නරක පුවත් අතරේ හොඳම පුවතක් නිසා අලුත් වන ජැක්ලින්ගේ සිනමා ජීවිතය | සිළුමිණ

නරක පුවත් අතරේ හොඳම පුවතක් නිසා අලුත් වන ජැක්ලින්ගේ සිනමා ජීවිතය

ජැක්ලින් ෆර්නැන්ඩස් සහ නෝරා ෆටෙහි කියන්නේ රිදී තිරය ගිනි තියන්න පුළුවන් තරම් සරාගී තරු දෙකක්. බොලිවුඩ් සිනමාවේ ‘අයිටම් සෝන්ග්’ වලට නැතිවම බැරි දෙන්නෙක්. ගින්දර වගේ නටන්න පුළුවන් දෙන්නෙක්. සමහර බොලිවුඩ් සිනමාපට වාර්තා පිට වාර්තා තිබ්බේ මේ දෙන්නගේ නැටුම් තියෙන සින්දු නිසා. දෙන්නටම තියෙන ඉල්ලුම වැඩි වෙනකොට මේ දෙන්න හොඳම තරගකාරයො වුණා. ජැක්ලින්ද ? නෝරා ද? තමන්ගේ ෆිල්ම් එකට ගන්නේ කියල නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු දස අතේ කල්පනා කරපු කාලයක් තිබුණා. එකේ ප්‍රතිඵලයක් විදියට දැන් දෙන්නම මාධ්‍ය ඉස්සරහදි එක එක්කෙනාගේ පතුරු යවන තරමට වෛරක්කාරයෝ වෙලා. ඒ වගේ එක රණ්ඩුවක් දැන් තියෙන්නේ දිල්ලි උසාවියේ. ඒ නඩුව එළඹෙන මාසේ 25 වැනිදා විභාගයට ගන්න නියමිතයි.

මේ හැම දේටම මුල පාතාල නායක සුකේෂ් චන්ද්‍රසේකර්. දැන් පටියාලාවල හිරගෙදරක ඉඳගෙන අතීතය ගැන කම්පාවුණත් සුකේෂ් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. තවමත් අවුරුදු 34 ක් වෙන සුකේෂ්ගේ ඉතිහාසයේ ලේ පැල්ලම් වගේම කළු සල්ලි කතන්දර ගොඩයි. ඒ අතරින් ඔහු මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්න ප්‍රධාන හේතුව තමයි 2021 වසරේදී හෙළිවුණු සුප්‍රකට කෝටි 217 කප්පම් සිද්ධිය. තමන්ගේ බිරිඳත් එක්ක එකතුවෙලා ලොකු ගේමක් ගහල ගල් කරපු ඒ මුදල් ඔක්කොම වගේ එයා වියදම් කරලා තියෙන්නේ ජනප්‍රිය නිළියෝ ආශ්‍රය කරන්න. ඒ අතරින් ප්‍රධානම දෙන්න තමයි ජැක්ලින් සහ නෝරා. 

හිතේ හැටියට ඒ දෙන්න ආශ්‍රය කරන්න ඕන නිසා සුකේෂ් මේ දෙන්නටම ඇති තරම් තෑගී දීලා තියෙනවා. දෙන්නටම සුකේෂ් කියන්නේ නියම ඉල්ලමක් වුණාම තමයි ජැක්ලින් - නෝරා ගැටුම ඇවිලිලා තියෙන්නේ. මේ අතරින් ජැක්ලින්ට සුකේෂ් දීපු තෑගී වල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 7 විතර. ඒ අතරේ Porsche වර්ගයේ කාර් එකක් වගේම ජැක්ලින්ගේ අම්මට, සොයුරියට වියදම් කරපු ඒවත් තියෙනවලු. එතකොට නෝරාට? නෝරාට සුකේෂ් දීපු නොයෙක් ආකාරයේ තෑගි අතරෙන් වැඩියෙන්ම වටිනා තෑග්ග තමයි නවතම BMW වර්ගයේ මෝටර් රථය. සුකේෂ් නෝරාට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් තෑගි දෙන්න සැලසුම් කලත් නොරාගේ ඉක්මන නිසා BMW මෝටර් රථය එයාට දුන් බව තමයි සුකේෂ් කියන්නේ. ඊට අමතරව මොරොක්කෝවෙන් සුඛෝපභෝගී නිවසක් මිලට ගන්න නෝරා තමන්ගෙන් විශාල මුදලක් ඉල්ලා ගත්ත කියලත් සුකේෂ් මේ වෙනකොට සාක්ෂි දීලා ඉවරයි.

සුකේෂ් - ජැක්ලින් ප්‍රේම සම්බන්දය බිඳලා සුකේෂ් තමන් ළඟට ගන්න නෝරා නොයෙක් විදියට උත්සාහ අරගෙන තියෙනවා කියලත් හෙළි වුණේ සුකේෂ් දීපු කට උත්තර වලින්ම තමයි. ජැක්ලින්ගේ නොයෙක් වැරදි කියමින් නෝරා ඒ දවස්වල තමන්ට දවසකට දුරකථන ඇමතුම් 10 කට වැඩිය දුන්න කියලත් සුකේෂ් තහවුරු කරල තියෙනවා.’එයා හැදුවේ මගේ ඔලුව හෝදලා, ජැක්ලින් මගෙන් දුරස් කරලා , මගෙන් සල්ලි හුරගන්න’ දැන් නෝරා ගැන දැඩි කෝපයෙන් ඉන්න සුකේෂ් දැන් එහම කියනවා.

සුකේෂ්ගේ සිදුවීම එළියට ඇදුනට පස්සේ ජැක්ලින්ට සත්‍ය පිළිගන්න සිදුවුණත්, නෝරා දිගටම හැසිරුනේ සුකේෂ් එක්ක කිසිම සම්බන්දයක් නොතිබුණ ගානට. ඒත් දිල්ලි පොලිසිය දුරකථන ඇමතුම් සාක්කි එක්ක ඔක්කොම එලි කරාම නෝරට කට උත්තර නැති වුණු බවත් දැන් හැමෝම දන්නවා. ඊට පස්සේ නෝරා තැන් තැන්වල කියපු කතන්දර නිසා මේ වෙනකොට සුකේෂ් ඉන්නෙත් නෝරා එක්ක නයි වයිරෙන්.

‘සුකේෂ් කරේ මගේ හැඟීම් එක්ක සෙල්ලමක්. එයා මගේ ජිවිතේ අපායක් කරලා මගේ වෘත්තීය නැති වෙන තැනට වැඩ කළා’ පහුගිය දවසක ජැක්ලින් සුකේෂ් ගැන මාධ්‍යට එහෙම කිව්වේ නළල අතගාමින්. හැබැයි සුකේෂ් නම් තවම ජැක්ලින්ට ආදරේ පාටයි. ඒක හෙළිවුණේ පසුගිය 9 වැනිදා ඔහු නැවතත් උසාවියට ඉදිරිපත් කරන්න ගෙන ආපු වෙලාවේ මාධ්‍ය වෙත කරපු ප්‍රකාශයකින්.’ මම ජැක්ලින්ට මගේ පැත්තෙන් ප්‍රීතිමත් ප්‍රේමවන්තයන්ගේ දිනයක් ප්‍රර්ථනා කරනවා. එයා කියපු දේවල් වලට මම මොකුත් කියන්නේ නෑ. එහෙම කියන්න එයාට හේතු ඇති. ඔයා කාටහරි ඇත්තටම ආදරේනම් ඔයා එයා ගැන බලනවානේ?’ සුකේෂ් මාධ්‍යට කියල තියෙන්නේ එහෙම. හැබැයි ඒ එක්කම මාධ්‍ය එයාගෙන් අහපු ඊළඟ ප්‍රශ්නයට සුකේෂ් දීල තියෙන්නේ කෝපාන්විත උත්තරයක්.’නෝරා ? සල්ලි වලට විතරක් සම්බන්දතා පවත්තන ඒ අය ගැන මට කියන්න දෙයක් නෑ ‘ඒ තමයි ඒ උත්තරය සරලව.

සුකේෂ් සම්බන්ධ සිදුවීමේදී ජැක්ලින් තමන් ගැන නිකුත්කරපු අසත්‍ය සහ කෝපය දනවන ප්‍රකාශ නිසා තමන්ට අපහාසයක් වුණ බවත්, ඒ නිසා ඉතාම වේගයෙන් ඉහළ නඟිමින් තිබුණු තමන්ගේ වෘත්තීය ජීවිතය බිඳ වැටුණු බවත්, පවසා තමයි නෝරා ජැක්ලින්ට විරුද්ධව අධිකරණයේ චෝදනා කරලා තියෙන්නේ. 25 වැනිදා විභාගයට ගන්න ඒ නඩුවත් එක්ක ජැක්ලින් - සුකේෂ් - නෝරා තුන්කොන් ආදරයේ තවත් නොකී කතා ගොඩක් ඉදිරියේදී එළියට එන්න නියමිත බව තමයි ඉන්දියානු මාධ්‍ය නම් වාර්තා කරන්නේ.

මේ නරක පුවත් අතරේ ජැක්ලින් ගැන හොඳ පුවතකුත් පහුගිය දිනවල වාර්තා වුණා. ඒ තමයි ජැක්ලින් රඟපෑ පළවෙනි හොලිවුඩ් සිනමාපටය වුණු Tell It Like A Woman හි එන Applause කියන ගීතය ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ගීතය විදියට නාම යෝජනා හිමි කර ගැනීම. ඔස්කාර් සම්මානය වෙනුවෙන් මේ ගීතයේ ලොකුම තරගකාරය වන්නේ ඉන්දියානු සිනමාපට ගීතයක් වීම තමයි විශේෂත්වය. ඒ තමයි පසුගියදා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනපු RRR සිනමාපටයේ NAATU NAATU ගීතය. ඒ ගීතයේ රංගනයේ යෙදෙන්නේ රාම් චරන් සහ අල්ලු අර්ජුන්. 95 වැනි වරට ක්‍රියාත්මක වෙන මෙවර ඔස්කාර් උලෙළ එළැඹෙන මාර්තු 12 වැනිදා පැවැත්වෙන්න නියමිතයි. ඒ නිසා මේ මාර්තු මාසය නම් ජැක්ලින්ට නම් තීරණාත්මක පාටයි.

Comments