ජීවිතේට ලැබෙන කිසිදෙයක් මඟ හැර ගන්න මම කැමති නෑ | Page 2 | සිළුමිණ

ජීවිතේට ලැබෙන කිසිදෙයක් මඟ හැර ගන්න මම කැමති නෑ

- ජනප්‍රිය තලයේ ඉන්න දහදෙනා අතරට ගෙනාව එකම මට ලැබුණු සම්මානයක්
- මොකක් හරි දෙයකින් මම ස්පෙෂල් වෙන්න ඕනේ කියන එක තමයි මගේ ටාගට් එක

දර්ශන් තවරාජා කියන්නේ ශක්ති නාලිකාවේ නිවේදකයකු ලෙස සහ රංගන ශිල්පියකු දමිළ ජනතාවගේ ආදරය ආකර්ෂණය දිනාගත් තාරුණ්‍යයේ පසුවන කඩවසම් යෞවනයෙක්. දර්ශන් අද වෙද්දි සිංහල රසිකයන් අතර ඉහළින්ම ඉන්න චරිතයක්. ඔහු හිතුවක්කාර හි කෙවින්, වගේම මේ දිනවල විකාශය වන සිදු 3 - ශක්ති හි වර්ණට පණ පොවමින් විලන් චරිත තුළින් ප්‍රේක්ෂක ආදරේ දිනා ගෙන තිබෙනවා. පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් 10 දෙනා අතරටත් දර්ශන්ට එන්න අවස්ථාව ප්‍රේක්ෂකයින් ලබා දුන්නා. ඒ ගැන වගේම දර්ශන් මේ දවස්වල මොකද කරන්නේ කියලා දැන ගන්න අපි දර්ශන් සමඟ කළ සොඳුරු කතා බහකි මේ... 

මේ දවස්වල දර්ශන් මොනවා එක්ක ද කාර්යබහුල වෙලා ඉන්නේ

මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් වෙනවා. මෙච්චර කල් ගිය සාක්ච්ඡාවල අහද්දී මම කිවුවේ මම ඇක්ටින්වලට ආසාවෙන් ඇවිත් ඉන්නේ කියලා. නමුත් හරියට බැලුවොත් මම Entertaining වචනය තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද දැන් මම Entertaining Category එකේ තියෙන ඔක්කොම වගේ කරනවා. වේදිකාවේ නිවේදන කටයුතු, ගායන කටයුතු නර්තන කටයුතු සියල්ල මම කරනවා. මට ගායකයෙක් වෙන්න ඕනේ කියලා අරමුණක් නැහැ. මේ වෙද්දී ගායකයින් ගොඩක් ඉන්නවා. නමුත් Entertaining කියන ලේබල් එකේ තියෙන ඔක්කොම මම කරනවා. මේ කාලයේ රංගනය පැත්තෙන් නම් දෙරණ නාලිකාවේ විකාශය වන ශක්ති හි වර්ණ කියන විලන් චරිතය කරනවා. මගේ පළමු මියුසික් වීඩියෝ එක වන

කළුවරට හිත බය හින්දා“ ගීතයේ ස්ටෝරි එකෙන්ම “කළුවරට හිත බය හින්දා The Series“ එක නමින් කොටස් තුනකට අපි වෙබ් සීරියස් එකක් කරලා තියෙන්නේ. එහි season 01 එක ළඟදීම යූ - ටියුබ් නාලිකාවක් හරහා දැක ගන්න ලැබෙයි. මියුසික් වීඩියෝ පැත්ත ගැන කතා කළොත් මමම එකක් කර ගත්තා මම නවසීලන්තයට ගිහින් ඉන්න වෙලාවේ. ඒක මගේම ගීතයකට මමම කරපු රූප රචනාවක්. මගේ මුල්ම ගීතය වන දීප දීප ( දීපාවලී රෑ) වගේම තව සිංහල සින්දුවක්. එකේ මියුසික් කළෙත් හනි නයගරා. මම නවසීලන්තයේ දවස් 20ක කාලයක් හිටියා. මට තිබ්බේ ප්‍රසංග දෙකක් පමණයි. අනිත් දවස්වල මම ෆ්‍රී එකේ හිටියේ. ඉතින් ඒ කාලේ මට මොකක් හරි වැඩක් කර ගන්න ඕනේ වුණා. ඒ නිසා මම හනි නයගරාට කිවුවා මම ඇවිත් සින්ග් කරන්නම් ඔයා ඩමී එකක් හදලා එවන්න කියලා. හනි මෙලඩි එකක් හදලා මනුරංග විජේසේකරට අයියට යැවුවා. මනුරංග විනාඩි 5 -10ක් අතරේ වචන ටික ලියලා දුන්නා. ඒකට හනි නයගරන් මට ඩමී වොයිස් එකක් දාලා එව්වා. මම මෙහෙන් ඒකට ගැලපෙන රූප රචනාව ෂූට් කර ගත්තා. ඒ වගේම මගේ පෙන්ටින් වැඩත් මම ආයේ පටන් ගන්නවා. මගේ අදහසක් තියෙනා ඉදිරියේදී මගේම පේන්ටින් ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න. ඒ එක්කම චිත්‍රපට දෙකක වැඩ භාරගෙන තියෙනවා.

කොහොමද මේ වෙද්දී ප්‍රසංග වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර?

මම චැනල් ෆීල්ඩ් එකේ වැඩ කරලා ආව කෙනෙක්. ඒ නිසා මේක මට ලොකු වටිනාකමක්. මම වේදිකාවට නිකම් ඇවිදන් එද්දී පවා ඕඩියන්ස් එකෙන් දර්ශු කියලා එන ප්‍රතිචාර මාව වෙනම තැනකට අරන් යනවා. මම නවසීලන්ත ප්‍රසංගවලට ගියේ නිවේදන කටයුතු කරන්න. ගීත ගයන්න ගියේ අතුල අධිකාරි, රයිනි චාරුකා සහ මලිත් පෙරේරා. මට ඒ සංවිධායක මණ්ඩලය කිවුවා රයිනි සහ මලිත්ගේ සිංදුවකට ඩාන්සින් එකකින් පටන් ගන්න කියලා. එදා ෆුල් ඩාර්ක් ලයිට් එකේ වොයිස් විතරක් එනවා රයිනි සහ මලිත්ගේ. ඒකත් එක්ක මට ෆෝකස් ලයිට් එකක් එනවා. එදා ඕඩියන්ස් එකෙන් ආව සවුන්ඩ් එක තාම මතකයි. ඒ සවුන්ඩ් එක ආවේ මලිත් සින්දුව පටන් ගන්නවා එක්කම මට ලැබුණු ෆෝකස් ලයිට් එකත් එක්ක. ඒ නිසා ඔහුටත් ඒ ප්‍රතිචාරය හිමියි. මම වගේ කෙනෙක්ට වසරක් වගේ කෙටි කාලයක් තුළ මේ ලැබෙන සියල්ල සිහිනයක් වගේ.

දර්ශන්ගේ පළමු මියුසික් වීඩියෝ එක වන “කළුවරට හිත බය හින්දා“ ගීතය ජීවිතේ කොයි තරම් වෙනස් කළාද?

මම හිතන්නේ ඒක තමයි මගේ මුළු ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. මම ඒ සින්දුවට ගියේ ඇක්ටින් කරන්න. ඒ වෙද්දී හිතුවේ නැහැ ඒ රූප රචනාව මේ තරම් දුරක් මාව අරගෙන එයි කියලා. නමුත් මටත් සින්දු කියන්න ඕනේ කියන ආසාව නම් එන්නේ අයෂ්මා තත්සරණි එක්ක ගැයූ දීප දීප (දීපාවලී රෑ) සින්දුවෙන් පස්සේ.

කොහොමද දර්ශු චරිත භාර ගන්නේ?

ගොඩක් වැඩවලට අපිව ගන්න යද්දී මුලින්ම අහන්නේ අපේ ගාණ කීයද කියලා. නමුත් අද වෙනකම් මම කියන දේ තමයි මම විවිධ චරිත ඔස්සේ මට රඟපාන්න හැකි චරිත ගැන තවම මම පෙන්වලා නැති නිසා ඔයා දෙන ගාණක් මට දෙන්න. මට ඕනේ හොඳ ප්‍රොෆයිල් එකක් විතරයි. ස්ක්‍රිප්ට් එක හොඳ නම් මට කරන්න ලැබෙන චරිතය හොඳ නම් ඒක තමයි මම භාර ගන්නේ.

පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් 10 දෙනා අතරටත් දර්ශන්ට එන්න අවස්ථාව ප්‍රේක්ෂකයින් ලබා දුන්නා. ඒ ගැන කියන්න දෙයක් ඇති?

මම ඉස්සර ශක්ති ටීවී වැඩ කරන කාලේ මම ප්‍රඩක්ෂන් ඇසිස්ටන් විදියට ට්‍රයිපෝඩ් එක අරගෙන ඔය වගේ දැවැන්ත සම්මාන රාත්‍වලට ගිහින් තියෙනවා. මේ පාර මම එතැනට යද්දී දැනුණේ එදා ඒ තැනේ ඉඳලා ටොප් 10 අතරට මාව ප්‍රේක්ෂකයින් ගෙනාවනේ කියන එක. ඒ සතුටත් එක්ක මම එතැන හිටියේ. ටොප් 10 කියන එක අනිත් අයට දැනෙන විදිය මම දන්නේ නැහැ. නමුත් තවමත් මම රංගන ශිල්පියෙක් නෙවෙයි. මම දකින්නේ ලංකාවේ ලොකුම ෆීල්ඩ් එක සිනමාව නෙවෙයි නාට්‍යය. මම තවම රඟපාලා තියෙන්නේ නාට්‍යයක දෙකක පමණයි. ඒ චරිත කළාට මම තවම රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්න සුදුසු නැහැ. එහෙම ඉන්න මාව ප්‍රේක්ෂකයින් ජනප්‍රියම තලයේ ඉන්න දහ දෙනා අතරට ගෙනාව එකම මට ලැබුණු සම්මානයක්. මම පාසලේදීවත් සම්මාන සහතිකයක් ලබලා නැහැ. මට මුලින්ම ලැබුණේ මේ ජනප්‍රිය 10 දෙනා අතරට පැමිණීමේ සහතිකය. ඒක මට දුන්නේ මගේ ආදරණිය ප්‍රේක්ෂකයින්. ඒ තැන මට ඇයි දුන්නේ කියලා මම අදටත් දන්නේ නැහැ. මගේ ෆෝන් එකෙන්වත් එක මනාපයක් වත් දැම්මේ නැහැ. ඒකට හේතුව මට ඕනේ වුණා මම කොහෙද ඉන්නේ කියලා දැන ගන්න. ඒ නිසා ඒ සතුටින් එදා දවසේ ගිහින් බලලා ආවා. එතැන හිටිය ඔක්කොම මට වඩා දක්ෂ ප්‍රවීණ අය. ඒ අය අතරේ පොඩිම කෙනා සහ මුකුත්ම නොකර මිනිස්සු ආදරේ කරලා විතරක් ආවේ ඒ මම විතරයි. ඊට වඩා මට වෙන සම්මානයක් නැහැ.

සිංහල ගැහැනු ළමයෙක්ට ආදරේ කරන්න කැමැතියි කියලා ඔබ දවසක් කිව්වා මතකයි. දැන් එහෙම ආදරයක් තියෙනවද?

අම්මෝ. මම මේ ක්ෂේත්‍රයට එන්න උත්සාහ කරන කාලේ ඉඳන් මට හම්බුණේ සිංහල ගැහැනු ළමයි. දැන් නෙවෙයි මම මේ කියන්නේ මම එන්න උත්සාහ කරන කාලේ. මොකද ඒ අය දන්නවා මගේ ඉලක්කය සිංහල ක්ෂේත්‍රය කියලා. නම් කියන එක හරි නැහැනේ. එක් කෙනෙක් හිටියා දවසකට මට සිංහල වචන දෙක තුනක් උච්චාරණය කරන විදිය පවා කියා දෙන. කොහොමත් මට ගොඩක් ආදරේ කරන සිංහල ගැහැනු ළමයි වැඩියි. ඉතින් ඒ එක්කෙනෙක් මගේ ජීවිතේටම ආවොත් මම ගොඩක් සතුටින් ඉඳියි. එහෙම කෙනෙක් මගේම වුණදාට අනිවාර්යෙන්ම කියන්නම්.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම ජීවිතේට ලැබෙන කිසි දෙයක් මඟහැර ගන්න කැමැති නැහැ. මම දකින්නේ හැම පැත්තෙන්ම මා වටා ප්‍රේක්ෂකයින් ඉන්නවා. මම පේන්ටින් යමක් කළොත් එකත් රසවිඳින කොටසක් ඉන්නවා. ඒ පේන්ටින් නිසාමයි අපි ඔයාට කැමති කියන අය. ඒ එක්කම මගේ නිවේදන ශෛලියට කැමති අය ඉන්නවා. සින්දු කියනවට මම රඟපානවට කැමැති අය වෙනම ඉන්නවා. වෙන මුකුත් කරන්න එපා දිගටම රඟපාන්න කියන අයත් ඉන්නවා. ඒ අතරේ විලන් චරිතම කරන්න එපා අපි ඒකට කැමැති නැහැ කියන අයත් ඉන්නවා. ඒනිසා මුකුත් මිස් කර ගන්නේ නැතුව Entertaining පැත්තෙන්ම පුළුවන් තරම් මිනිසුන් සතුටු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ යන ගමන තුළ මගේ හැකියාවන් ටික මම ඔපමට්ටම් කර ගන්න ඕනේ. සමහර විට හැමදේම නතර කරලා එක අංශයකින් පමණක් ඉදිරියටම යන්නත් පුළුවන්. තවම ඒ ගැන හරියටම කියන්න මමවත් දන්නේ නැහැ.

Comments