුහුණුවීම්, වෙඩින් එකට පහුවදාත් පුහුණුවීම්. ඊට පස්සේ දවසේ මැච් එකක් තිබ්බා. ඒ සේරම එක්ක බිරිය එක්ක ගෙදර කාලය ගත කරන්න බැරි වුණා කිව්වොත් හරි. අපේ ජීවිතේ රටාව ඒක තමයි. විවාහ වුණා කියලා මගේ ක්‍රීඩා පැත්ත මඟහැර ගන්න බැහැ. ඒක මගේ බිරිය හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා මට දොස් කිව්වෙත් නැහැ, ජීවිතේ ලස්සනම දවසෙත් එයා එක්ක කාලය ගත කළේ නැහැ කියලා.

ඔබෙයි ඇයගෙයි මුල්ම හමුවීම සිදු වුණේ කොහොමද?

2016 අවුරුද්දේ තමයි මට ඇය මුණගැහෙන්නේ. එයාගේ නම හංසනී.

මම එතකොට ක්ලබ් සෙල්ලම් කරන කාලේ. එයා මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා දැනගත්තම හරියට සතුටු වුණා. දිගටම ක්‍රීඩා කරන්න, වෙන රස්සාවක් කරන්න ඕන නැහැ කියලා එයා මට හයියක් වුණා. මම ජාතික කණ්ඩායමට ඇතුළත් වෙනතුරුම එයා මගේ පස්සෙන් ඉඳලා උදවු කළා. හංසනිත් ක්‍රිකට්වලට ආසයි. එයා මම සෙල්ලම් කරපු හැම තරගයක්ම නරඹන්න ඇවිත් තියෙනවා. මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ මම තමයි. නමුත් එයා ඒ යෝජනාවට අකමැති වුණේ නැහැ. මොකද ඒ වෙද්දී අපි හිතවත් වෙලා හිටියේ. එයා හා කිව්වා. ඊට පස්සේ අපි පෙම්වතුන් විදිහට ආශ්‍රය කළා. විවාහයට සුදුසුම කාලේ මේක තමයි කියලා හිතුණා. ඒ නිසා විවාහයට ගැළපුණ කෙනා එක්කම විවාහ වුණා. ආදරේ කළෙත් විවාහ වෙන්න හිතාගෙන තමයි. අපි දෙන්නා අවුරුදු හතක් ආදරේ කරලයි විවාහ වුණේ. ආදරේ කරන කොට අපහසුවක් දැනුනේ නැහැ ඒ ආදරේ නිසා. ඒ නිසා විවාහ ජීවිතෙත් ඒ වගේ පහසුවෙන් ඇයත් එක්ක ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

දැන් විවාහකයිනේ, ක්‍රිකට් ක්‍රීඩා කරන්න එපා කියලා ඇය දැන් ඔබට තහංචි දැම්මොත්?

එහෙම වෙන්නේ නැහැ, මම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට මට වඩා කැමති එයා කිව්වොත් හරි. එයාට ඕනේ මාව නිතරම තරගවලින් දකින්නයි.

කාලයකට කලින් අතිදක්ෂ, ජාත්‍යන්තරය පවා කතා කළ අපේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම විවාහයෙන් පස්සේ ක්‍රිකට්වලින් දකින්න ලැබුණේ නැහැ. විවාහයත් එක්ක ක්‍රීඩකයන්ගේ දක්ෂතා හැංගෙනවා කියලා ඇතැම් අය කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?

ක්‍රිකට් ක්‍රීඩාවට විවාහ ජීවිතේ බාධාවක් කියලා මම නම් හිතන්නේ නැහැ. දක්ෂතා අතරේ රැඳෙන්න අපි මොනවද කරන්න ඕන කියලයි හිතන්න ඕනේ. ෆිට්නස් තියාගෙන දක්ෂතා දක්වන්න ඕනේ. කොහොමත් මම පවුල් ජීවිතෙයි ක්‍රිකට් ක්‍රීඩාවයි පටලවා ගන්නේ නැහැ. අමාරුවෙන් ගොඩනඟා ගත්ත ජීවිතයක් මට තියෙන්නේ. ඒකේ වටිනාකම මම දන්නවා. 

ඔබ මුලින්ම තෝරා ගන්නේ පාපන්දු ක්‍රීඩාව, පාපන්දුවෙන් ක්‍රිකට්වලට යොමු වෙන්නේ ඇයි ?

මගේ තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එයා හරි ආසාවෙන් හිටියා මම ක්‍රිකට් ගහනවට. මම මුලින්ම ෆුට් බෝල් සෙල්ලම් කරන්නේ. ඊට පස්සේ සොෆ්ට් බෝල් ක්‍රීඩා කරනවා. හාර්ඩ් බෝල් සෙල්ලම් කරන්නේ අවුරුදු 17දී. ෆුට් බෝල් ගැහුවත් හිත තිබ්බේ ක්‍රිකට්වලටමයි. ඒකට හේතුව මගේ තාත්තා වෙන්න ඇති. අම්මයි තාත්තායි මට කියලා තියෙනවා මම මුලින්ම නැඟිට්ටේ තාත්තගේ බැට් එක අල්ලගෙන කියලා. ඒ වගේම මම පුංචි කාලේ ඉඳලා කැමති ම ක්‍රීඩකයා ටී. එම්. ඩිල්ශාන් . එයා ක්‍රීඩා පිටියට ආවම ක්‍රීඩා කරන විදිහට මම ආසයි. එයා ෆාස්ට් බෝලර් කෙනෙක් නොවුණත් මම කැමතියි. මම ෆුට් බෝල්වලින් ක්‍රිකට්වලට එන්නේ ඔය වගේ හේතු නිසා තමයි.

ප්‍රමෝද් ඇත්ත කියන්න, ආර්ථිකය ස්ථාවර කර ගන්න කෙටිම මාර්ගය ක්‍රිකට් නිසා නේද ඒ සඳහා යොමු වුණේ ..?

නැහැ, සල්ලි හොයන්න කෙටි මාර්ගයක් කියලා හිතාගෙන නෙමෙයි මම ක්‍රිකට්වලට ආවේ. ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගද්දි කිසිම අදහසක් තිබ්බේ නැහැ ක්‍රිකට්වලින් මෙච්චර මුදලක් ලැබෙනවා කියලා. ආසාවටයි ඒ පැත්තට යොමු වුණේ. නමුත් බොරු කියන්න ඕන නැහැනේ, මෙයින් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්.

දැන් ඔබ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්. ආහාර රටාව, ව්‍යායාම් වගේම ශක්තියත් වැදගත්.

ඒ ගැන ඔබේ අදහස කොහොමද?

මම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්, මගේ පැවැත්ම තියෙන්නේ දක්ෂතා මතයි. ඒ නිසා මගේ ශක්තිය පවත්වාගෙන යා යුතුයි. කෑම බීම පරිස්සමින් ගන්න ඕනේ නිසා පාලනය කරගෙන ඒ පැත්ත හදා ගන්නවා. ඒ වගේම මම සතියට දවස් තුනක් ජිම් යනවා. ක්‍රිකට් ගහන්නේ නැතුව හිටියත් මම ජිම් යයි. මොකද මම මගේ සිරුර ගැන වැඩිපුර හිතන නිසා. ජිම් යන එක මම විලාසිතාවක් කරගෙන නැහැ. නමුත් ක්‍රීඩකයෙක් හැටියට එය කළ යුතුම දෙයක්.

විලාසිතා ගැන ප්‍රමෝද්ගේ අදහස?

මේන්ටේන් කරනවා කියලා හිතාගෙන මම විලාසිතා කරන්නේ නැහැ. නමුත් කොල්ලෙක් විදිහට ලස්සන විලාසිතාවලට මම ආසයි. ගැළපෙන විලාසිතා කරනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද? ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම ගැන සැහීමකට පත් වෙනවද..?

ක්‍රිකට් ගහන්නේ ආසාවට. ඒක මගේ හීනයක්. වාසනාවක් තිබ්බ නිසා ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා. ක්‍රිකට් ගැහුවේ නැත්තන් මම බැංකුවේ රැකියාවක් කරයි. නමුත් ක්‍රිකට් නිසා හොඳින් ඉගෙන ගන්න බැරි වුණා නේද කියලා දැන් හිතෙන අවස්ථා තියෙනවා. මැච් සහ පුහුණු වීම් නිසා අධ්‍යාපනය මඟ හැරුණා. ඒ ගැන විතරයි පොඩි දුකක් තියෙන්නේ. එහෙම නැතුව ක්‍රිකට් නිසා දුකට පත්වෙලා නැහැ. අනිවාර්යයෙන්ම සෑහීමකට පත් වෙනවා. මොකද මම ජාතික කණ්ඩායමට එකතු වෙන්නෙත් නොහිතපු මොහොතකයි. මම හිතනවා මගේ තාත්තා හිතපු විදිහට එයාගේ හීනය ඉටු කරන ගමන් මමත් මගේ ආශාව ඉෂ්ට කරගත්තා කියලා.

Comments