ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තමයි මට චානකී වෙන්න අවස්ථාව ලැබුණේ | Page 2 | සිළුමිණ

ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තමයි මට චානකී වෙන්න අවස්ථාව ලැබුණේ

- සාමාන්‍ය පෙළ හදාරමින් සිටි නිසා මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ
-  ඇටෙන්ෂන් නැති වුණ ගමන් තමයි මම නපුරු වෙන්නේ

මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයට ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් සිරස නාළිකාව ඔස්සේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නිර්මාණයකි හිත ළඟ හිනැහුණා. විටෙක ආදරණීය වෙමින්, විටෙක නපුරු වෙමින් මිනිස් සිතේ සැබෑ ස්වරූපය විදහා පාන චානකී එහි වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වී ඇත්තේ ඇගේ නපුරුකම නිසා. කිරුලිගේ හොඳම යෙහෙළිය ද ඇයයි. රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් පමණක් නොව නර්තන ශිල්පිනියක් ද වන ඇය අගසි දෙව්නිය.

අගසි දෙව්නි කියන්නේ කාර්යබහුල චරිතයක් ද?

ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුත් එක්ක. මං IT උපාධිය කරනවා. ඊට අමතරව නිවේදන කටයුතු, රංගන කටයුතු වගේම නර්තන කටයුතුත් කරගෙන යනවා.

ඔබ මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ රංගන ශිල්පිනියක් විදිහට නොවෙයි නේද?

මං මුලින්ම කලාව කියලා පිවිසෙන්නේ හිරු ඩාන්සින් ස්ටාර් වැඩසටහනට. හිරු ඩාන්සින් ස්ටාර් සීසන් 2 ඒකේ දෙවැනි ස්ථානය ලබා ගත්තා කවිඳු මධුෂාන් එක්ක. ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඊටත් කලින් සීසන් එකට සහභාගී වුණත් මට අවසන් 100 දෙනා අතරටවත් එන්න බැරි වුණා. පුදුමේ කියන්නේ එයින් ඉවත්වූ පසුයි මට මේ වාසනාව උදාවෙන්නේ. මුලින්ම මට වෙළෙඳ දැන්වීම් සඳහායි ආරාධනා ලැබුණේ. ඒ 2017 අවුරුද්දේ. නැණ කිරුළ කියලා ප්‍රෝගෑම් එකක් තිබුණා. ඒ හරහා තමයි මුල්ම වෙළෙඳ දැන්වීමට සම්බන්ධ වුණේ. ඊට පස්සේ ටෙලි චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා. නර්ථනා කියන ටෙලි චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. ඒකෙ නර්ථනා කියන චරිතයට තමයි දායකත්වය ලබා දුන්නේ. අදටත් නර්ථනා කියලා කතා කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දවස්වල මං සාමාන්‍ය පෙළ හදාරමින් සිටි නිසා මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. හිරු ඩාන්සින් ස්ටාර් සීසන් ටූ ජයග්‍රහණයෙන් පස්සේ කවිඳු මධුෂාන් එක්ක එයාගේ ඩාන්සින් ගෘෘප් එකට සම්බන්ධ වුණා. ඒ වගේම ගයාන් ශ්‍රීමාල් එක්කත් වැඩ කරනවා.

ඔබ හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද ? 

කසුන් ෆොන්සේකා අයියව මතක් කරන්නම ඕන. එයා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. 2019 ඉඳන්ම එයා තමයි මගේ ඇඳුම් නිර්මාණය කළේ. දැනට අවුරුදු 5ක් විතර වෙනවා. සිරස කැදැල්ල නිෂ්පාදක කුමුදු අබේධීර අයියා කසුන් අයියගෙන් අහලා තිබුණා ලස්සන ගෑනු ළමයෙක් ඕන වෙලා තියෙනවා. එහෙම දන්න කෙනෙක් නැද්ද කියලා. එතනදි තමයි කසුන් අයියා මාව යෝජනා කරලා තිබුණේ. කසුන් අයියා මට කිවුවා මෙහෙම වැඩක් තියෙනවා. ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකට මුහුණ දෙන්න කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තමයි මට චානකී වෙන්න අවස්ථාව ලැබුණේ.

චානකී මේ තරම් ජනප්‍රිය වුණේ නපුරු චරිතයක් නිසාද?

නපුරුයි කියන්නේ ඒක හරි තග්ස් චරිතයක්. ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න බැරි චරිත තියෙන්නේ, අන්න ඒ වගේ එකක් කිවුවත් හරි. චානකී තමයි කිරුලිගේ හොඳම යාළුවා. එයා කිරුලිගෙ හැම දේකටම උදවු කරනවා. උපදෙස් දෙනවා. ඒත් එක අවස්ථාවක දී චානකී නපුරු වෙනවා. ඒ කිරුලිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හමුවීමත් එක්ක. එතැනදි චානකීට කිරුලි ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ ඊර්ෂ්‍යාවත් එක්ක තමයි නපුරුකම් කරන්න පටන් ගන්නේ. හැබැයි, ඒ නපුරුකම ඇතුළෙ කිරුලිව හොඳ පැත්තට ගන්න අවස්ථාත් තියෙනවා. ඒත් වැඩිපුර ඉස්මතු වෙන්නේ නපුරුකම. සාමාන්‍යයෙන් නපුරු චරිතයක් කරද්දි ප්‍රේක්ෂකයන්ට ඒ චරිතයත් එක්ක තරහ යනව නම් ඒ චරිතය එපා වෙනවා නම් ඒ කියන්නේ ඒ චරිතය සාර්ථකයි. මට හිතෙන්නේ එහෙමයි.

ඒ කියන්නෙ අගසිත් සාමාන්‍ය ජීවිතේ දි නපුරු චරිතයක් ද?

නපුරු නැහැ. ඒත් ඉක්මනින් ජෙලස් වෙනවා. නිතර ඇටෙන්ෂන් හොයනවා. ඇටෙන්ෂන් නැති වුණ ගමන් තමයි නපුරු වෙන්නේ.

චානකී ජනප්‍රිය වෙද්දි අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ලැබුණා. ඒත් මගේ රංගන, නර්තන, නිවේදන කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතුත් කරගන්න පුළුවන් වෙයිද කියලා තමයි හිතන්නේ.

‍රංගන, නර්තන, නිවේදන කියන ක්ෂේත්‍ර තුනෙන් අගසි වඩාත් කැමති මොකකට ද?

මං ගොඩක් කැමති නර්තනයට. නර්තනය තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.

අගසි ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය කියන්නෙ ලස්සන දෙයක්. දුක සතුට ඔක්කොම එකට මිශ්‍ර වුණු හැඟීමක්. මං තාමත් ආදරවන්තියක් නොවෙයි. ඇටෙන්ෂන් ගොඩක් හොයන කෙනෙක් නිසා පාට්නර්ට හිතෙනවා ඇති අයියෝ මෙයා මල ඇණයක්නෙ කියලා. ඒකයි මං හිතන්නේ මට සාමාන්‍යයෙන් එහෙම දෙයක් හරියන්නැත්තෙ.

Comments