වසංගත අත්දැකීම් නැති කාලෙකයි අපි නාට්‍ය කළේ | සිළුමිණ

වසංගත අත්දැකීම් නැති කාලෙකයි අපි නාට්‍ය කළේ

- ආර්ථිකයත් එක්ක යන ප්‍රවාහන වියදම් දරාගන්න බැහැ
- කොළඹින් පිටට නාට්‍යය යන එකේ අඩුවක් තියෙනවා

මේ වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වෙන කාලයක්. එකිනෙකට වෙනස් වූ අර්ථ නිරූපණයන් සමඟ වේදිකාව මත දිගහැරෙන නාට්‍යය අතරට මේ වසරේ දී නැවත ඔබට නවමු මුහුණුවරකින් “රතු වෙස් මුහුණු“ නාට්‍යය දැක ගන්නට පුළුවන්. රතු වෙස් මුහුණු වේදිකාවට ගෙන එන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින්. එළැඹෙන මාර්තු මස තුන්වන සිකුරාදා සවස 3.30ට සහ 6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී රංග ගතවන “රතු වෙස් මුහුණු“ නාට්‍යය ගැනයි මේ කතාබහ. 

“රතු වෙස් මුහුණු“ නාට්‍යයට මූලික වෙන්නේ මොකක් ද?

මෙය ග්‍රීක නාට්‍යය පිටපතක් වන සොකොෆ්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ අනුවර්තනයක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් වෙනත් රටක වෙනත් කාලයක නාට්‍යයක් පරිවර්තනයක් විදියට නිෂ්පාදනය කරද්දී අපිට ඒ විදියටම කරන්න බැහැ. ලංකාවට නාට්‍යයක් කරද්දී එහි ලාංකීය ප්‍රේක්ෂකයාට ඇති වැදගත්කම ගැන හිතන්න වෙනවා. ඒ නිසා මේ නාට්‍යය තුළ තියෙන මානව අත්දැකීම කොහොමද ගෝචර වෙන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ අපි පරිවර්තන නාට්‍යයක් තෝරා ගත්තත් ඒක අපේ රටේ ජන සමාජයට අනුගත කරලා එය අපේ සංස්කෘතියේ තියෙන කාරණා එක්ක සම්බන්ධ කරලා පෙන්වද්දී ඒක පරිවර්තනයක් වෙන්නේ නැහැ. එතැනදී එයට ස්වතන්ත්‍ර අර්ථකතනයක් එන්නේ. එහෙම වෙන්නේ මුල් කෘතියේ ගොඩක් දේවල් වෙනස් කර ගන්න නිසා. චරිත සඳහා දෙන හැඩය සහ පාට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මේක අවුරුදු 2500 කට එහා ලියැවුණු පිටපතක් වුණාට මෙහි එන නළු නිළියන්ගේ රංග වස්ත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ නූතනයේ අපි එදිනෙදා දකින විදියේ හැඩතල එක්ක. පසුතල නිර්මාණය ගත්තත් අතීත පසුබිමක් නෙවෙයි පෙන්නුම් කරන්නේ වර්තමාන පසුබිමක්. ඒ නිසා තමයි “රතු වෙස් මුහුණු“ කියන නම අපි තැබුවේ.

මෙම “රතු වෙස් මුහුණු“ නාට්‍යයයේ අන්තර්ගතය ගැන කෙටියෙන් විස්තර කරනවා නම්?

මේ නාට්‍යයට පසුබිම් වෙන්නේ වසංගත කාලයක වසංගතයට මුහුණ දුන් පිරිසක් රටේ පාලකයන් ගාවට ගිහිල්ලා ඒ වසංගතයෙන් තමන්ගේ ජීවිත ගලවා ගන්න කියන ඉල්ලීමක්. අපි මේ නාට්‍යය මුලින්ම කරද්දී වසංගත කාලයක අත්දැකීම අපිට තිබුණේ නැහැ. අපි නාට්‍ය කළේ කොරෝනා වසංගතයටත් කලින්. ඒ නිසා මුල් දර්ශනයට වඩා නාට්‍යය තුළ අන්තර්ගතය සහ නළු නිළියන් පවා මෙම අලුත් දර්ශනයට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ නිසා “රතු වෙස් මුහුණු“ නාට්‍යය දැන් වෙද්දී වෙනස්ම අර්ථකථනයකට ගිහින් තියෙන්නේ.

මෙතැනදී ඔබ නාට්‍යයට යොදා ගත් නළු නිළියන් ගැන අර්ථකථනය කළොත්?

අපේ පැරණි නාට්‍යය ගොඩක් දුරට හැදිලා තියෙන්නේ ශෛලීගත විදියට. ඒ තුළ මූලික වෙන්නේ ගායනය සහ නර්තනය. නමුත් මේ නාට්‍යය තුළ අපි ගොඩක් දුරට උත්සහ කළේ ඒ කාව්‍යමය බව සහ නර්තන හැඩතල තියාගෙන වර්තමාන නළු නිළියන් භාවිත කරන යථාර්ථවාදී රූපණ ශෛලීන් යොදාගෙන. මොකද මට අවශ්‍ය වුණේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාට මෙය වෙන කොහේවත් අත්දැකීමක් නෙවෙයි තමන්ගේම ගේ ඇතුළෙ තියෙන අත්දැකීමක් එහෙමත් නැත්නම් තමන්ගේම සමාජයේ හෝ තමන්ගේම රටේ තියෙන අත්දැකීමක් කියන හැඟීම දන්වන්න. ඒ වෙනුවෙන් තමයි නළු නිළියන් සහ අනෙකුත් අනුශාංගික අංග නිර්මාණය කළේ. මම ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලීය සිසුන් යොදාගෙන තමයි නාට්‍යය නිෂ්පාදනය කරන්නේ. මෙතැනදී මම ඊට එහා ගිහින් වෘත්තීමය මට්ටමේ නළු නිළියන් එක්ක මෙම නාට්‍යය නිෂ්පාදනය කළේ. ඒ තුළින් නාට්‍යයයේ අර්ථය වඩා පහසුවෙන් මතු කර ගන්න හැකි වෙනවා. අනුරාධ මල්ලවආරච්චි. ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, සමාධි ලක්සිරි, ප්‍රේමරත්න තෙන්නකෝන්, නයෝමි ඇතුළු වෘත්තිමය රංගන ශිල්පීන් මේ නාට්‍යයයේදී රංගන දායකත්වය ලබාදෙනවා. නව සංගීත සංයෝජනය මිලින්ද තෙන්නකෝන්, ඇඳුම් නිර්මාණය කරන්නේ අමා විජේසේකර. පසුතල නිර්මාණය මම සහ සංජීව ගුණරත්න.

ඒ කියන්නේ මුල් වතාවේ “රතු වෙස් මුහුණු“ නැරඹුවට වඩා මෙවර ඊටත් වඩා සමීපව අත්විඳින්න පුළුවන් කියන එක නේද?

අනිවාර්යෙන්ම. මුලින්ම මේ නාට්‍යය මුලින් නිෂ්පාදනය කරපු වෙලාවේ මෙහි ප්‍රධාන චරිතය වන ඊඩිපස්ගේ චරිතය රඟපෑවේ නිරෝෂන් විජේසිංහ. නැවත නාට්‍යය නිෂ්පාදනය වෙද්දී ඔහුගේ තියෙන කාර්යබහුලතාව නිසා වෙන නළුවෙක් තෝරා ගන්න වුණා. මම මෙය නිරෝෂන්ට ස්තුතිවන්ත වෙන්නත් අවස්ථාවක් කර ගන්නවා. මොකද ඔහු අපි එක්ක ගතකරපු කාලයේ ඉතා සුහදව කටයුතු කළා. දැන් ඒ චරිතය රඟපාන්නේ අනුරාධ මල්ලවආරච්චි. නළුවෙක් වෙනස් වෙද්දී පවා නාට්‍යයේ අර්ථකථනය වෙනස් වෙනවනේ. ඒ වගේම ප්‍රේක්ෂකයාට නාට්‍යය සමීප කිරීමේ අවශ්‍යතාව මත වෙනස් කිරීම් කිහිපයක්ම කරලා තියෙනවා.

මේ වෙද්දී නාට්‍යය කලාව තුළ යම් පිබිදීමක් දකින්න ලැබෙනවා. ඒ ගැන මොකක් ද අදහස?

මම දකින්නේ කොරෝනා කාලය හැරුණම දිගින් දිගටම ප්‍රේක්ෂකාගාරය රංග කලාව එක්ක තිබුණා. කොරෝනාවලින් පසුව රටේ ආර්ථික අර්බුදයක් තියෙන වකවානුවකත් රංග කලාවේ යම් පිබිදීමක් දකින්න තියෙනවා. නමුත් ඒ පිබිදීම තියෙන්නේ කොළඹ කේන්ද්‍රීය වෙච්ච රංග කලාවක් තුළ විතරයි. ඒ පිරිස කොහොමත් නාට්‍යය කලාව එක්ක හිටියා. ඒ නිසා කොච්චර අලුතින් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. කොළඹින් පිටට නාට්‍යය යන එකේ අඩුවක් තියෙනවා. අද තියෙන ආර්ථික තත්ත්වය එක්ක යන ප්‍රවාහන වියදම් දරාගන්න බැහැ. හැබැයි මතුපිටින් බලද්දී අපිට පේනවා නාට්‍යය කලාවට යම් ආකර්ෂණයක් තියෙනවා වගේ. හැබැයි හරියටම බැලුවොත් අපිට පේනවා නළුවන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එක්ක කරන නාට්‍යය පමණයි එහෙම ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඒවා යම් ආකාරයකට පවත්වාගෙන යන්න පහසුයි. නමුත් අපි කරන මෙවැනි නාට්‍යයක් ටිකක් අපහසුයි ප්‍රේක්ෂකාගාරය එක්ක පවත්වාගෙන යන්න. ඒක අපි අවබෝධ කරගෙන තමයි නාට්‍යය කරන්නේ. ඔබ අහන මේ පිබිදීම හොඳ ප්‍රබෝධයක් ද කියන එක තීන්දු කරන්න ටිකක් කල් යනවා.

අපි නැවත මතක් කළොත් නාට්‍යය බලන්නට හැකි දිනය සහ වෙලාව?

රතු වෙස් මුහුණු වේදිකාගත වෙන්නේ මාර්තු මස තුන්වන සිකුරාදා සවස 3.30ට සහ 6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී. ප්‍රේක්ෂකයා සහ නාට්‍යයකරුවන් විදියට අපි දෙගොල්ලෝ ගැනම හිතලා තමයි ප්‍රවේශපත්‍ර මිල ගණන් නම් කරලා තියෙන්නේ. ඒ වගේම 3.30 දර්ශනය අපි ඉතා අඩු මුදලකට පෙන්වන්නේ. විශේෂයෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් සහ නාට්‍යය අධ්‍යයනය කරන නාට්‍යයකරුවන් හැමෝටම නාට්‍යය පහසුවෙන් නරඹන්න පුළුවන් විදියට. ඒ එක්කම සාමාන්‍ය මිල ගණන් යටතේ සවස 6.30ටත් වේදිකාගත වෙනවා.

Comments